ගෝනුස්සා

    0
    20

    වන්නියේ වස්සානය මෙවර වෙනදා තරම් ත්‍රීව්‍ර නොවූ නිසාදෝ උඳුවප් වැස්ස වඩාත් වේගවත් ය. ඉල් දෙමසටත් එක්ක හරි යන්නටම වාගේ ය. කඩින් කඩ පැනනැගෙන දුවන වැහි හෝ නත්තල් කුණාටු වෙනුවට, තරමක් තද වැසි වසියි.

    තෙමුනු අත්තටු වියළා ගන්නටවත් එබිකම් නොකරන හිරුට දෝශාරෝපනය කරන්නාක් මෙන් දෙමලිච්චෝ නොනවත්වා නද දෙති. බල්ලා බළලා ද කුසීතව ළඟ හෝනා කලෙක කුරුලු කලබැගෑනිය මනස පුබුදුවාලන සුළුය.

    අඳුරු අහසේ හිරු කොතැනක සැඟවී දැයි දැක බලා ගන්නට වාගේ කටුස්සාද වැලි අනෝදා ගහේ අත්තක් මට වී උඩ බලා ගත් වනම සිටියි.

    කොටයක් මත වැතිර අව් රැල්ලක උණුහුම පතා හිඳින කබරගොයා වෙතින් ඇස් ඉවතට ගැනීම උගහටය. අපියකරු සහ පිළිකුල් සහගත සතෙක් ලෙස අවමානයට ලක්වූ කබරගොයා පිළිබඳව සෙනෙහෙසිතින් ලියු ගී පදය දැනුදු සිත සනහාලයි. මර්සිලින් ජයකොඩි පියතුමන් රචනා කරන ලද, සිසිර සේනාරත්න ගායනා කළ සුනිල් ශාන්තයන් සංගීතවත් කළ ගීතයකි.

    “ඕලු නෙළුම් නෙරිය රඟාලා” නම් වන ඒ සදාදරණීය ගීතයේ ‘කබරගොයා උගේ සුරතලී සොයා ඇදේ නගා දියසුළී’ යන පදය අසන කල අහිංසක පෙම්බරයා සහ කබරගොයා අතර කවර වෙනසක් ඇත්දැයි මට සිතේ.

    මනුස්ස අපේ පුහු මනස්ගාත අනුව අරලිය ගස අසුබය. මරණයේ සහ විපතක සංකේතයකි. සතුන් ද එපරිද්දෙන් වර්ග කරන්නට අපි පසුබට නොවෙමු. ඒ අනුව කබරගොයා ද අසුබ සතෙකි. හූනාට ද ඒ ඉරණම ය. හූනාගේ රුවට වඩා හඬට මිනිසා බියවෙයි. එහෙත් මිනිසා, මිනිසුන් බෙදා වෙන් කරගන්නාක් මෙන් ශාක සහ සත්ත්ව ලෝකය සුබ අසුබ යනුවෙන් බෙදීම අනුවණ කමෙකි. දැවැන්ත අලියා සේම කුරා කුහුඹුවාද පරිසරයේ සම තුලිතතාව රකියි. එහෙයින් අලියාට තරම්ම වැදගත් කමක් කූඹියා වෙත ද තිබෙන බව අප අමතක නොකළ යුතුය.

    ශරීර ප්‍රමාණය හෝ ශක්තිය අනුව සතුන් වර්ග කොට වෙනස් කොට සලකන්නට මිනිසාට කිසිදු අයිතියක් හෝ අවසරයක් නැත්තේය. මී මැස්සා මිහි මතින් තුරන්ව යන දා‍ට මිනිසාට ද එකී ඉරණම අත් පත් වන්නට වැඩි කලක් ගත නොවන බව විද්‍යාඥයෝ පවසති. මන්දයත් පරාගණය සිදු නොවන කල ආහාර අර්බුදයක් නිතැතින්ම හට ගන්නා බැවිනි.

    ළදල්ලක් පවා නිකරුණේ බිඳ නොදමන්න යැයි බුදුරදුන් දෙසූ වග අපේ බුද්ධපුත්‍රයන් හට පවා සිහිපත් වන්නේ දැයි සැක සහිතය. තුඟු තුර සේම තණපත ද සොබාදහමේ විශිෂ්ඨ නිර්මාණ බව අප සිහි තබා ගත යුත්තේ අපේම යහපතට තකාය.

