ජෝතිගේ කැසට්වලට වඩා ආණ්ඩුවේ ගැසට් ගණන වැඩියි

0
38

හිටපු ගායක ජෝතිපාල කැසට් ගැහුවටත් වඩා වැඩියෙන්, ආණ්ඩුව ගැසට් ගහන බව පෙනෙන්නට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පසුගියදා බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. හෙතෙම වැඩිදුරටත් මෙසේද කීවේය.

වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන පොල් සැපයුමක් නැති නිසා මිල වැඩි වන බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. එහෙම නම් ගැසට් ගහන්නේ මොකටද? ඉල්ලුම සැපයුම ප්‍රශ්නය ඇති වූ විට මිල උච්ඡාවචනය වීම වළක්වන්නයි පාරිභෝගික අධිකාරිය තියෙන්නේ. එහි සභාපතිවරයා අපට කරන්න දෙයක් නැහැ කියලා දෙසැම්බර් 13 වැනිදා කියනවා. මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා හාල් පිළිබඳ අලුත්ම මිල පාලන ගැසට් එක ගහල කිවුවේ පහුවදා සිට වැඩි මිලට විකුණන කඩ වටලනවා කියලයි. එහෙම වැටලීම් කරනවාද? ඇත්තම ගත්තොත් ජෝතිපාල ගායකයා කැසට් ගැහුවටත් වඩා දැන් මේ ආණ්ඩුව මිල පාලන ගැසට් ගහනවා. විහිළුකාරී ආණ්ඩුවක් වෙලා.

මිල පාලනය ගැසට් ගැහුවාට මට කරන්න දෙයක් නැහැ කියලා වෙළෙඳ ඇමැතිවරයා කියනවා. ආර්ථික මධ්‍යස්ථාන ටික වෙළෙඳ ඇමැතිට නැහැ. විද්‍යාත්මක කියන ඇමැති මණ්ඩලයේ වෙළෙඳ ඇමැතිට අත්‍යාවශ්‍යය පාරිභෝගික භාණ්ඩ විකුණන ආර්ථික මධ්‍යස්ථාන ටික නැහැ. අද බඩුමිල වේගයෙන් ඉහළ යන්නේ එවැනි තත්ත්වයක් යටතේයි.

පාරිභෝගික අධිකාරිය, වෙළෙඳ අමාත්‍යාංශය තියෙන්නේ නිෂ්පාදකයගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ සහන මිලට බෙදාහැරීමේ ක්‍රමවේදයක් හදන්න. ආර්ථික මධ්‍යස්ථානවලට ගිහින් එළවළු පෙට්ටි ළඟ වොයිස් කට් දුන්නාට ජනතාවට උත්තර ලැබිලා නැහැ. වැඩි මිලට භාණ්ඩ විකුණන මුදලාලිලා අල්ලනවා කීවාට අල්ලා නැහැ. කයිවාරු විතරයි. වැඩ නැහැ. හාල් මාෆියාවේ ප්‍රතිඵලයක් හැටියට රු. 140 කීර සම්බා වෙළෙඳපොළේ වැඩියෙන් තියෙනවා. ජනතාවට අවශ්‍ය අනෙක් හාල් සීමා සහිතව තියෙන්නේ. ආණ්ඩුවට ඒකවත් පාලනය කර ගන්න බැහැ.

රාජ්‍ය ආයතනවලට උත්සව අත්තිකාරම් දීම ආණ්ඩවේ ප්‍රධාන වගකීමයි. පෞද්ගලික අංශයේ අත්තිකාරම් දීම තීරණය කරන්නේ ආයතනයෙන් ආයතනයට. මේ ආර්ථික කඩාවැටීමත් එක්ක පුද්ගලික ආයතනත් උත්සව අත්තිකාරම් කපා හැරලා. බැංකුවට ගිහින් ණයක් ගන්න තියෙනවා නම් ඒක අත්තිකාරමක් නෙවෙයි. බැංකුව ඔවුන්ගේ සුපුරුදු කොන්දේසි ඉදිරිපත් කරනවා. තමන්ගේ ලාභය අඩු කරගන්න බැංකු කැමති නැහැ. ආණ්ඩුව මොනව කිව්වත් බැංකුවල පොලිය අවුරුද්දට 7.5%න් ඉහළට තියෙන්නේ. ඒ නිසා ප්‍රචාරය කළාට රජය කිසිම මැදිහත්වීමක් ඒ වෙනුවෙන් කරලා නැහැ. උත්සව අත්තිකාරම් ණය කීවාට කිසිම සහනයක් නැහැ.

