කොවිඩ් පරදවමින් යළි පිබිදෙන කුළුබඩු කර්මාන්තය

    0
    11

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය මුළු මහත් ලෝකයම සිය අණසකට යටත් කර ගත්තේ නොසිතූ විරූ ලෙසිනි. ලොකු, කුඩා, දුප්පත්, පොහොසත් කිසිදු භේදයකින් තොරව ලොව සියලු රටවල් පාහේ මෙම වයිරස් මාරයාගේ ගොදුරු බවට පත් වූ අතර එමඟින් ගෝලීය ආර්ථිකය ද කිසිදා නොවූ විරූ අයුරින් බිඳ වැටෙන්නට විය. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද එලෙසම බලපෑ නමුත් අපනයන කෘෂිභෝග හෙවත් කුළුබඩු ක්ෂේත්‍රයට ඇති කරනු ලැබුවේ යහපත් සාධනීය බලපෑමකි. ඒ අනුව ඉදිරි වර්ෂ කිහිපය කුළුබඩු කර්මාන්තයේ නිරත සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුවේ මල් පීදෙමින් පවතී. මේ ඒ පිළිබඳව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද මහතා සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව ඇසුරෙන් මේ ලිපිය සැකසිණි. 

    “කොවිඩ් වසංගතය හේතු කොට ගෙන ලෝක ආර්ථිකයට මෙන්ම ලංකාවේ ආර්ථිකයට ද විශාල බලපෑම් එල්ල වූ අතර රටේ බොහෝ අංශවල කඩා වැටීම් දක්නට ලැබුණ නමුත් කුළුබඩු හෙවත් අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රය පසුගිය වසරට වඩා ආදායම් ඉපැයීම අතින් සිටින්නේ ඉදිරියෙනි. මෙවැනි දරුණු ගෝලීය වසංගතයක් හමුවේ කුළුබඩු කර්මාන්තය ලබා ඇත්තේ ඉතා විශාල ජයග්‍රහණයකි.”

    අපනයන කෘෂි භෝග හෙවත් කුළුබඩු අපනයනය කිරීමෙන් පසුගිය 2019 නොවැම්බර් මාසය අවසන් වන විට ලැබී තිබු විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 58,261කි. ඒ සඳහා කුළුබඩු මෙට්‍රික්ටොන් 43,265ක් අපනයනය කර ඇත. එසේම 2019 වසරේ ශ්‍රී ලංකාවේ කුළුබඩු අපනයනයෙන් ලැබූ මුළු ආදායම රුපියල් මිලියන 63,000කි. නමුත් 2020 වසරේ නොවැම්බර් මාසය වනවිට කුළුබඩු මෙට්‍රික් ටොන් 48, 227ක් අපනයනය කරමින් රුපියල් මිලියන 66, 670ක ආදායමක් ලබා ගෙන තිබේ. ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් අවසානයට වඩා මෙම වසරේ නොවැම්බර් මස අවසානය වනවිට අපනයන කෘෂි භෝග මඟින් මිලියන 8000ක පමණ වැඩි ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. 2021 ඇරඹුම සමඟ මෙම අපනයන ආදායම තව දුරටත් ඉහළ යනු ඇත.

    මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය

    කොවිඩ් වසංගත තත්ත්වය සමඟ ඇතැම් කුළුබඩුවල වටිනාකම වෙනදාට වඩා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි. කහ, ඉඟුරු, සාදික්කා, ගම්මිරිස්, කුරුඳු වැනි කුළුබඩු භෝග ඒ සඳහා කදිම නිදසුන් සපයයි. මෙම කුළුබඩු ආහාර රසවත් කිරීමට පමණක් නොව ඖෂධ ලෙස කොවිඩ් රෝගයෙන් වැළකීම සඳහා භාවිතයට ගැනීම එයට හේතුවයි. ඉහත සඳහන් කුළුබඩු භෝග මඟින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරන බවට ආයුර්වේදයේ සඳහන් වේ. එමෙන්ම කහ වැනි කුළුබඩු භෝග විෂබීජ නාශන ගුණයෙන් යුක්ත වන්නේයැයි විශ්වාසයක් පවතී. එම නිසා කොවිඩ් රෝගයේ ව්‍යාප්තියත් සමඟ මෙම කුළුබඩු පරිභෝජනය සඳහා තිබු දේශීය මෙන්ම විදේශීය ඉල්ලුමද ඉහළ ගොස් තිබේ.

