රතු අඟැති පිනි­මුවා

    0
    11

    නත්තල් සීයා අහසින් පියාඹලා ආවට එයා එන්නේ පිනිමුවෙක් බැඳපු කරත්තෙක. සමහර අවුරුදුවල එයාගෙ කරත්තෙ ඉන්නවා පිනිමුවෝ රංචුවක්. පිනිමුවොත් රතුපාටයි, කොළපාටයි සැදෑල ඇඳලා එන හින්දා එයාලත් සන්තෝසෙන් නත්තල් සීයා එක්ක තෑගි බෙදන්න එනවා ඇති කියලා මට හිතෙනවා.

    නත්තල් කාලෙට ලස්සන රතුපාට පිනිමුවා අංතට්ටු වගේ හැඩ දමාපු කොණ්ඩා සැරසිලි කඩේ විකුණන්න තියෙනවා. වෙසක් කාලෙට වෙස්මූණු පළඳිනවා වගේ නත්තල් කාලෙට පිනිමුවා අං තට්ටු හිසේ පැළඳගෙන පොඩි උදවිය වගේම ලොකු උදවියත් නත්තල් ගස් සරසනවා.

    හිතේ කරදර, කනස්සලු මලු පොඩි උදවියට වැඩිය ලොකු උදවියගෙ හිත්වල ගොඩගැහිලා තියෙනවා. රස්සාවේ අලකලංචි, පරස්තාවේ අබර දබර මේ කනස්සලු මලු ඇතුලෙ හැංගිලා තියෙනවා. මතුපිටින් හිනාවෙලා හිටියට හුඟාක් හිත්වල ඇතුලෙ මහා කළු පාට හරිම බර ගල් තියෙනවා.

    මම රස්සාව කරන්නෙ පෙරකදෝරු කන්තෝරුවක. මේ දවස්වල අපේ කන්තෝරුවේ බරසාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. පෙරකදෝරු නෝනාලා මහත්තුරුන්ට එදිනෙදා වැඩ ලේසියෙන් කරගන්න අලුත් පරිගණක මෙවලමක් හඳුන්වලා දෙන්න කන්තෝරුවේ තොරතුරු තාක්ෂණ අංශය නොසෑහෙන්න මහන්සි වෙනවා. අවුරුද්ද අන්තිමට ඉවරවෙන්න නියමවෙලා තිබිච්ච ව්‍යාපෘතිය තව මාස හයකින් කල් ගියපු හින්දා උස පුටුවල උදවිය පහළ පුටුවල උදවිය එක්ක ඉන්නෙ නෝක්කාඩු හැඟීමෙන්.

    කතුරු තුඩු, පිහිතුඩු වගේ වචන; උස පුටුවල ඉඳලා පල්ලෙහාට වීසි වෙනවා. සමහර පහළ පුටුවල උදවිය ඒ වචන ඇහුණෙ නෑ වාගේ ඉඳිද්දී, තවත් සමහර උදවිය ඒ වචනවලින් හිත රිදෝගන්නවා.

    ‘මැගී’ රස්සාව කරන්නෙ අපේ කන්තෝරුවේ. එයා ඉඳගෙන ඉන්නෙ උස පුටුයි, පහළ පුටුයි අතර මැද පුටුවක. එයාගේ හිත ලේසියෙන් හීරෙනවා. මෙච්චර මහන්සි වෙලත් ප්‍රශංසාවක් වෙනුවට නෝක්කාඩු අහන්න වෙනකොට එයාගේ හිත හීරිලා, හීරිච්ච තැන්වලින් රතුපාට වතුර වාගේ ලේ බින්දු ගලාගෙන එන හැටි ඕනෑකෙනකුට පේනවා. එයාට නවතින්නෙ නැති හිසරදයක් තියෙනවාය, රෑට නින්ද යන්නෙ බොහොම අඩුවෙන්ය කියලා බොහෝම හෙමින් රහසින් වාගේ දවසක් මට කියනවා.

    හිත එක තැනක ඉන්නෙ නැතුව හැම තැනම දුවන හන්දා, හිත එක තැනක තියාගන්න භාවනාව උදව් වෙනවා නේද කියලා එයා මගෙන් අහනවා. මං බුද්ධාගමේ හින්දා භාවනාව ගැන මහ හුඟක් දේවල් දන්නවා ඇතිය කියලා එයා හිතාගෙන ඉන්නවා. මාත් ඉතින් උඩටයි පහළටයි ඔලුව හොල්ලලා භාවනාව ගැන මම දන්නවා කියලා කියනවා. ඊට පස්සෙ එයාට ඉංග්‍රීසි භාෂාවෙන් ආනාපානසති භාවනාව පුරුදු කරවන වැඩසටහනක් හොයලා දෙනවා. එයා හරිම සන්තෝෂයෙන් මාත් එක්ක හිනාවෙලා “බොහෝම ස්තුතියි” කියලා කියනවා.

