අපේ ප්‍රමුඛතාව මව්රටට එන්න බලා සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ටයි

0
15

විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණිය ද ප්‍රමුඛතාව දෙන්නේ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

සංචාරකයන්ට රට යළි විවෘත කිරීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුතු අඩාළ නොවන බවද ඒ මහතා පවසයි.

ගුවන්තොටුපොළ හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායම ශ්‍රී ලංකාවට ඊයේ (28) පැමිණියහ. ඒ අනුව ඊයේ (28) දහවල් 2.08 ට Pq555 දරන ස්කයි අප් ගුවන් යානයෙන් යුක්රේනයේ කිවී (kiev) නුවර සිට යුක්රේන සංචාරකයෝ 186 ක් මත්තල ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් අතර යුක්රේන ජාතික ළදරුවන් 20ක් පමණ සිටීම ද විශේෂත්වයකි.

දිවයිනට පැමිණි පළමු සංචාරක කණ්ඩායම පිළිගැනීමට සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග, ගුවන්තොටුපොළ රාජ්‍ය ඇමැති ඩී.වී.චානක, ගුවන්තොටුපොළ සහ ගුවන් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඔවුන් පිළිගැනීමට විශේෂ නර්ථනයක් සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසිනි. පැමිණි සියලුම සංචාරකයන්ට තේ මණ්ඩලය විසින් දේශීය තේ ඇතුළත් ත්‍යාග පාර්සලයක් ද දුන් අතර ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම පැමිණි සියලුම සංචාරකයන්ට විශේෂ සංග්‍රහයක් ද කළේය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපොළ වසා දැමුණේ පසුගිය මාර්තු 19 වැනිදායි. ඒ අනුව පසුගිය මාස 09ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයකු නොපැමිණි අතර ගුවන්තොටුපොළ මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන්යානා සඳහාත්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හා මගී හුවමාරු කටයුතු සඳහාත් පමණි. සිය ජීවනෝපාය අහිමිවීම හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරයේ සෘජු හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පීඩාවට පත්වූහ. මේ තත්ත්වය සැලකිල්ලට ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ, සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ විශේෂ මැදිහත්වීම මත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපොළ හා රට සංචාරකයන්ට විවෘත කිරීමට සැලසුම් කෙරිණ.

සංචාරකයන් මෙරට ගෙන්වීමට සංචාරක සංවිධාන ආයතන 03ක් ඉදිරිපත්ව තිබුණි. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ හා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහත්වරුන් රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළහ. ඒ සඳහා අනුමැතිය දෙමින් කැබිනට් මණ්ඩලය තීරණය කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය කිරීමටයි. එහෙත් කොවිඩ්-19 දෙවන රැල්ල හේතුවෙන් එය තරමක් ප්‍රමාද වුවද සංචාරක ඇමැතිවරයා දිගින් දිගටම රජයට කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නියමු ව්‍යාපෘතියක් ලෙස ගුවන්තොටුපොළ හා සංචාරකයන්ට රට විවෘත කිරීමට තීරණය කෙරිණ. ඊට අදාළව සංචාරකයන් මෙරටට පැමිණීම සඳහා වීසා අයැදුම් කිරීමේ සිට මෙරටට පැමිණ ආපසු සිය රට බලා යාම දක්වා කාලයේ අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ සකස් කර සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට යොමු කළ අතර ඇමැතිවරයා එය ගුවන්තොටුපොළ හා සංචාරක සංවර්ධන අධිකාරියේ බලධාරීන්ට යොමු කර තිබේ.

ඊයේ (28) දිවයිනට පැමිණි යුක්රේන සංචාරක කණ්ඩායම පැය 72කට පෙර පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඔවුන්ට අදාල හෝටල්වල ලැඟුම් ගැනීමට පෙර තවත් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කෙරිණ. ඉදිරි දින 07 ඔවුන්ට යළි පී.සී.ආර්.පරීක්ෂාවක් කිරීමට සැලසුම් කර තිබේ. ඔවුන් දින 10ක් මෙරටේ රැඳී සිටීමට නියමිතය. කොග්ගල ප්‍රදේශයේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල ඔවුන් ලැඟුම් ගන්නා අතර එම ප්‍රදේශවාසීන්ට සංචාරකයන් ගැවසෙන ප්‍රදේශවලට යාමට ඉඩ නොලැබේ. පළමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණිමට පෙර මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ අද (28) සිට ජනවාරි 24 වැනිදින දක්වා මේ සංචාරක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල්වලින් සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු කීය.

සංචාරක බුබුළ (Travel Bubble) සංකල්පය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මකයි. හඳුනාගත් කලාපයක මේ අයට නවාතැන් සැපයෙන බවත් ඔවුන් සහ ප්‍රදේශවාසීන් අතර කිසිම සම්බන්ධයක් ඇති නොවන පරිදි මෙය සැලසුම් කර ඇති බවත් ඇමැතිවරයා කීය. මේ නියාමන ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ විශ්ලේෂණය කර එහි අඩුපාඩු හඳුනාගෙන ඒවාද නිවැරැදි කර ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ලබන ජනවාරි මස අග දී ගුවන්තොටුපොළ නිල වශයෙන් යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සි‍ටියේය. ඒ අනුව වාණිජ ගුවන් ගුමන් ආරම්භ කිරීමට සූදානම් බවද ඔහු අවධාරණය කළේය.

ඒ වගේම සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම සමඟ සංචාරක පොකුරු ඇතිවේවියැයි කිසිවෙකු බිය විය යුතු නෑ. අපි මේ නියාමන ව්‍යාපෘතියෙන් සංචාරකයන් හා අපේ රටේ ජනතාව සම්බන්ධවීම උපරිමයෙන් අවම කර තිබෙනවා. සංචාරකයන්ට ගැවසිය හැක්කේ අදාළ හෝටල්වල හා වෙරළ තීරයේ පමණයි. මේ කාලයේ ඔවුන් සිටින ප්‍රදේශයට මෙරට වැසියන්ට යාමට නොහැකියි. සංචාරකයන් රටින් පිටව ගිය පසු අදාළ හෝටල් සේවකයන් දින 14ක් එම හෝටල්වලම නිරෝධායනය කරනවා. ඒ නිසා ඒ ගැන අනියත බියක් ඇති කරගත යුතු නෑයි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය.

පහන් විජේසේකර 
ඡායාරූප – ගයාන් පුෂ්පික

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here