    අපනයන කෘෂිභෝග අතරින් මෙම වසරේ කාගේත් වැඩි අවධානය යොමු වූයේ කහ භෝගය පිළිබඳයි. වෙළෙඳපොළේ රු. 40ට 50ට පමණ තිබූ අමු කහ කිලෝව රුපියල් 600, 700 දක්වා ද වියළි කහ කුඩු කිලෝ 1ක් රුපියල් 5000 පමණ දක්වා ද ඉහළ ගියේය. කහ ආනයනය සීමා කිරීමට පෙර කහ සඳහා වෙ‍ෙළඳපොළේ තිබුණේ අඩු මිලකි. එම නිසාම වගාකරුවන් මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකළත් කහ හිඟය සමඟ මිල ඉහළ යෑම නිසා බොහෝ දෙනෙක් කහ වගා කිරීමට මෙම වසරේ පෙලඹුණහ.

    අස්වැන්නක අපේක්ෂාව

    මේ වන විට ලංකාවේ හෙක්ටයාර 1500ක පමණ බිම් ප්‍රමාණයක කහ වගාකොට ඇත. ලබන ජනවාරි මස සිට කහ අස්වනු නෙළීම ආරම්භ වන අතර ඉන් අමුකහ මෙට්‍රික් ටොන් 25, 000ක අස්වැන්නක් අපේක්ෂා කෙරෙයි. එසේම ලැබෙන එම කහ අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 4500ක ප්‍රමාණයක් බීජ කහ අල ලෙස ඉදිරි වසර සඳහා නැවත වගා කිරීමට අවශ්‍ය වනු ඇත. කෙසේ වෙතත් දේශීය කහ පරිභෝජන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන කහ මෙට්‍රික් ටොන් 60 ,000ක අස්වැන්නක් එමඟින් නෙළා ගත හැකි වෙතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි. එසේ වුවහොත් ඉදිරි 2022 වර්ෂය ලබන විට ශ්‍රී ලංකාවට කහවලින් ස්වයංපෝෂිත වීමේ ඉලක්කය සපුරාගත හැකි වනු ඇත.

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුකොට ගෙන කුළුබඩු කර්මාන්තයේ ඇති වූ සුවිශේෂි ඉල්ලුමට අමතරව දේශීයව වගා කළ හැකි කුළුබඩු වර්ග බොහොමයක් සඳහා ආනයන සීමා පැනවීම දේශීය ඉල්ලුම ඉහළ යෑමට බලපෑ තවත් කාරණයකි. එමෙන්ම විදේශ වෙළෙඳපොළට කුළුබඩු වැඩි වශයෙන් සැපයූ ඉන්දියාව වැනි රටවල අපනයන කෘෂි ආර්ථිකය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බිඳ වැටීමට ලක් වුවත් වාසනාවකට මෙන් අපේ රටේ එවැනි තත්ත්වයක් ඇති වූයේ නැත. ශ්‍රී ලංකාවේ සුළු පසුබෑමක් ඇති වූයේ පළමු කොවිඩ් රැල්ල හටගත් මාර්තු මාසයේදී පමණි. කොවිඩ් වසංගතයේ දැඩි බලපෑමට අපේ රට ලක් නොවූ බැවින් විදෙස් රටවල් අපේ අපනයන කෘෂි භෝග විශ්වාසයෙන් යුතුව මිල දී ගත් අතර දේශීය කුළුබඩු භෝගවල ඉල්ලුම අඛණ්ඩව පැවතුණි. එමෙන්ම කොවිඩ් තත්ත්වය හමුවේ දෙස් විදෙස් නව ගැනුම්කරුවන් ද අපේ කුළුබඩු මිල දී ගැනීමට පෙලඹුණ අතර මේ සියලු කාරණා අපනයන කෘෂි භෝග ආදායම ඉහළ නැංවීමට හේතු විය.

    අභියෝග හමුවේ නොසැලී

    කවර අභියෝග මධ්‍යයේ වුව ද මෙම 2020 වර්ෂයේ අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රය නඟා සිටුවීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර රැසක් ගෙන තිබුණි.

    මෙහිදී, අක්කර කාලක් හිමි වගාකරුවන්ට පමණක් සීමා වී තිබූ නොමිලේ පැළ ගැනීමේ හැකියාව අක්කර 5ක් හිමි වගාකරුවන් දක්වා පුළුල් කිරීමට මෙම වසරේදී හැකි වී තිබේ. මේ යටතේ කුරුඳු, ගම්මිරිස්, කරාබු, සාදික්කා, පුවක් යන භෝගවලින් වගා කටයුතු සඳහා රෝපණ ද්‍රව්‍ය වැඩි වශයෙන් වගාකරුවන්ටදී ඇති අතර පුවක් පැළ පමණක් ලක්ෂ 9ක් දීමට සැලසුම් කර තිබිණි. එමෙන්ම ඉඟුරු සහ කහ බීජ සඳහා කිලෝග්‍රෑම් 1කට රුපියල් 100 බැගින් වගා ආයෝජන ආධාරයක් දීමද විශේෂත්වයකි. මෙම වසරේ හෙක්ටයාර 1500ක භූමි ප්‍රමාණයක අපනයන කෘෂිභෝග අලුතින් වගා කිරීමට සැලසුම් කළ අතර කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ යම් යම් බාධාකාරී තත්ත්වයන් මතු වුවත් මේ වනවිට මෙම වගා වැඩසටහන් සියල්ල අවසන් අදියරේ පවතී.

