මාර්ග කි.මී. 12,000ක් සංවර්ධනය අරඹයි

0
50
Author(s): 
මහින්ද අලුත්ගෙදර

මාර්ග කිලෝ මීටර් 12,000ක සංවර්ධන කටයුතු ආරම්භ කර රජය තීරණය කරයි.

ඒ අනුව මාර්ග කිලෝ මීටර් 12,000ක වැඩ මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ ජනතාවට ලබාදුන් එක් පොරොන්දුවක් වූ කිලෝ මීටර් ලක්ෂයක් මාර්ග සංවර්ධනය කිරීමේ ඉලක්කය ඉදිරි සිවු වසර තුළ සම්පූර්ණ කරන බවත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව සදහන් කළේ කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසනයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති පෙරේදා (27) ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ඒ අනුව දිවුලපිටිය ආසනයේ කිතුල්වල සණස ශාලාව ඉදිරිපිට මාර්ගය, වල්පිට ඇත්ගාලවත්ත i හා ii මාර්ගය, ද/කෙහෙල්ඇල්ල ගම මැද මාර්ගය, 251, මීගමුව මීරීගම මාර්ගය, 242, මීගමුව දිවුලපිටිය ප්‍රධාන මාර්ගය තෙක් මාර්ගයන් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 131 ක් වන අතර ඒ යටතේ සංවර්ධනය වන දුර ප්‍රමාණය කිලෝ මීටර් 10 කි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පෙර ගමින් ගමට ගිය බව සිහිපත් කළ ඇමැතිවරයා එහෙම යනවිට ජනතාව ඉල්ලපු ප්‍රධාන ඉල්ලීම ගමේ පාර හදලා දෙන්න කියන එක බවද ඒ නිසා ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් හැදීමේ වැඩසටහන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට ඇතුළු කර තිබෙන බවද පෙන්වා දුන්නේය. ඒ අනුව ජනතාවගේ එම පොරොන්දුව ඉටු කරලීමට පළමු අයවැයෙන් ඉතිහාසයේ වැඩිම මුදලක් මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර තිබෙන බවද ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා පැවැසීය.

මෙම අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහභාගී වූහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here