ඇළ සිඳී ගිය වග

    0
    14

    පෙනෙන තෙක් මානයට විහිද ඇති කඳු යායේ මෙපිට බෑවුම රබර් වගාවෙන් වැසී තිබුණ ද කඳු මුදුන එකම වන තීරයකි. නාඹර කිතුල් ගස්ද, උසැති දෝතළු ගස්ද අනෙකුත් ගස් අබිබවා නැගී සිටිනු බොහෝ දුර ඈතට දැකිය හැකි විය.

    කොස්, දෙල් සහ වල් දෙල් නොහොත් බැදි දෙල් ගස්ද වෙරළු, ලාවුලු, ගඩුගුඩා වැනි පලතුරු ගස් ද එහි සුලබ විය. ඒ අතර දැවමය වටිනාකමක් ඇති හල්මිල්ල, හවරිනුග , මහෝගනී වැනි දැවැන්ත ගස් ද එහි නොඅඩුව තිබුණි. ඒ හැරුණු විට සුදු හඳුන්, සාම්බ්‍රානි සහ රත් හඳුන් වැනි අගනා ඖෂධීය ශාක ද එහි තිබුණේ යයි ඇසූ දුටුවෝ පැවසූහ.

    පාසල් නිවාඩු කාලයට මේ මහ වනයට වදින ඇතැම් ගැටවර සිසුහු බැදි දෙල් එක්කාසු කරති. ඔවුහු පැසුණු බැදි දෙල් මදුලු ගලවා හුණ්ඩු ගණනට අලෙවි කරති.

    නොපැසුණු බැදි දෙල් මැල්ලුමට ලියා හෝ ගෙඩි පිටින් විකුණති. ඒ ඔවුන්ගේ පොත් පත්, පෑන් පැන්සල් වැනි පාසලේ අඩුවැඩිය සපුරා ගැනීමට ය.

    පැසුණු වල් දෙල් මදුලක් ඉතා කුඩා ය. සාමාන්‍ය කොස් මදුලක ප්‍රමාණයෙන් අඩකිනුත් අඩක් පමණ වේ. වල් දෙල් තැම්බුම මෙන්ම නොපැසුණු වල් දෙල් මැල්ලුම ද ඉතා රසවත් හා ගුණවත් ආහාරයකි .

    “අපි බොහොම අමාරුවෙන් මේව කඩන්නෙ නැන්දෙ. එක්කෙනෙක් ගහට නැගලා හොඳට ගෙඩි තියෙන අත්තක් දෙකක් කපනවා. ඉන් පස්සෙ අර කන්ද මුදුනෙ ඉඳන් ගෙනත් සුද්ද කරන්ඩත් එපායැ.”

    මිල හෙට්ටු කරන්නියකට දරුවෝ එසේ පවසති.

    ඔවුහු එලෙස වන වැදුණු සමහර දවසට විවිධ වර්ණයේ සහ වර්ගයේ ඕකිඩ් මල් ගස් ද රැගෙන ආහ. ඒ අතර නාරි රුවක හැඩය ගත් සුදු පැහැති නාරිලතා මල් කිනිති ද පොදි පිටින් තිබුණා මතකය.

    ඒ මහ වන මැද උපන් දිය ඇළක් අපේ ගෙවත්ත මායිමෙන් ද ගලා ගියේය. නාන්නට, රෙදි සෝදන්නට, බල්ලා නාවන්නට සහ තවත් බොහෝ වැඩ කටයුතු සඳහා අපට එය උපකාර කළේ ඉතා කිට්ටු සුමිතුරකු ලෙසය.

    කළු ගල් දෙබොක්කාවක් අතරින් ගලා එන සීතල දිය කඳ පිහිල්ලක් බවට පත්කොට තිබුණේ වැඩි පහසුව සඳහාය. ගලා ආ දිය කඳ උණ ලී පිහිල්ලකට ඔරොත්තු නොදෙන බැවින් ඒ සඳහා යොදා ගැනුණේ හොඳින් වැඩුණු, පුවක් කඳකින් තැනුණු සවිමත් පිහිල්ලකි.

    වර්ෂා කාලයේදී ඉන් ගලා එන දිය කඳට හිස අල්ලා නෑම අසීරු වූයේ එහි පීඩනය හිසට ඔරොත්තු නොදෙන තරම් ප්‍රබල වූ හෙයිනි.

