පාසල් විවෘත කර වැඩක් නැහැ සහන මිලට ඩේටා දෙන්න

0
62

පවතින ආණ්ඩුබලයට පරාජය කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාවාදී පක්ෂය සඳහා එක්වීමට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

මේ බව ඒ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනතාවාදී විපක්ෂය කාර්යාලයේ ඊයේ (28දා) පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ කීවේය.

ජනතාවාදී විපක්ෂයේ ව්‍යස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ලබන වසර අපේ සංවිධානයේ ශක්තිමත්ම වසරයි. බදුල්ලෙන් ආරම්භ කළ “දිනමු” කියන අපේ ප්‍රචාරක වැඩසටහන ඉදිරි වසරේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර හා මාතලේ පැවැත්වීමට අදහස් කරනවා. සති අන්තයේ සෑම දිස්ත්‍රික්කයකම අප යනවා.

මේ මොහොතේ දේශපාලන වශයෙන් තීරණයක් අරගෙන හැකි අය සමඟ ජන බලවේගය වටා එකතු වෙන්න කියල අප ඉල්ලනවා. 2024 ජනාධිපතිවරණයට අපේ නායකයෙක් අප ඉදිරිපත් කරනවා.

ආණ්ඩුව අඳුරේ අතපත ගා ගෙන යන ක්‍රමවේදය නිසා දරුවන්ගේ අධ්‍යපනය අඳුරුවෙලා. මේකෙන් ප්‍රතිලාභ විඳින්නේ පොඩි පිරිසක් විතරයි. සමස්ත ළමයින්ට ඔල්නයින් සම්බන්ධ වෙන්න බැහැ. මෙයින් වෙන්නේ සන්නිවේදන සමාගම් ලාභ ලැබීම පමණයි. රජයට ඕනෑ නම් පුළුවන් ඩේටාවලට සහනයක් දෙන්න.

දරුවන්ට රාජ්‍ය මාධ්‍ය මඟින් අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරන්න. බලහත්කාරයෙන් පාසල් විවෘත කර වැඩක් නැහැ. ළමයින් එන්නේ නැහැ. පසුගිය දවස්වල ඒ බව ඔප්පුවුණා.

මේ රටේ ආර්ථිකය කඩා වැටිලා. ලංකා බැංකුව සහ මහජන බැංකුව ඉදිරිපත් කරන ණයවර ලිපි ප්‍රතික්ෂේප කිරීම දැඩි අවදානම් තත්ත්වයක්. පෞද්ගලික බැංකුවලටත් මේ තර්ජනය තියෙනවා. රට තුළ කිසිම වැඩපිළිවෙළක් නැහැ. රට ගොඩනඟන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ජාතික වැඩපිළිවෙළක් හදන්න අපට සහාය දෙන්න යැයි අත්තනායක මහතා පැවසීය.

නුවන් හෙට්ටිආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here