දරු­පැ­ටව් හින්දම තමයි

    0
    11

    මලක් වී මං පිපී හිටියේ මතක විදියට උඩම අත්තේ

    බඹර තුඩකින් දැදුරු වූයේ නොහිතු ලෙසටයි දිනෙක චිත්තේ

    නෙළාගෙන ගිය දවස කාටත් මතක ඇති මල, පිපුණු වත්තේ

    එදා මවු ගස බතක් නැතුවම කඳුළු වතුරයි බොන්න ඇත්තේ

     

    මාසයක් ගත වෙන්න ඉස්සර පළමු දරුවා බඩට ගත්තේ

    හීන එක දෙක බිඳී යදිද්දිය කිරි බරින් ලැම පිරී ඇත්තේ

    වැරදෙනා තුරු දැනන් උන් නෑ ගෙනා මිනිහගෙ හැබෑ තත්තේ

    පුදුම කම්මැළි එහෙම මිනිහෙක් කිසිම දවසක දැකල නැත්තේ

     

    හොර නමුත් ඇඟ වැඩ කරන්නට, මගඩි වංචා එමට ඇත්තේ

    කාට හෝ දුන් ගින්දරක් ගැන නිතර පැමිණිලි එන්න ගත්තේ

    රූප සෝබා කදිම හින්දා ගෑනු නම් අඩු උනේ නැත්තේ

    හොඳ නමක් නම් කියල නෑ කිසි කෙනෙක් අපි ඒ හිටිය පැත්තේ

     

    එකා දෙක වී දෙකා තුන වී පවුල දලුලා වැඩෙන මත්තේ

    මමම විතරයි නැහුණෙ, නැත ඒ මනුස්සය වගකීම ගත්තේ

    හොරාගේ ගෑනියැයි කියලයි දැනන් හිටියේ මාව වත්තේ

    “හොර පැටවු” දරුවන්ට කිවුවම වෑවුවේ නෑ ඒක චිත්තේ

     

    සතකුගේ ලෙය ඇඟේ දිවුවත් මගෙ කිරෙනි උන් වඩව ගත්තේ

    වංක කම වංචාව බිඳුවක් තරම වත් ඒ කිරෙහි නැත්තේ

    අප්ප මොන ජාතියෙ උනත් මං පැටවු හරියට හදා ඇත්තේ

    උන්ට අවනම්බුවක් වෙනවට තමා මේ තීරණය ගත්තේ

     

    නමට විතරක් ‘අප්පගෙන්’ අවනම්බු විතරයි ලැබී ඇත්තේ

    තාත්තෙක් ඕනෑය කියලා ඉන්න ඕනෙද ඒක මත්තේ

    වෙන එවුන් දරුවන් නිසා ඉවසාන උන්නත් බැඳපු අත්තේ

    දරු පැටව් හින්දම තමයි මං මගෙ කසාදය කඩා ගත්තේ

     

    දිල්රූ ජයසේකර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here