කොරෝනා මරණ අාදාහන අර්බුදය විසඳන්න

0
36
Author(s): 
ශිරෝමි අබයසිංහ

කොරෝනා අසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මේ වන විට ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයටත් එහා ගිය ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්ව ඇති හෙයින් එ් සඳහා මැදිහත් වෙන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්, අගරදගුරුතුමන් ප්‍රමුඛ ආගමික නායකයන් වෙත විශේෂ සංදේශයක් යොමු කර තිබේ.

මේ වන විට සමාජය තුළ මතුව ඇති මෙම සංවේදී සහ අර්බුදකාරී ගැටලුව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සහ ඒ සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, අගරදගුරු හිමියන් ප්‍රමුඛ ආගමික නායකයන් දැනුම්වත් කරමින් එම විශේෂ සංදේශය යොමු කර තිබේ.

එහි අන්තර්ගතය මෙසේය.

කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු සම්බන්ධව ආණ්ඩුව සියලු ජන කොටස් සමඟසාකච්ඡා කිරිමෙන් පසු පොදු එකගතාවයකට පැමිණ කඩිනම් තීරණයක් ගත යුත්තක් බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව දැනුම් දීමට කැමැත්තෙමු.

අප පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයන් පසුගිය 23 වන දා පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම අමතමින් එතුමා විසින් අදාල යෝජනා ව ඉදිරිපත් කළ අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එම අදහස ඒකමතිකව අනුමත කරන ලද බව ද දන්වනු කැමත්තෙමු. මෘත දේහයන් අදාහනය කරන්නේ ද භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරිම ඒ ඒ ජන කොටස්වල අයිතිවාසිකමක් බවත්, විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්ඡා කළ යුතු බවත් වික්‍රමසිංහ මහතා එහිදී යෝජනා කරන ලදී. සියලු ජනතාවට ආමන්ත්‍රණය කල හැකි වන්නේ සියලු ආගම් නියෝජනය කරන වගකීම් සහගත ආගමික නායකයන්ගේ නියෝජනය ඒ සඳහා ලැබෙන්නේ නම් පමණක්ය යන ස්ථාවරයේ අපි සිටින්නෙමු.

එක්සත් ජාතික පක්ෂය සැමවිටම බුදුදහමට ප්‍රමුඛත්වය ලබා දෙමින් සෙසු ආගම්වල අයිතීන් මෙන්ම වටිනාකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ සහ ක්‍රියා කරන, ජාතීන් අතර සංහිදියාව පිළිගත් පක්ෂයක් ලෙස මෙම ගැටලුව දෙස බලන්නේ පුළුල් දෘෂ්ටිකෝණයකිනි. මුස්ලිම් ජනතාව පමණක් නොව කතෝලික ජනතාව ද මෘත ශරීර භූමදානය කරන බව ද අප පිළිගත යුතු දෙයකි.අනෙක් අතට ඇතැම් අවස්ථාවල බෞද්ධ මෙන්ම හින්දු ජනතාවත් මළ සිරුරු භුමදානය කරන අවස්ථා තිබේ. ඔවුන් මෘත දේහයන් ආදහනය කරන අවස්ථා ද තිබේ. අප ඒ අයිතිවාසිකම ද පිළිගත යුතුය.

මේ ප්‍රශ්නයේදී “කිසි ලෙසකින්, ජනතාව ජාතිය, ආගම, කුලය අනුව වෙන් නොකර පවතින සැබෑ තත්ත්වය ගැන ආගමික නායකයන් සමග සාකච්ඡා කළ යුතුය. කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මෙවැනි සංවේදී ප්‍රශ්න පටු ජාතිවාදී හෝ ආගම්වාදී කරුණු වෙනුවෙන් යොදා ගැනීමට ඉඩ නොතැබිය යුතුය”යන ස්ථාවරයේ අප සිටිමු.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සේම කොරියාව, ඉන්දියාව, ජර්මනිය යන රටවල් මේ කාරණය සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය විමසා බැලීම වැදගත්ය. සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන නිර්දේශ ඉහළින්ම පිළිගත යුතුය යන ස්ථාවරයේ අප සිටින්නෙමු. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය. එහිදී කළ යුතු වන්නේ සියලුම ආගමික නායකයින් සහ සෞඛ්‍ය බලධාරීන් කැඳවා සාකච්ඡා කර ඉකමණින් තීරණක් ගැනීමයි.

ඒ අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව හා ඉස්ලාමීය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යන ආයතන සමඟ මුලික සාකච්ඡාවක් පවත්වා ඉන් අනතුරුව අදාල දෙපාර්තමේන්තුවල සම්බන්ධීකරණයෙන් ආගමික නායකයින් සමඟ සාකච්ඡා කිරිමට පියවර ගතයුතු බව අප යෝජනා කරමු.

සියළු පාර්ශව සමග සාකච්ඡා කොට අවසන් විසදුමකට පැමිණෙනවා විනා, ඒක පාර්ශවිකව, අන්තගාමිව කටයුතු කොට එක ජනවර්ගයක ජනතාව පීඩාවට ලක් කරමින් මෙවැනි සංවේදි ප්‍රශ්න ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්න බවට පත්වන්නට ඉඩ දී රජය කල් මැරීමෙන් සිදුවෙන්නේ ජාත්‍යන්තරයේ අප රට පිළිබඳ අයහපත් ආකල්ප නිර්මාණය කිරීමට කැස කවන බලවේගයන්ට වක්‍රාකාරයෙන් උදව් කිරීම පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ අදහසයි.

එබැවින් මේ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ගෞරව පුර්වක ලෙස ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here