    එකී පීඩනය නිසාම එහි නිර්මාණය වී තිබූ පුළුල් දිය වල කුඩාවුන් දෙතුන් දෙනකුට පිහිනන්නට, දිය බුං ගසන්නට වුව ප්‍රමාණවත් විය.

    කුඩා අප ගං දියට දැමුවා සේ අසලටම වී විමසිල්ලෙන් බලා හිඳින්නට අම්මා එහිදී උත්සුක නොවූවා ය. ඇල ඉවුරේ සරුවට වැවුණු ගොටුකොළ බූසිය ද කිරිපලා හෝ දියබෙරලියා යාය ද අම්මාට අත් වනා කතා කළා විය යුතුය; අප ඇළෙන් නෑ දවසට එවැනි ප්‍රණීත මැල්ලුමක් අපගේ ආහාර වේලට නොවැරදීම එක් විය.

    අම්මා පළා නෙළන අතරේ අපට කරන්නට තවත් නොයෙකුත් දෑ තිබුණි. ගලා යන ඇළේ බුලත් හපයින් ද, තිත්ත පැටවුන් ද රවුම් ගල් කැට අතර සැඟවෙමින් අප සමග හැංගිමුත්තන් කළෝය.

    සුදට හුරු ගෙල දිගුකරමින් අඩියෙන් අඩිය විමසිල්ලෙන් පා තබා යන අළු පැහැ කොරවක්කන් ඇළ ඉවුරේ ඇවිද ගියේ කිසි බිය සැකක් නොපෙන්වමිනි. ඉවුරු තුළ ගුල් හාරා බිත්තර දමන තැඹිලි පැහැයට හුරු රන් පිළිහුඩුවෝ ඊ ගසක් සේ වරින් වර පියාඹා විත් ගුල තුළට වැදී සැඟවුණෝය.

    විනිවිද පෙනෙන පියාපත් සහිත කුඩා බත්කූරන් පියා සලන ආකාරය නැරඹීමට ද අප මහත් සේ ප්‍රිය කළෙමු. අනෙකුත් පියාඹන පක්ෂීන් හා කෘමි සතුන් මෙන් නොව ගුවන්ගත වන ගුවන් යානාවක් පරිද්දෙන් සිරස්ව ඉහළට පියාඹා යන බත්කූරන් දෙස බලා හිඳීම ආශ්වාදජනකය.

    එක්තරා සිංහල අලුත් අවුරුදූ සමයකදී අපගේ ඥාති සොහොයුරකු පාසල් නිවාඩුව ගත කරන්නට අප නිවසට පැමිණ සිටියේය. ඔහුගේ විනෝදාංශය වී තිබුණේ ඇළ අයිනේ බත් කූරන් ඇල්ලීමය. අල්ලාගත් බත් කූරාගේ සිහින් සිරුර අග නූලක් පටලවා තබා උනට පියාඹා යන්නට ඉඩ හැරීම ඔහුගේ සිරිත විය.

    “සත්ව හිංසාව බොහොම පවුකාර වැඩක්.”

    අප කොතෙක් කීවද ඔහු අපට හොරා ඔහුගේ විනෝදාංශය නිවාඩුව හමාර වන තුරුම පවත්වාගෙන ගියේය. මසක නිවාඩු කාලයෙන් හරි අඩක් පමණ ඔහු ගත කළේ ඇළ ඉවුරේය.

    ඉඳ හිට ඇළ අයිනේ වූ කලු අල පඳුරු ගොන්න තුළින් මතු වූ දිය නයකු නිසොල්මන්ව දිය යටින් ඇදී ගියේ අපේ සිත් තැතිගන්වමිනි.

    “අම්මේ, මෙන්න නයෙක් !”

    බාල වියේදී අප දුටු දුටු සෑම සර්පයකුම හැඳින්වූයේ නයකු හැටියටය.

    “ඔය දියබරියෙක්නෙ. දිය නයා කිවුවට එයා නයෙක් නෙමෙයි. කාටවත් හිංසාවක් කරන්නෙත් නෑ. එයත් හරියට ලොකු මාළුවෙක් වගේ. බොහොම අහිංසක සතෙක්.”

