ස්වභාවික ආපදාවලින් ජනතාව ආරක්ෂා කිරීමට රජය බැඳී සිටිනවා – ඇමැති චමල් රාජපක්ෂ

0
9

රජයක් ලෙස ස්වභාවික ආපදා සහ විපත්වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම හා වගවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍යයේ දැක්ම හරහා තහවුරු කර ඇති බව වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් එම වගකීම නිවැරදිව ඉටුකර සුරක්ෂිත රටක් ගොඩනැගීමට අැප කැප වී සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති චමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

අතිශය වේදනාකාරී සහ කුරිරුම අත්දැකීම වූ 2004 වර්ෂයේ දෙසැම්බර් 26 සිදු වූ සුනාමි ව්‍යසනය සිදු වී වසර 16කි. කිසිදු තාක්ෂණයක් හමුවේ පාලනය කර ගත නොහැකි වූ විධිමත් ආරක්ෂක පියවරක් අනුගමනය කිරීමට ඉඩ නොතබාම දිවයිනේ වෙරළ භූමියෙන් තුනෙන් දෙකකට වැඩි කොටසකට අවතීර්ණ වූ සුනාමි රළ 26000 කට ආසන්න ජීවිත ප්‍රමාණයක් බිලි විණි.

අනපේක්ෂිත ස්වභාවික විපත් මෙන්ම කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් මත සිදුවන ආපදාවන් ද කල් ඇතිව මැඩ පැවැත්වීමේ හැකියාව අවම වුවද ආපදාවට මුහුණ දීමේ සහ එය නිසිපරිදි කලමනාකරණය කරගැනීම සදහා විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව රටට පෙන්වා දුන් සුනාමි ව්‍යසනය විපතකදී ජාතියක් ලෙස එකමුතුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙනු ලැබිණි.

ස්වභාවික සම්පත් සම්බන්ධ රීතීන්ට ගරු කිරීම, පාරිසරික සාධක නිසිපරිදි සංරක්ෂණය කිරීම ආදිය තුළින් ස්වභාවික ආපදාවන්ට මුහුණ දීමේ පූර්ව සංවේදිතාවක් ඇති කර ගත හැකි යැයි විශ්වාස කරන අතර, ඒ තුළින් පසු හානි සහ උපද්‍රව අවම කරගත හැක.ඒ සදහා අප සියලු දෙනාටම නොසලකා නොහැරිය යුතු පුරවැසි වගකීමක් ඇති බව සිහිපත් කරමු.

2004 දෙසැම්බර් 26 දින සුනාමි ඛේදවාචකයෙන් මියගිය සියලුම දෙනාටම නිවන් සුවය පතන අතරම සිය ආදරණීයන් අනපේක්ෂිත ලෙස අහිමිවීමෙන් අදටත් පීඩා විඳින සියලුම දෙනාට අප අමාත්‍යාංශයේත් අප රජයේත් ශෝකය පළ කර සිටිමු.

චන්දිමා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here