    මෙවැනි පසුබිමක් හමුවේ ලෝක ආර්ථිකය මෙන්ම දේශීය ආර්ථිකයේත් යම් යම් වෙනස්වීම් හා පසුබෑම් දක්නට ලැබුණ ද ඒ සඳහා ඉදිරියේදී සාර්ථකව මුහුණ දීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි. 

    “ලෝක ආර්ථිකයේ සිදු වූ පසුබෑම් අනුව අපේ දේශීය ආර්ථිකය තුළ එකම ඵලදායී විකල්පය බවට කෘෂි අපනයනය පත් වී හමාරය. එය අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රයට නව නැම්මක් එක් කොට තිබේ. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කුළුබඩු කර්මාන්තය නඟා සිටුවීම සඳහා පස් අවුරුදු ජාතික සැලැස්මක් 2021 වසරේ සිට ක්‍රියාත්මකයි. මේ යටතේ දීප ව්‍යාප්ත මට්ටමෙන් නව වගා වැඩසටහන් මෙන්ම පවතින වගා ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. මෙමඟින් බලාපොරොත්තු වන්නේ වගාකරුවන්ගේ අස්වැන්න ඉහළ දැමීමය. කොවිඩ් රෝගය සඳහා දේශීය ඖෂධ නිෂ්පාදනය පිළිබඳවත් මේ වනවිට රට තුළ විවිධ අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවතින අතර එහිදී කුළුබඩු ප්‍රධාන ඖෂධ ලෙස යොදා ගැනෙන බැවින් තව දුරටත් කුළුබඩු සඳහා පවතින ඉල්ලුම දේශීයව මෙන්ම විදේශීයවද ඉහළ යා හැකිය.

    ඉල්ලුමට සැපයුම

    එමෙන්ම කෝවිඩ් වසංගත තත්ත්වය තව වසර කිහිපයක් යනතුරු ලෝකයෙන් තුරන් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන පසුබිමක අපේ කුළුබඩු සඳහා තිබෙන ඉල්ලුම ඒ අනුව ඉදිරි වර්ෂ කිහිපයේදී තව දුරටත් වැඩිවෙතැයි අපේක්ෂා කෙරේ. මේ යටතේ අපනයන ගම්මාන සංවර්ධන වැඩසටහන නව මුහුණුවරකින් 2021 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. ඒ අනුව තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඉලක්ක කර ගනිමින් එම ප්‍රදේශයට වඩාත් ගැළපෙන අපනයන කෘෂි භෝගයක් මුල් කර ගනිමින් අපනයන ගම්මාන 100 ක් මූලික අදියරේදී ස්ථාපනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    එසේම කුළුබඩු අපනයනයේදී ගුණාත්මකභාවය පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබන අතර ග්‍රාමීය මට්ටමින් කුළුබඩු අස්වනු සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවීම මෙන්ම කාබනික කුළුබඩු ගම්මාන සංවර්ධනය කිරීම ආදිය ප්‍රධාන වේ. වර්තමානයේ අපනයන කෘෂි භෝග පැළ හා රෝපණ ද්‍රව්‍ය සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවින් ප්‍රධාන නගර ආශ්‍රිතව පැළ අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීමට දැනටමත් කටයුතු යොදා අවසන්ය. තවද මාතලේ පිහිටි ජාතික කුළුබඩු උද්‍යානය ලබන වසරේ මහජනයාට විවෘත කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සියලු ක්‍රියාමාර්ග තුළින් 2025 වර්ෂය වන විට දැනට රුපියල් බිලියන 65ක දේශීය කුළුබඩු ආදායම රුපියල් බිලියන 100 දක්වා ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන අතර මේ තුළින් අපනයන කෘෂිකර්මාන්තය ජාතික ආදායම් උත්පාදනයේ ප්‍රධාන අංශයක් බවට පත් කිරීම මූලික අරමුණය.

    දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු 
    ඡායාරූප – ලසන්ත අබේරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here