    අම්මා අපේ බියපත් සිත් නිවා දැමුවේ එලෙසය.

    රබර් ගස් ගලවා ඉවත් කොට අළුතින් රබර් පැළ සිටුවන කාලසීමාව තුළදී කඳු මුදුනේ වනපෙත එහි පාමුලට අපූරුවට පෙනේ. හරියට කඳු මුදුනේ තද නිල් පැහැති යෝධයකු නිදා සිටිනවා වාගේ ය. කඳු බෑවුමේ යුහුසුළුව වැඩ කරන මිනිසුන් දුරට පෙනුණේ තණ බිමක උලා කන ගව රංචුවක් සේ ය.

    ඔවුහු උදුරා බිම හෙලූ රබර් ගස් කුට්ටි කොට කඳු පාමුලට ගෙන ආහ. අනතුරුව ඒවා මිනිසුන් අතින්ම ලොරි තුළට පැටවුණි.

    එහෙත් රබර් කුට්ටි අතරේ වනාන්තරයේ වූ අගනා දැව ගස් ද කඳු පාමුලට පැමිණ තිබුණි. එය එකල කුඩාවුන් වූ අපට මහා බරපතල ව්‍යසනයක් සේ දැනුණේ නැත. රුවන්වැල්ලේ දළ පූට්ටුවා දවස තිස්සේ වෙහෙසෙමින් එම ලී කඳන් ලොරි තුළට පටවන හැටි අප බලා සිටියේ මහත් ආශාවෙනි. එමෙන්ම දිගු හොඬවැලෙන් මහත් අපහසුවෙන් හොණ්ඩර ගණන් බර ඔසවන දළ ඇතා පිළිබඳව උපන් අනුකම්පාවෙනි.

    එසේ ලොරිවලට පැටවුණේ කොස්, මිල්ල, මහෝගනී වැනි වටිනා දැව කඳන්ය. එකල ඊට එරෙහිව නැගී සිටින්නට උත්සාහ කළ වැඩිහිටියන් කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් අකර්මණ්‍ය කරවූවා සේය.

    “ආණ්ඩුවෙ කැලෑවෙ ගස් එහෙම කපන්ඩ පුළුවන් ද?”

    “අන්තිමට වතුර නැතුව දුක් විඳින්ඩ වෙන්නෙ අපිටයි.”

    “අනේ මන්දා. නඩුත් හාමුදුරුවන්ගෙ ,බඩුත් හාමුදුරුවන්ගෙ .”

    ගම්මුන් එකිනෙකා වන විනාශය පිළිබඳව තැන තැන නොයෙකුත් දෑ කතා කළහ.

    කාලය වසර ගණනින් ගෙවී යද්දී වනය වරින් වර එසේ එළි පෙහෙළි විය. ඊට සමගාමීව අපේ ඉඩම කෙළවරෙහි වූ ඇළෙහි වපසරියද කෙමෙන් කුඩා වෙමින් තිබුණි. තවත් කලෙකින් පිහිල්ල ඉවත් කෙරුණේ ඉන් ගලා එන්නට ඇති තරම් වතුර ගල් දෙබොක්කාවෙන් මතු නොවූ නිසාවෙනි.

    අවිස්සාවේල්ල ගිණිගත්හේන හරහා කොළඹ – නුවරඑළිය (A-7) මාර්ගයේ අපගේ නිවස අසබඩ වූ විශාල බෝක්කුව තනා තිබුණේ ඒ ඇළට ගලා යන්නටය. සියවසකටත් වැඩි කාලයකට පෙර එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ ඉංග්‍රීසි ඉංජිනේරුවන් විසින් එය සැලසුම් කරන විට එම බෝක්කුව යටින් දැවැන්ත ජල කඳක් ගලා යන්නට ඇතිවාට සැක නැත.

    එහෙත් දැන් එතැනින් ගලා යන්නට දිය ඇළක් ඇත්තේම නැත. තද වැසි වැටෙන සමයට වට පිටාවෙන් රොක්වන වැසි වතුර පමණක් සුපුරුදු මග ඔස්සේ ගඟ වෙත ගලා යන්නේ පුරුද්දට වාගේය.

     

    සුනිලා විජේසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here