මම කවදා හරි අන්තර්ජාතික ගායිකාවක් වෙලා තමයි නවතින්නේ

    0
    10
    Author(s): 
    චතුමී පිටිපන

    කලා ලොවට තරු පායා එන්නේ හිටි ගමන්ය. දැන් කලා ලොවට තරු කැන්දා එන ස්ටාර් තරග සෑම රූපවාහිනී නාලිකාවකම ඉතාම තරගකාරී ලෙස පැවැත්වේ. තරුණ පරම්පරාවට තමන්ගේ සහජ කුසලතා ලොවට පෙන්වන්නට ඉන් ලැබෙන්නේ මහඟු පිටුවහලකි. තරු තරගයකින් ජයග්‍රහණය කළ ද නොකළ ද වේදිකාව මත ජය කෙහෙළි නංවන්නට තරුණ දූ පුතුනට ලැබෙන අවස්ථාව සුළුපටු නොවේ. අප අද හඳුන්වා දෙන්නට යන්නේ දෙරණ නාලිකාවේ ඩ්‍රීම් ස්ටාර් (Dream Star) ගායන තරගයට සහභාගි වී රොක් ගීත කලාව ගායිකාවන් අතරත් ප්‍රචලිත කළ තාරකාවක් පිළිබඳවයි. ඇය රන්සි යසස්වී. ඩ්‍රීම් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ විශිෂ්ට පැසසුම් ලබමින් ඇය එම තරගය තුළ ඉදිරියෙන්ම සිටියේ ඇය සතු රොක් තාලයට ගීත ගැයීමේ හැකියාවත් ප්‍රාසංගික බවත් හේතුවෙනි.

    ඔබ කවුද කියා දැන් රටම දන්නවා. ඔබ පාසල් කාලයේ සිටම සංගීතය සහ ගීත ගැයීම පිළිබඳ පුහුණුවක් ලැබුවා ද?

    මම පාසල් ගියේ මිලාගිරිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. පාසලේ දී මම සංගීතය හැදෑරුවේ නැහැ. පාසලේ පැවැත්වුණු විශේෂ වැඩසටහන් වලදී මම ගීත ගායනා කළා.

    ඔබ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරියක්. නමුත් තෝරා ගෙන තිියෙන්නේ සංගීතය. එහෙම වුණේ කොහොමද?

    ආයුර්වේදයට කැමති වුණත් මම ගොඩක්ම කැමති සංගීතයට. වෛද්‍ය වෘත්තිය මට පවුලෙන් ලැබුණු දෙයක්. මගෙ අම්මා ගුරුවරියක් වගේම පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරියක්. මගේ සීයත් ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ නිසයි මම කිව්වේ වෛද්‍ය වෘත්තිය මට පවුලෙන් ලැබුණ දෙයක් කියලා.

    නමුත් සංගීතය මම පොඩි කාලෙ ඉඳලම තනියෙන් ඉගෙන ගත් දෙයක්. මම තනියෙන් සින්දු කියලා තමයි මේ තැනට ආවේ. පාසල් ගිහින් ආවම ඇතිවන පීඩනය නිසා මම රේඩියෝ එකේ සින්දු ඇහුවා. රේඩියෝ එකේ සද්දෙ ගොඩක් වැඩි කරලා මමත් ඒ එක්කම කියන්න පටන් ගත්ත‍ා. ගොඩක් ඇහුවේ ඉංග්‍රීසි සින්දු තමයි. ඒ ගායිකාවන්තේ ගායකයන්ගේ සින්දු අනුකරණය කරමින් මම සින්දු පුහුණු වුණා. එහෙම කරනකොට මගේ ඇඟට සංගීතය ඇතුළු වුණා කිව්වොත් නිවැරදියි.

    ඔබ සංගීතය ඉගෙන ගත්තේ?

    මම මෑතකදී තමයි සංගීතය ඉගෙන ගන්න ගියේ. යමහා මියුසික් ස්කූල් එකට ගිහින් සංගීතය විෂයක් විදියට හැදෑරුවා. එහිදී ගිටාර් එක, පියානෝ එක වාදනය කරන්න පුහුණු වුණා. සංගීත පිළිබඳ විභාගවලටත් පෙනී සිටියා. ඩ්‍රීම් ස්ටාර් යනකොටත් මම කටහඬ පුහුණුවකටවත් ගිහින් තිබුණෙ නැහැ.

