– ආධාරක නෑ:
– විස්මිත ඉංජිනේරු නිර්මාණයක්:
– අයිෆල් කුලුනට වඩා මීටර් 30ක් උසයි:
ඉන්දියාවේ පළමු අතිදැවැන්ත එල්ලෙන පාලම ජම්මු කාශ්මීරයේ රයේසි දිස්ත්රික්කයේ ඉදිකරමින් පවතී. අන්ජි පාලම ලෙස හඳුන්වන එය ඉදිකර අවසන් වූ විට එරට දුම්රිය සේවයේ විස්මිත ඉංජිනේරු නිර්මාණයක් වනු ඇත. පැයට කිලෝ මීටර් 260ක වේගයෙන් හමා යන සුළඟකට වුවත් ඔරොත්තු දෙන ආකාරයට ඉදිකර ඇති මෙහි අපේක්ෂිත ආයු කාලය වසර 120කි. මීටර් 133ක් උසැති ආධාරක, වැරගැන්වූ කොන්ක්රීට් සහ වානේ කුලුනු දෙකක් මත ඉදිකර ඇති මේ පාලමට මැදින් කිසිදු ආධාරකයක් සවිකර නැත. ලොව හත්වැනි විශාලතම එල්ලෙන පාලම අන්ජි පාලම වේ.
උදම්පූර්-ශ්රී නගර්-බාරාමුල්ලා රේල් පාරේ ඉදිකෙරෙන මේ පාලම ජම්මු කාශ්මීරයේ උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණත්වයට පත් කරයි. පින්ලන්ත සහ ජර්මන් උපදේශක සමාගමක් මේ පාලම සැලසුම් කර ඉදිරිපත් කර ඇති අතර කොන්කන් රේල්වේස් සමාගම එය ඉදිකරමින් පවතී. අන්ජි පාලම නිසා කවුරි සහ රයේසි දිස්ත්රික් දෙක එකතු කෙරේ.
කාත්රා-බැනිහල් දුම්රිය මාර්ගයේ රයේසි දිස්ත්රික්කයේ පිහිටි කවුරි ගම්මානය හරහා එය වැටී ඇත. මේ පාලමට පහළින් ගලා යන චෙනාබ් ගංගාවේ සිට මීටර් 359ක් ඉහළින් පිහිටා ඇති අන්ජි පාලම ප්රංසයේ පැරිස් නගරයේ පිහිටි අයිෆල් කුලුනට වඩා මීටර් 30ක් උසින් වැඩි බව නිලධාරීහු කියති.