ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් එල්ල වන ලකුණු ශ්‍රී ලංකා පළමු ඉනිම 396යි: දකුණු අප්‍රිකාව 317/4යි

0
21

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 396ක් රැස් කිරීමට සමත් විය.

ඊයේ දෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 317ක් රැස්කර තිබිණි.

ඒ අනුව කඩුලු 6ක් අතැතිව සිටින ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 79ක් පසුපසින් සිටී.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 55ක් සහ ටෙම්බා බවුමා ලකුණු 41ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

පන්දු 81කට මුහුණ දුන් ඩු ප්ලෙසිස් හතරේ පහර 9ක් එල්ල කළ අතර, හතරේ පහර 4ක් එල්ල කළ බවුමා පන්දු 79කට මුහුණදී තිබිණි. දෙදෙනා අතර, 5 වැනි කඩුල්ලට ගොඩනැඟූ නොබිඳුණු සබඳතාව ලකුණු 97කි.

ඊයේ පෙරවරුවේ යැවූ ඕවර 11ක් තුළ ශ්‍රී ලංකා ඉනිම නිමා කළ දකුණු අප්‍රිකානුවන් දිවා විවේකය වන විට කිසිවකු නොදැවී ලකුණු 45ක් රැස් කර තිබිණි.

සවස තේ පානය වන තෙක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත් කළ ඔවුන් ලකුණු 180ක් රැස් කර ගනිද්දී බිඳ දැමිය හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

දකුණු අප්‍රිකානු ඉනිමට සාර්ථක ආරම්භයක් දීමට ඩීන් එල්ගාර් සහ ඒඩ්‍රියන් මාක්‍රම් සමත් වූයේ ලකුණු 141ක සබඳතාවක් ගොඩනඟමිනි. විශ්ව ප්‍රනාන්දු හමුවේ මාක්‍රම් ලකුණු 68කට දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, සවස තේ පානයෙන් පසුව ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණ වෙමින් දකුණු අප්‍රිකානු කඩුලු 4ක් බිඳ දැමීමට සමත් විය.

මුළු ලකුණු 200දී රසී වැන්ඩර් ඩුසේන් (15) දවා ගැනීමට ළහිරු කුමාරත්, ඉනිමේ සාර්ථකම පිතිකරු එල්ගාර් පිටියෙන් ඉවත් කිරීමට දසුන් ශානකත් සමත් වූහ. දැවී යන විට ශතකයට ලකුණු 5ක් පසුපසින් සිටි එල්ගාර් පන්දු 130කදී හතරේ පහර 16ක් එල්ල කර තිබිණි.

තවත් ලකුණු 20ක් එක් වෙද්දී වනිඳු හසරංගගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ලකුණු 18ක් රැස්කර සිටි නායක ක්වින්ටන් ඩී කොක් දැවී ගියේ කසුන් රාජිත වෙනුවට අතිරේක ක්‍රීඩකයා ලෙස පන්දු රැකීමට පිටියට පිවිසි ළහිරු තිරිමාන්න උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

වේග පන්දු යවන කසුන් රාජිත ද ඊයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් විය. ඔහුට යැවිය හැකි වූයේ ඕවර 2.1ක් පමණි.

ලකුණු 340කට කඩුලු 6ක් දැවී තිබියදී ඊයේ දිනය ඇරඹු ශ්‍රී ලංකා පිලට තවත් එක්කරගත හැකි වූයේ ලකුණු 56ක් පමණි. ශ්‍රී ලංකා පිලේ ඉනිම වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ඔවුන්ට එරෙහිව රැස් කළ ඉහළම ටෙස්ට් ඉනිම ලෙසයි.

මින් පෙර ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවේදී රැස් කළ ඉහළම ටෙස්ට් ඉනිම ලෙස වාර්තා වූයේ කේප්ටවුන්හිදී 2012 වසරේ රැස් කළ ලකුණු 342යි.

කසුන් රාජිත (7) තවත් ලකුණු 5ක් එක් කර ගැනීමෙන් පසු දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. රාජිත ඊයේ දිනයේ දසුන් ශානක සමඟින් ලකුණු 47ක් එක්කළ අතර, 7 වැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 67කි. විශ්ව ප්‍රනාන්දු (0) මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ළහිරු කුමාරට ද ලකුණු රැස් කිරීමට නොහැකි විය. ඊයේ දැවී ගිය පිතිකරුවෝ තිදෙනාම සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ලුතෝ සිපම්ලා හමුවේ දැවී ගියහ.

සිවුවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දසුන් ශානක ඊයේ සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලෙස නොදැවී ලකුණු 66ක් රැස් කිරීමට සමත් විය. හතරේ පහර 3කින් සහ හයේ පහර 5කින් ඉනිම වර්ණවත් කර ගත් ඔහු වැය කළේ පන්දු 87ක් පමණි.

දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා තරගයේ පළමු දිනයේදී අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ. දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෝ තිදෙන ලකුණු 54ක් වෙද්දී යළිත් ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් වූහ. එහෙත් සිවුවැනි කඩුල්ලට එක් වූ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 185 දක්වා ඉදිරියට ගෙන ගියේය. ලකුණු 79ක් රැස්කර සිටි ධනංජය ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමෙන් එම සබඳතාව නතර විය.

ධනංජය පිටියෙන් ඉවත් වුව ද නොනැවතුණු චන්දිමාල් 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස ලෙස ලකුණු 85ක් රැස් කිරීමට සමත් විය. පන්දු 161කදී හතරේ පහර 11කින් ඉනිම වර්ණවත් කර ගත් ඔහු නිරෝෂන් දික්වැල්ල සමඟින් ලකුණු 99ක සබඳතාවක් ද ගොඩනැඟීය. මුළු ලකුණු 284දී චන්දිමාල් දැවී ගිය අතර, දික්වැල්ලගේ ඉනිම අවාසනාවන්ත ලෙස නිමා වූයේ අර්ධ ශතකයට ලකුණක් පසුපසින් සිටියදීය. ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන විට පන්දු 86කදී හතරේ පහර 6ක් එල්ල කර තිබිණි.

නායක දිමුත් කරුණාරත්න සමඟින් මේ තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට කුසල් ජනිත් පෙරේරා එක් වූ අතර, දිමුත්ගේ ඉනිම ලකුණු 22කින් නතර විය. මුළු ලකුණු 54දී කුසල් යුගලය ද පිටියෙන් ඉවත් විය. කුසල් පෙරේරා ලකුණු 16කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස්ට රැස් කළ හැකි වූයේ ලකුණු 12ක් පමණි. මේ ඉනිමේදී මෙන්ඩිස් ටෙස්ට් ලකුණු 3000 සීමාවට පිවිසියේය. ඔහු එම සීමාවට පිවිසි 14 වැනි ශ්‍රී ලාංකික ටෙස්ට් පිතිකරුවා යි.

ශ්‍රී ලංකාවේ 151 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසට එක් වූ 23 හැවිරිදි වනිඳු හසරංගගේ මංගල ඉනිම ලකුණු 18කට සීමා විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් මේ තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගත් ලුතෝ සිපම්ලාගේ මංගල කඩුල්ල ලෙස හසරංග දැවී ගියේ කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙනි.

අද තරගයේ තෙවැනි දිනයයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here