    ලංකාවේ භාවනාවෙන් හිත මෙල්ල කරන්න පුරුදුවෙන උදවිය බොහෝම ඉන්නවා. එයාලා ඒ ගැන හුඟක් වෙලාවට කාටවත් කියන්නෙ නෑ. සතියක් හමාරක් කන්තෝරුවෙන් නිවාඩු අරගෙන කොහෙද යන්නෙ කියලා කියන්නෙ නැතුව හිටි හැටියෙ අතුරුදහන් වෙනවා. නිවාඩු කාලෙ පුරාවට ආරණ්‍යක භාවනා කරලා ආපහු එද්දි එයාලගේ මූණෙ යනකොට නොතිබිච්ච පිං පාටක් තියෙනවා. භාවනා කලාම ලේ පිරිසිදු වෙනවා කියන්නේ ඇත්ත වෙන්න ඇතිය කියලා මට එතකොට හිතෙනවා. එහෙම උදවිය නොසෑහෙන්න ඉවසනවා. ඇනුම් බැනුම්වලටත් උපේක්ෂා හිනා පාන්න ඒ උදවිය දන්නවා. ඒක නෝන්ජල්කම කියලා පෘතග්ජන ඇස්වලට පේනවා. ඒත් මනසින් උසස් වීමත් එක්ක නොසලකා හැරිය යුතු තැන් ජීවිතේ මුණගැහෙනවාය, ඒ අවස්ථාවලට හොඳම පිළියම නිශ්ශබ්දතාවයය කියලා ඒ මිනිස්සු දන්නවා. අඩුවෙන් ඇලෙන්න, අඩුවෙන් ගැටෙන්න, ඒ මොහොතෙ ජීවත්වෙන්න, භාවනාකරන උදවිය දන්න හන්දා එයාලාට ජීවිතේ ප්‍රශ්නවල බර අඩුවෙන් දැනෙනවා.

    හිත කියන්නේ ආම්පන්නයක්ය, හිත අපිව පාලනය කරන එක නවත්තලා අපිට හිත පාලනය කරන්න භාවනාව උදව් වෙනවාය, ඒ වගේම භාවනාවට ආගමක් නැතිය කියලා බොහොම උදවිය දන්නවා.

    බුද්ධාගම ජීවමානව තියෙන, ලංකාවේ උදවිය භාවනා කරනවාට වැඩියෙන් පිටරටවල උදවිය භාවනා කරනවා. දවසකට විනාඩි විස්සක් විතර හිත මෙච්චල් කරන භාවනා ව්‍යායාමයට එයාලා වෙන් කරලා තියෙනවා. පහුගිය අවුරුදු කීපය පුරාවට ජීවිතේ අමාරුම කාලවල භාවනාවට හිත හුරු කරලා සැනසීම උදාකරගත්තු විදිහ ගැන අතේ ඇඟිලි ගානට වැඩිය සුදු උදවිය මාත් එක්ක කියලා තියෙනවා.

    දවසින් දවස මැගීගෙ මූණෙ දුක අඩු වෙලා සන්තෝසෙ වැඩි වෙනවා මට පේනවා. පිහිතුඩු වචනවලට එයා කලබල වෙන ප්‍රමාණය අඩු වෙනවා. ප්‍රතිචාර දක්වන්න අවශ්‍යම වෙලාවල කතා කරන්නත්, අනිත් වෙලාවට සද්ද නැතුව ඉන්නත් එයා පුරුදු වෙනවා. රස්සාව කියන්නෙ ජීවිතේම නෙමෙයිය, ඒ හන්දා ඇත්ත ජීවිතෙයි රස්සාවයි රතු ඉරක් ගහලා බෙදා වෙන්කරගෙන රස්සාවෙන් පිටස්තර ජීවිතේ ඇතුලෙ සන්තෝසෙන් ජීවත්වෙන්න එයා පුරුදු වෙලා තියනවාය කියලා එයා මාත් එක්ක කියන්නෙ හිතේ සන්තෝසෙන්.

    “ඔයාගෙ භාවනා වැඩසටහන මට හිත එකතැනක තියාගන්න නොසෑහෙන උදව් වෙනවා” එහෙම කියලා එයා පෑව හීනි හිනාව මගේ හිතට සන්තෝසෙ අරගෙන එනවා.

    නත්තල් එන්න එන්න කිට්ටු වෙනවා. නත්තලට කිට්ටු දවසක උදේ කඩේ විකුණන්න තියෙන රතුපාට පිනිමුවා හිස් පළඳනාවක් දාගෙන එයා කන්තෝරු එනවා. හැමෝම මැගීගෙ අලුත් පෙනුම ගැන වගේම නරකම දේවල් ගැන උනත් සුබවාදීව බලන අලුත් හිතුවිලි පන්නෙ ගැන කතා වෙනවා. රතුපාට පිනිමුවා අංතට්ටුව කන්තෝරුවේ අයට එදා දවසේ සතුට අරගෙන එනවා.

    අපේ ගෙදරත් දැන් රතුපාට පිනිමුවා අං තට්ටුවක් තියෙනවා. නත්තල්වලට පස්සෙත් පිනිමුවා අං තට්ටුව, භාවනා කරන අලුත් පුරුද්ද මගේ ජීවිතේට අලවලා තියාවි කියලා මං හිතාගෙන ඉන්නවා.

    දසුනි හෙට්ටිආරච්චි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here