සිහින දැක්කට මදි.. වැඩත් ඕන

    0
    33

    සිහින පසුපස හඹා ගොස්, එම සිහිනය යථාර්ථයක් කර ගැනීමට උත්සාහ කරන තුරු එම සිහිනය, සිහිනයක්ම පමණි. සිහිනයන්ට පණදීමට නම් උත්සාහය හා අපරිමිත කැපවීම පමණක් නොව, බාධක හමුවේ නොසැලී ඉදිරියට යාමේ අදිටන ද අප සතු විය යුතුය. ඔබ සිහින යථාර්ථයක් කර ගැනීමට වෙර දරන්නෙකු නම්, ඔබගේ සෑම පියසටහනක් තුළම එහි බර ගැබ් වී තිබිය යුතුය. මේ ගමනේදී පැමිණෙන බාධක කම්කටොලු නම් මෙතෙකැයි කියා කිව නොහැක. විටෙක තාවකාලිකව පසුබැසීමට සිදුවන අවස්ථාවන් එමටය. නමුත් සටන අත්හැරීමට තරම් අප අධෙර්‍යයමත් නොවිය යුතුය. අප සටන අතහරින තුරු බලා සිටින්නන් ද නැතුවාම නොවේ. අප සටන අතහැරීම ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමක් මෙන්ම අපේ බලාපොරොත්තු සුණු විසුණු කර දැමීමකි. 

    සිහින ජයගැනීමට නම් නිසි සැලසුමක් තිබිය යුතුය . ඇතැම් සැලසුම් දීර්ඝ කාලීන සැලසුම් විය හැකිය. ඇතැම් සැලසුම් ක්ෂණිකව ගොඩනඟා ගැනීමට අපට සිදු වේ. ඒ කෙසේ නමුත් සැලසුමක් ගොඩනංවා ගැනීම අප සිදු කිරීමට යන කාර්‍යය මල් ඵල ගැන්වීමට පස සකස් කිරීමක් වැනිය. නිසි ලෙස සකසන ලද පසක සිටුවන ඕනෑම භෝගයක් සරුවට වැඩේ. එසේම අපේ සිහින රෝපණය කිරීමට යොදාගන්නා අඩිතාලම ශක්තිමත් වන තරමට අපේ සිහිනය අතු ඉතිලා මල් ඵල ගැන්වේ.

    ඔබට සිහින අතහැර දැමීමට සිදුවන සෑම විටකම අන් අයගෙන් ආදර්ශ ලබා ගැනීමට පුරුදු වන්න. එය ඔබව තව තවත් සිහිනය යථාර්ථයක් කර ගැනීම උදෙසා සටන් වැදීමට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. උත්සාහය අතහැරීමට සිදුවන සෑම අවස්ථාවකදීම යානිස් මැක්ඩේවිඩ්, ලිසී වෙලස්කිව්, ජේ.කේ.රෝලිං වැනි ලෝක බලවතුන් පිළිබඳව සිහිගන්වන්න. ඔවුන් එම මට්ටමට පැමිණීමට විඳ ඇති දුක්ගැහැට පිළිබඳ මෙනෙහි කරන්න. එම ජීවිත කතා කියවුවහොත් ඔබට ගත හැකි ආදර්ශ බොහෝය. ඒවා ඇසූ පසු කිසි විටෙකත් සටන අතරමඟ හැර දමා ගොස් සැඟවීමට ඔබට නොසිතෙනු ඇත. සිහින පසුපස හඹා යාමේදී ඔබේ කකුලෙන් අදින්නන් ද නො අඩුව ඔබට හමු විය හැකිය. එවිට වැදගත් වනුයේ මහාමේරුව සේ නොසැලී සිටීමය. ඔවුන්ගේ උදාසීන ප්‍රතිචාර ඔබේ ගමනට ආශිර්වාදයක් කරගන්න.

    ඔබට මේ ගමනේ ගමනාන්තය කරා ළඟා වීමට නම් නොයෙක් ආකාරයේ සිත් රිදවීම්, පසුතැවීම් නො අඩුව විඳීමට සිදු වේවි. ඒවා පසු කොට උඩුගම් බලා පිහිනීමයි වැදගත්. එය සිදු කිරීම අතිශය දුෂ්කරය. එම මාර්ගය ගල්, මුල් හා දිය සුළිවලින් ගහණය. නමුත් ඔබ එහි ගමන් කළ යුතුමය. එම දුෂ්කර ගමනේදී ඔබට අසල ඇති අත්තක එල්ලී ගොඩට ඒමට සිතිය හැකිය. නමුත් ඔබ නොකළ යුතුම දේ වන්නේ ද එයයි. පිහිනන්න. ඔබේ ඉලක්කය ඇස් මායිමට පැමිණෙන තෙක් නොව එම ඉලක්කය දෝත දරා ලැබ හදවත පුරා විඳීමට හැකි මොහොත වන තෙක් පීනන්න.

     

     සරණි උපේක්ෂා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here