පල්ලම මදවක්කුලම ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 50ක වටිනා කමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සැකකරුයකු සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය 26 දා අත්අඩංගුවට ගෙන තිබේ.
පාලවිය ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම මදවක්කුලම පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතික හජ්ජීයාර්වරයෙකි. මොහු ප්‍රධාන පෙළේ ජාවාරම් කරුවකු බවද අනාවරණය වෙයි.
පාලවිය ගුවන් හමුදා කඳවුරේ බුද්ධි ඒකකයේ නිලධාරීන් උපාය දුතයන් යොදවා අදාළ අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම්ස් 500ක ප්‍රමාණය මිල දී ගැනිමට කටයුතු කර අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මීට පෙර තාරකා ඉබ්බන් විදේශ රටවලට යැවීමේ ජාවාරමක් මෙහෙයවා ඇති බවත්, ඒ සමඟ ඉන්දියාවෙන් කහ මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන එමට ද, රත්රන් ඉන්දියාවට යැවිමට ද කේරල ගංජා ගෙනඒම ඇතුළු ජාවාරම් රැසකට චෝදනා ලැබුවකු බව කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය රුකවල්ලා සිට ගුවන් හමුදා බුද්ධි ඒකකයේ උපාය දුතයන් මිලදී ගැනීම සිදු කරන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව කියයි.
අත් අඩංගුවට ගත් සැකකරු පල්ලම පොලිසියට ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන් හමුදා බුද්ධි ඒකකය පවසයි .
වනාතවිල්ලුව සමූහ
කේ. ප්‍රියංකර කළුපහන