ආදාහනය ද භූමදානය ද යන තීරණයට දේශපාලනය ඈඳා ගන්න එපා

0
43

ආණ්ඩුව රටට අහිතකර තීන්දු ගෙන නාටක පෙන්වා  ජනතා අවධානය බිඳිනවා ජවි‍ෙප නායක අනුර කුමාර දිසානායක

ආණ්ඩුව රටටත් ජනතාවටත් අහිතකර තීන්දු ගත් විට ඒ ගැන අවධානය වෙනතක යොමු කිරීමට යම් නාටකීය තත්ත්වයන් නිර්මාණය කරන බවට සාධාරණ සැකයක් මතු වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසුවේය.

හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ඉස්ලාම් ආගම අදහන පුරවැසියන් කොවිඩ් වසංගතයෙන් මියයෑමෙන් ඒ සිරුරු ආදාහනය කිරීම ගැන කම්පනයකට පත් වී සිටිනවා. පසුගියදා දින 20ක බිළිඳු දරුවකු ආදාහනය කිරීමත් සමඟ මේ තත්ත්වය උච්චස්ථානයකට පත් වෙලා. අද වෙනකොට මේ සංවාදයේ පැති දෙකක් තිබෙනවා. තාක්‍ෂණික, විද්‍යාත්මක, සෞඛ්‍යමය ප්‍රවේශයක් එක පැත්තක. දේශපාලන ප්‍රවේශය අනෙක් පැත්තේ. මෙවැනි සංවේදී ගැටලුවකට නිවැරදි ප්‍රවේශය වන්නේ විද්‍යාත්මක, තාක්‍ෂණික සෞඛ්‍යමය ප්‍රවේශයයි. නමුත් ආණ්ඩුව විසින් බලය ලබා ගැනීම වෙනුවෙන් වපුරන ලද උන්මත්තක ජාතිවාදී ප්‍රවේශය හේතුකොටගෙන මේ වෙනකොට විද්‍යාත්මක හා තාක්‍ෂණික ප්‍රවේශයට වඩා දේශපාලනික ප්‍රවේශයක් බවට පත් කරගෙන තිබෙනවා. මේ සිරුරු සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ දේශපාලන ව්‍යාපාරයක් හෝ දේශපාලනඥයකු නොවේ. අවුරුද්දකට ආසන්න කාලයක් ලංකාව තුළ මේ වයිරසය ගැන අධ්‍යයනය කර තිබෙනවා. ඒ අනුව විද්‍යාත්මක තොරතුරු තිබෙනවා.

“ලෝකයම පිළිගත් වයිරස් විද්‍යාඥ මලික් පීරිස් මහතා භූමදානයෙන් මෙය පැතිරීම පිළිබඳව ඉතාමත් විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි වසංගත රෝග පිළිබඳව ප්‍රධානම විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ නිහාල් අබේසිංහ මහතා මේ ගැන මත ඉදිරිපත් කර තිබුණා. භූමදානය හරහා මෙම වයිරසය පැතිරීම සම්බන්ධයෙන් බල නොපාන බව විද්‍යාත්මකව පැහැදිලි කර තිබුණා. ඔවුන් දෙදෙනාගේම මත ප්‍රමාණවත් නැත්නම් ආණ්ඩුවට තවත් ඒ ගැන මත විමසිය හැකියි. හැබැයි මේ තුළත් දේශපාලනය සිදු කරන ආණ්ඩුව ජන කොට්ඨාසයකට සංවේදීව බලපාන ප්‍රශ්න පවා යොදාගෙන තිබෙනවා. මේ දේශපාලන කෝණයෙන් මැනීම ආණ්ඩුව අත්හැරිය යුතුයි. ආදාහනය ද භූමදානය ද කියන දේ තමන්ගේ දේශපාලන පොර පිටියේ එහෙට මෙහෙට දාන පන්දුවක් බවට පත් කර නොගත යුතුයි. වියළි භූමියක් සොයාගෙන භූමදානය කිරීම, මාලදිවයිනට ගෙනිහිල්ලා භූමදානය කිරීම වගේ කරුණු ගැන ප්‍රවෘත්ති පළ වෙනවා. ලෝකයම පිළිගන්නා ලද වයිරස් විශේෂඥයන්ගේ කරුණු ඉදිරිපත් කිරීම් අනුව ආණ්ඩුවක් ක්‍රියා කළ යුතුයි. දේශපාලනය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රවේශය වහාම අත්හළ යුතුයි. තාක්‍ෂණික, විද්‍යාත්මක හා සෞඛ්‍යමය ප්‍රවේශයෙන් උත්තර ලබා දිය යුතුයි.

“අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් හැටියට ක්‍රියා කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ මේ ප්‍රශ්නය කවර අන්තයකින් කෙළවර විය හැකිද කියන අනතුරක් තිබෙන බවයි. ඒ නිසා මේ ප්‍රශ්නයට විද්‍යාත්මක පිළිතුරු වහාම ලබා දිය යුතුයි. බන්ධනාගාරයේ සිදුවීම විශාල ඛේදවාචකයක්. අධිකරණ අමාත්‍යාංශය විසින් පත්කරන ලද කමිටුව ලබාදී තිබෙන වාර්තාව හෙළිකර තිබෙන්නේ එම ගැටුමට මූලික වුණු හේතු ගණනාවක් තිබුණු බවයි. බන්ධනාගාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කීවේ කිසිවකුත් වෙඩි වැදී මිය නොගිය බවයි. 11දෙනාගෙන් හත් දෙනකුගේ මරණ පරීක්‍ෂණ තවම සිදු කර නැහැ. මරණ පරීක්‍ෂණ සිදු කළ හතර දෙනාම මියගොස් තිබෙන්නේ වෙඩි වැදීමෙන් බව හෙළිදරව් වී තිබෙනවා. මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් වෙනුවට උණ්ඩය තෝරා ගන්නා බව මෙයින් පෙන්නුම් කරනවා.

“ආණ්ඩුව රටටත් ජනතාවටත් අහිතකර තීන්දු ගත්තාම ඒ ගැන අවධානය වෙනතක යොමු කරන්න යම් නාටකීය තත්ත්වයන් නිර්මාණය කරන බවට යම් සාධාරණ සැකයක් මතු වී තිබෙනවා. කොවිඩ් වයිරසයට පැණිය නිෂ්පාදනය කිරීමත් ඒ වගෙයි. ඇත්ත ප්‍රශ්නය යට ගැසීමට යම් නාටකීය තත්ත්වයන් මතු කරනවා. අපේ ආයුර්වේද දේශීය වෛද්‍ය ක්‍රමයට විශාල ඉතිහාසයක් තිබෙනවා. අදත් ගම්වල ඕනෑම රෝගියෙක් පළමුකොටම පාරම්පරිකව වෙදකම හා හෙදකම උපයෝගී කර ගන්නවා. මෙතැන තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. කාලි අම්මා ආවේශ වෙලා හොයාගන්නා බෙහෙතක් ගැන පරීක්‍ෂණ කරන්න බාර දෙනවා. මේ වගේ විකාරරූපී නාටකයන් ආණ්ඩුව දියත් කරන බව පේනවා. උසාවිය පිළිබඳ ප්‍රශ්නයත් එහෙම එකක්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. එළැඹෙන 2021 වසරේ නව ව්‍යවස්ථාවක් සකස් කරන බව ආණ්ඩුව කීවා. වඩාත් යෝග්‍ය වෙන්නේ නව ව්‍යවස්ථාව සම්මත කර ඒ තුළ පළාත් සභාවල තිබෙන ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමයි. අනෙක් පැත්තෙන් පවතින මේ තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීම කෙතරම් උචිත ද කියා බලන්න වෙනවා. නමුත් මැතිවරණ ප්‍රමාද කිරීමත් උචිත කරුණක් නෙවෙයි. පළාත් සභා මේ වන විට ආණ්ඩුකාරවරයකු යටතේ පවතින්නේ. ඔහු තමන්ට හිතුමතේ ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියා කිරීම අපට දකින්න පුළුවන්. මේ තත්ත්වය කිසිසේත්ම අප අනුමත කරන්නේ නැහැ.”

 

නදී මාණික්කගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here