ද.අප්‍රිකාවට දැවැන්ත ඉනිමක්

0
17

ශ්‍රී ලංකා පිල ලකුණු 160ක් පසුපසින්

 ෆෆ් ඩු ප්ලෙසි සහ මැදපෙළ පිතිකරුවන් එක්ව දකුණු අප්‍රිකානු පිලේ පළමු ඉනිමට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමත්, සිය ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම ඉහළ යෑමත් නිසා පීඩා විඳිමින් සිටින ශ්‍රී ලංකා පිල දෙපිල අතර සෙන්චූරියන් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය ඊයේ නිමා වන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු2ක් දැවී ලකුණු 65ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 33ක් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 21ක් ලබා පිටියේ රැඳී සිටින අතර, දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 160ක් පසුපසින් සිටී. සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකයට එක් ලකුණක් අඩුවී සිටියදී ඩු ප්ලෙසි දවාලීමට ශ්‍රී ලංකා පිල සමත්වූවත්, ඔහු ඊට පෙර කේෂව් මහරාජ් සමග එක්ව දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 621ක් දක්වා ඉහළ දැමීමට විශිෂ්ට දායකත්වයක් දුන්නේ සිය ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමිනි. ඔහුට අගනා සහායක් ලබා දුන් දඟපන්දු යවන මහරාජ් ද ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 73ක් රැස් කිරීමට සමත්වූයේ ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සෙල්ලමකට ගනිමිනි.

හතරේ පහර 24ක් සමග ලකුණු 199ක් රැස් කිරීමට ඩු ප්ලෙසි සමත්වෙද්දී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 73ක් රැස් කිරීමට මහාරාජ් සමත්වූයේ 7 වැනි කඩුල්ලට ලකුණු 133ක සම්බන්ධතාවක් ගොඩනගමිනි.

කෙසේවෙතත් ඩු ප්ලේසිගේ ඉනිම අවසන් කිරීමට වනිඳු හසරංග සමත්වීමෙන් පසු ඉතිරි කඩුලු 3ම ඉක්මනින් බිඳ වැටිණි.

සිය ටෙස්ට් තරග දිවියේ 10 වැනි ශතකය වාර්තා කළ ෆෆ් ඩු ප්ලෙසි ඊයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට සත්කාරක කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5කට ලකුණු 435 දක්වා ඉහළ දැමීමට සමත් විය. දකුණතින් පිත්ත හසුරුවන 36 හැවිරිදි මේ පිතිකරුවා දිවා ආහාරය වනවිට නොදැවී ලකුණු 112ක් ලබා සිටියේය. ඔහුගේ ශතකය වාර්තා වූයේ පන්දු 151කිනි. ඊට හතරේ පහර 15ක් ඇතුළත් විය.

ඔහු සිය ශතකයත් සමග ටෙස්ට් තරග දිවියේ මුළු ලකුණු සංඛ්‍යාව 4000 පසු කිරීමට ද සමත්වූ අතර, දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග බිමේ ලකුණු 4000 සීමාව පසුකළ 9 වැනි පිතිකරුවා ලෙස වාර්තාපොතට එක් විය.

පෙරේදා දිනය නිමා වන විට නොදැවී ලකුණු 55ක් ලබා සිටි ඩු ප්ලෙසි ඊයේ සිය ශතකය වාර්තා කළේ වනිඳු හසරංගගේ පන්දුවකට හතරේ පහරකින් සංග්‍රහ කරමිනි. ඊයේ දිවා ආහාරයට පෙර බිඳ වැටුණු එකම කඩුල්ල වූයේ ටෙම්බා බවුමාගේ කඩුල්ලය. දසුන් ශානකගේ පන්දුවකට කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දෙමින් බවුමා පිටියෙන් ඉවත්වන විට ලකුණු 71ක් රැස් කර තිබිණි. ඩු ප්ලෙසිගේ ශතකය වාර්තා වූයේ බවුමාගේ දැවීයෑමෙන් පසු යවනු ලැබූ ඊළඟ ඕවරයේදීය.

බවුමා සහ ඩු ප්ලෙසි එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 179ක සම්බන්ධතාවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට දැඩි හිසදරයක් ගෙන දෙමිනි.

බවුමාගේ දැවී යෑම විමතිය දනවන එකක් බවට පත්වීම කැපී පෙනුණි. දසුන් ශානකගේ පන්දුව ඔහුගේ පිත්ත පරයමින් කඩුලු රකින්නා වෙත ඇදී ගිය විගස ඔහු නිහඬව පිටියෙන් ඉවත් වූයේ විනිසුරු තීරණයක් දීමටත් පෙරය. රූපවාහිනි පුනරූපන මගින් පැහැදිලි වූයේ එම පන්දුව බවුමාගේ පිත්තේ නොගැටුණු බවකි.

පෙරේදා දකුණු අප්‍රිකානු සෙන්චූරියන් තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් බව බැලූ බැල්මට පෙනුණත් අසාමාන්‍ය ලෙස පන්දුව ඉහළට ඉපිලීමේ වර්ධනයක් පෙනෙන්නට තිබේ.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන වනිඳු දකුණු අප්‍රිකානු පිලෙන් කඩුලු 4ක් උදුරා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් දවාලීය.

අද තරගයේ සිවුවැනි දිනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here