    මට ගායිකාවක් වෙන්න ආසාවක් තිබුණා. මම සින්දු කියන විට මගේ ලොකු අයියා හොරෙන් අහගෙන ඉඳලා අම්මට කියලා තිබුණා මට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා. එතැනින් තමයි මගේ ගීත ගායනය ආරම්භ වුණේ.

    ඩ්‍රීම් ස්ටාර් තරගයට අයැදුම්පත් දැම්මේ කොහොමද? ඒ ගැන කතා කළොත්?

    ඩ්‍රීම් ස්ටාර් ගැන නිතරම ටීවී එක යනවා මම දැක්කා. රවීන් තාරුකගේ රසිකයෙක් විදියට මම එයාගෙ සින්දු බලලා ඩ්‍රීම් ස්ටාර් එක ගැන මම දැනුවත් වුණා. ඊටපසුව මම ඒ සඳහා අයැදුම්පතක් දැම්මා. මට මොකක් හරි අවස්ථාවක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වුණා. මම ඩ්‍රීම් ස්ටාර් තරගයට මුලින්ම කිව්වේ සුරනි ඩි මෙල් ගායිකාවගේ නිල් දැසින් කියන ගීතය. ඒක පොප් ඩාන්ස් වර්ගයේ ගීතයක්.

    තරගයට සහභාගි වුණාට පසුව ඔබ සංගීතය ප්‍රගුණ කරන්න ගුරුවරයෙක් ළඟට ගියාද?‍

    නැහැ. මම වෝකල් ට්‍රේනිංවත් ගියේ නැහැ. මම යූ ටියුබ් එක බලලා මම තනියම ඉගෙන ගත්තා. මූලික හඬ පරීක්ෂණයෙදි මම හිතපු නැති විදියට එකපාරම මාව තෝරා ගත්තා. ලංකාවෙන්ම 500ක් විතර තමයි ඒ සඳහා තෝරා ගත්තේ. 500 දෙනාගෙන් 50ක් තෝරා ගත්තා. 24 දෙනා දක්වා මම ඉදිරියට ආවා. තර‍ගෙන් සමු දුන්නට පස්සේ තමයි මම සංගීතය ඉගෙන ගන්න ගියේ.

    ඔබට ශ්‍රැතියේ අඩුපාඩු හදාගෙන තරගයේ තව ඉදිරියට යන්න තිබුණා නේද?

    ඔව්. ඇත්තටම මට ශ්‍රැතියේ අඩුපාඩුකම් නිසා තමයි තරගයෙන් ඉවත් වීමට සිදු වුණේ. මට සංගීත ගුරුවරයකු ළඟට යන්න වෙලාව තිබුණෙ නැහැ.

    ඔබ තරගයේ ඉදිරියට ආවේ රොක් ගීත ගායනා කිරීමෙන්?

    ඔව්. තරගයේ එස්.එම්.එස් වටයට ආවාම මට හිතුණා වෙනසක් කරන්න ඕනෑ කියලා. මම උත්සාහ කළේ මේ තරගයේ පුළුවන් උපරිමය රොක් සින්දු කියලා අන්තිමට වෙනත් ශෛලියකට යන්න. නමුත් අවාසනාවන්ත විදියට මට ඒ අවස්ථාව අහිමි වුණා. මට විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණු හොඳ ප්‍රතිචාර එක්ක මම හිතුවේ මට තවත් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. සමිතා මිස් කිව්වේ මම මගේ තැන මම හදාගෙන ඉවරයි කියලා. කීර්ති සර් කිව්වා අවසාන මහා තරගෙදි මම මොනවා කරයිද කියලා හිතා ගන්න බෑ කියලා. මම ඉවත් වුණේ කොහොමද කියලා මටත් හිතා ගන්න බැහැ. ඒක තරගෙට සමුදීමක් විතරයි. මම කවදාවත් සංගීතයට සමු දෙන්නේ නැහැ. සංගීතය කියන්නේ මගේ ජීවිතය.

    ඔබගේ අනාගත බලාපොරොත්තු?

    මම කවදා හරි අන්තර්ජාතික ගායිකාවක් වෙලා තමයි නවතින්නේ. නවත්වනවා නොවෙයි සංගීතය හැමදාම මා එක්ක තියේවි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here