    “අම්මේ…….. අම්මේ……”

    නිවුන් පුතුන් බෙරිහන් දෙන්නේ මගේ කල්පනා ලෝකය බිඳ දමමිනි. ඒ උච්ච ස්වරය අනුව මා හිතා ගත යුත්තේ පිටසක්වළ ජීවියෙක් හෝ අයි ඩී එච් උණ රෝහලේන් පැන ආ කොරෝනා ආසාදිතයෙකු පාදූර්භූත වී හිඳිනබවය. නොඑසේනම් සිනමා තාරකාවක්….

    දැනට කොල්ලන්ට මෙරට සිනමා තාරකා ඇත්තේම නැති තරම්ය. හොලිවුඩ්, කොලිවුඩ්, බොලිවුඩ් තරු විනා……

    “මේ බලන්න අම්මේ ගෝනුස්සෙක්”

    මා වහා බිය පත් වූයේ මගේ කොල්ලන් පිළිබඳව නොව ගෝනුස්සා පිළිබඳවය. සොබා දහම මිනිසා විසින් සිය ආරක්ෂාව උදෙසා දායාද කළ විෂ හේතුකොටගෙන ගෝනුස්සා ද සර්පයා ද තැළී චප්ප වී යෑමේ ගොරතර මරණයකට උරුමකම් කියයි.

    “මරන්න එපා…. මරන්න එපා…” මා බෙරිහන් දුන්නේ එහෙයිනි.

    “ගෝනුස්සා විසයි නෙ අම්මේ…”

    “විස කියන්නේ ඒ ගොල්ලන්ගෙ ආරක්ෂාවට ලැබිච්චි දෙයක්. විසයි කියලා සත්තු මරන්න බෑ එහෙම. ඒක හරි වැරදි නේ”

    විසඳන්නට අසීරු ගණිත ගැටලුවක් අභියස අසරණ වූ සිසුන් දෙදෙනකු මෙන් මගේ කොල්ලන් දෙදෙනා මා ද ගෝනුස්සාද අතර අතරමං වී සිටිති.

    “රස්නෙ හොයාගෙන එන්න ඇත්තේ පව්” මා ගෝනුස්සා වෙනුවෙන් කරුණු ගෙන හැර දක්වන කල ඔවුහු උකටලී වූහ.

    “එහෙනම් ඉතිං හිටපුදෙන්” චූටි පුතා කී කල මා සිනාව මැඩ ගත්තේ වෑයමිනි.

    “ඒගොල්ලො නොදැන ආවට අපිට දැන දැන ඒගොල්ලො එක්ක ඉන්න බෑ නේ… අපි මෙයාව අගලෙන් එගොඩට ගිහින් දාමු. එතැන මෙයාට සුරක්ෂිතයි.”

    “අනේ මන්දා…. තාත්තා නං කියන්නේ විස සත්තු දැක්ක හැටියෙ තලලා මරලා දාන්න ඕන කියලා.”

    පුංචි පුතා කනස්සල්ල පළ කළේය.

    “එහෙනම් ඉතින් මිනිස්සු තමා ඉස්සෙල්ලම මරන්න ඕනේ. ගෝනුස්සාගේ නං වලිගේ විතරලු විස තියෙන්නේ. හැබැයි මිනිසාගේ සියොලගම විස කියලා කවියකුත් තියෙනවා නේද?”

    කොල්ලෝ ගෝනුස්සා බඳුනකට ලා ගන්නට පෙර ඡායාරූප ගත කරන්නට ද අමතක නොකළහ.

    “ලස්සනයි නේද? බලන්නකො තියෙන ප්‍රෞඩ බව පුදුම වරුවක් තියෙන්නේ.” මා කී කල කොල්ලෝ සිනාසුණහ.

    “අනේ අම්මා ඔයාට ගෝනුස්සාත් ලස්සනයි. කබරයාත් ලස්සනයි. ඔයාට මොනාද ලස්සන නැත්තෙ?”

    “හැමදේම ලස්සනට දකින්න පුරුදු වෙන එකත් එකෙන් සතුටක් මිස අසතුටක් ලැබෙන්නෙ නෑ දරුවනේ”

    ගෝනුස්සා රැගෙන යන කොල්ලන්ට ඇසෙන සේ මම උස් හඬින් කීවෙමි.

    ශාන්ති දිසානායක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here