ගාල්ලේ කබඩි ලොක්කන්ට කකුල් මාට්ටුවක්

0
17
Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා කබඩි සංම්මේලනයේ විධායක සභාව නියෝජනය කළයුතු සංගම් 5ක් රැසක් විධායක සභාවට සහභාගිවීම පැහැර හැරීම හේතුවෙන් විධායක බලය අහෝසි කිරීමට යෝජනා ස්ථිර වෙයි. අන්තර්ජාලය ඔස්සේ වීඩීයෝ තාක්ෂණය ඔස්සේ සභාපති අනුර පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ගාල්ල, මාතර, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික් කබඩි සංගම්වල විධායක බලය අහෝසි කිරීමට තීරණය වී ඇති අතර එම සංගම්වල ප්‍රධානීන් මන්නාරම , බන්ඩාරවෙල, හෙට්ටිපොළ හා කොළඹ පැවැති විධායක සංගම් රැස්වීම් වලට එක දිගට සහභාගී නොවූ බවට තහවුරු වී ඇත.

එලෙස පැවැති විධායක සභාවාරයන් සදහා නොපැමිණීම කබඩි සංම්මේලනයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවත් ඒ සඳහා දඬුවම ඉදිරි විධායක සභා රැස්වීම් තහනම් කිරීම බවත් වීඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවැති විධායක සභාවේදී සඳහන් වී ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ගාල්ල, මාතර, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික් කබඩි සංගම්වල විධායක බලය තහනම් කළද එම සංගම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන ජාතික හෝ ජාත්‍යන්තර තරගාවලි සඳහා කිසිදු ආකාරයේ වාරණයක් මේ මගින් පැන නැගෙන බවටද කබඩි සම්මේලන විධායක සභිකයන් තීරණයක් ගෙන ඇත.

මෙම විධායක සභා රැස්වීමට විශේෂ අවසරය මත දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම නියෝජනය කල සහ අවුරුදු 7 ක් ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ නායකත්වය දැරූ ගාල්ල ප්‍රදේශයේ ජීවත් වන ලලිත්ප්‍රිය මෙන්ඩිස් මහතා සහභාගීවීම විශේෂත්වයක් විය. එහිදි ඒ මහතා විසින් ඉල්ලා සිටියේ දීර්ඝකාලයක් ජාතික ජයග්‍රහණයක් රැසක් අත්කර දුන් ගාල්ල දිස්ත්‍රික්කයේ කබඩි ක්‍රීඩාව අභාවයට ගොස් ඇති හෙයින් කබඩි සම්මේලනයේ අවධානය යොමු කරන ලෙසය.

ගාල්ල දිස්ත්‍රික්කයේ කබඩි ක්‍රීඩාවට සම්බන්ධ අය ක්‍රීඩාව නැංවීමට කිසිදු උත්සාහයක් නොගැනීම හේතුවෙන් දක්ෂ කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරමංව සිටින බව මෙන්ඩිස් මහතා කබඩි සම්මේලනයේ සභාපති ලේකම් හා විධායක සභාවේ අවධානය යොමු කිරීම ද සිදුවිය.

අන්තර්ජාලය හරහා වීඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවැති කබඩි සංම්මේලනයේ විධායක රැස්වීමේදී ලබන වර්ෂයේ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා දින වකවානු තීරණය කර ගැනීමද සිදුව තිබේ. ලබන වසරේ පැවැත්වෙන ජාතික තරගාවලියට අමතරව, විනිසුරුවන් හා පුහුණුකරුවන් පිළිබඳ වැඩසටහන් රාශියකට අනුමැතිය හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here