මහර බන්ධනාගාරයේදී රැඳවූවන් 11 දෙනකුට වෙඩි තියලා ඝාතනය කර තිබෙනවා. වත්තල මහේස්ත්‍රාත් උසාවියේ ඒ පිළිබඳ නඩුවක් තිබෙනවා. පසුගියදා වෙන කොට තවත් හතර දෙනකුගේ මරණයට හේතුව වෙඩි තැබීම කියලා ප්‍රකාශයට පත්වුණා. මීට ඉස්සෙල්ලත් 04 දෙනකු වෙඩි වැදිලා මැරුණා කියලා තහවුරු වුණා. 11 දෙනාගෙන් 08 දෙනෙක්ම වෙඩි වැදීමෙන් මැරුණු බව තහවුරුව තියෙනවා. බන්ධනාගාර ඇමැතිවරයා මේ තත්ත්වය වහගන්න වෙඩි වැඳීමෙන් කවුරුත් මිය ගියේ නැහැ කියලා ප්‍රකාශයක් කළා.

නමුත් පරීක්‍ෂණ කමිටු වාර්තාවලින් ඔප්පු වෙන්නේ වෙඩි තැබීම නිසා රැඳවුවෝ ඝාතනය වුණා කියලයි. ඊයේ වත්තල උසාවියේදී ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ බොරුව හෙළිදරව් වී තිබෙනවා. අධිකරණයේ ඇප මත නිදහස් වීමට සිටි බොහෝ පිරිසක් බන්ධනාගාරයේ රඳවා තිබුණා. උද්ඝෝෂණය කළ රැඳවුවන්ගේ පළමුවැනි ඉල්ලීම වුණේ ඇප ලැබුණු අය එළියට දාන්න යන්නයි. දෙවැනි එක පී.සී.ආර්. පරීක්‍ෂණ කරන්න. තුන්වැනි එක වෙනත් කඳවුරුවල කොරෝනා හැදුණු අය ගේන්න එපා කියලා. හතරවැනි එක ආහාර ලදීම නිසි පරිදි කරන්න කියලා. එහෙම ඉල්ලපු අයට තමයි වෙඩි කන්න සිද්ධ වුණේ.

ලෝකයම පිළිගත් වසංගත රෝග පිළිබඳ විද්‍යාඥ වෛද්‍ය මලික් පීරිස් මහතා පැහැදිලිව ප්‍රකාශ කර තියෙන්නේ කොවිඩ් වැළඳී මියගිය අයගේ සිරුරු මිහිදන් කළාම රෝගය ව්‍යාප්ත වෙනවා කියලා විද්‍යාත්මක පදනමක් නැති බව. වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්මා ඒ පිළිබඳ කරුණු දැක්වූවා. හිටපු නියෝජ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂවරිය ද මේ මතය දරනවා. ඒ නිසා ආණ්ඩුව කරන්න ඕනෑ විද්‍යාත්මක පදනමක් මත කරුණු සලකා බලා වහාම තීන්දුවක් දීමයි. නමුත් දැන් මේක දේශපාලන තුරුම්පුවක් කර ගෙන තියෙන්නේ. මේ නිසා බරපතල සමාජ පීඩාකාරී තත්ත්වයක් මුස්ලිම් අයගේ දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඇතිව තියෙනවා. ඒ නිසා කල් නොයවා ආණ්ඩුවේ වගකීම් ඉටුකරන විද්‍යාත්මක තීන්දුවක් ගත යුතුයි.

අද තියෙන්නේ කොරෝනා පොකුරු නෙවෙයි. පොකුරු කියන එකම වැරදියි. ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම කොරෝනා රෝගීන් පැතිරිලා ඉන්නේ. සමාජගත වෙලා නැහැ කියන එක වැරදියි. ඒ නිසා ඇත්තටම වෙන්න ඕනෑ, ආණ්ඩුව කියන කොරොනා සමඟ ජීවත්වීම කියන එක නෙවෙයි. අප යන්න ඕනෑ කොරෝනා තුරන් කර ජීවත් වීමටයි. ආණ්ඩුවේ මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ ඒ වෙනුවෙන්. නමුත් ආණ්ඩුව කරන්නේ තැන් තැන්වල පැලැස්තර දාන එක. කොරොනා ආරම්භ වුණු චීනය කොරෝනා මැඬ පවත්වන්න ගත් ක්‍රියාමාර්ග සාර්ථකව තියෙනවා. අපේ රටත් විද්‍යාත්මක පදනමක් මත ක්‍රියාකාරී සැලැස්මක් වහාම ක්‍රියාත්ක කළ යුතුයි. ආණ්ඩුවට තියෙන පැලැස්තර ඇලවීමේ ක්‍රියාමාර්ග මේ වසංගතයට අදාළ වන්නේ නැහැ යැයි පැවසීය.

නදී මාණික්කගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here