මෘත ශරීර පස්සේ පැන්නීම බොරු වැඩක් – රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම

0
36
Author(s): 
අසේල කුරුළුවංශ

කළ යුත්තේ ජීවත් වන්නන් රැක ගැනීමයි

කොරෝනා යනු මුළු ලෝකයම වෙළා ගත් වසංගත තත්ත්වයක් බැවින් මළ සිරුරු භූමදානයේදී ආගමික චාරිත්‍රවලට වඩා මුල් තැන දිය යුත්තේ සෞඛ්‍ය නිර්දේශවලට බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම පවසයි.

කොරෝනා රෝගය වැළඳී මිය යන මුස්ලිම් ආගමිකයන්ගේ මෘත දේහ ආදාහනය නොකොට ශීතකරණවල තබා ගැනීම සම්බන්ධයෙන් තමා දැඩි විරෝධය පළ කරන බව ද ඒ මහතා කීය.

මහනුවර ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රට අසීරුතාවට පත්ව ඇති මේ අවස්ථාවේ සියලු දෙනා ජාති, ආගම් භේද නොසලකා ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක්ව කටයුතු කර ව්‍යසනයෙන් ගොඩ ඒමට ක්‍රියා කළ යුතුව ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය. මුස්ලිම් ආගමිකයන්ගේ කොවිඩ් ආසාදිත මෘත දේහයන්වල අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජය මේ දක්වා පැහැදිලි මතයක් ප්‍රකාශ කර නොමැති බවත් තම පෞද්ගලික මතය වන්නේ පිළිගත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිරුරු ආදාහනය කළ යුතුය යන්න බවත් ඒ මහතා කීය.

පවතින වසංගත තත්ත්වය හමුවේ ඉස්ලාම් බැතිමතුන්ට පමණක් නොව බෞද්ධ, හින්දු හා කතෝලික බැතිමතුන්ටද කොවිඩ් වයිරසය ශරීරගතව මරණයට පත් වන තම පවුල් සමාජිකයන්ගේ අවසන් කටයුතු ආගමික චාරිත්‍රවලට අනුකූලව කිරීමේ හැකියාවක් නැතැයිද අමුණුගම මහතා පැවසුවේය.

වයිරසයට ගොදුරුව අවාසනාවන්ත ලෙස මරණයට පත්වන අයගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධව ප්‍රශ්නයක් ඇති කර ගන්නවාට වඩා දැන් කළ යුතුව තිබෙන වැදගත්ම දේ ජීවත්ව සිටින පුද්ගලයන් වයිරසයට ගොදුරුවීම අවම කර ගැනීම බවත් කී ඒ මහතා ජාති හා ආගම් වශයෙන් බෙදුණු මතවාද වලින් මිදී සියලු ජන කොටස් එක්ව ක්‍රියාකළ යුතුව තිබෙන බවද අවධාරණය කළේය. මළ සිරුරු භූමදානය කිරීම සුදුසුද යන්න සොයා බැලීමට රජය විශේෂඥ කමිටුවක් පත් කර තිබෙන බවත් එහි නිර්දේශ ඉදිරිපත් වන තෙක් නොසිට රජය අපහසුතාවට පත් කිරීමට කවුරුන් හෝ ක්‍රියා කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව ද ඇමැතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here