රාජ්‍ය සේවයේ පිරිහුණු යුගය අවසන් කරනවා – ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්

0
42
Author(s): 
මහින්ද අලුත්ගෙදර

අද අපේ රටට ලැබී ඇත්තේ හොරකමට, වංචාවට, දූෂණයට දැඩි ලෙස විරුද්ධ ජනාධිපතිවරයකු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

පසුගිය වසර හතර හමාරක කාලය මේ රට අගාධය කරා ගෙනගිය කාලයක් බවත් එය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට ගිය විට හොඳින් දැක ගත හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹුල්ල ආසන බලමණ්ඩල රැස්වීමේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. අධික වැසි තත්ත්වයක් මැද පැවති මේ රැස්වීම සෞඛ්‍ය නීතිවලට අනුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේද කීය.

හොරකමට, වංචාවට, දූෂණයට දැඩි ලෙස විරුද්ධ ජනාධිපතිවරයකු රටට ලැබි ඉන්නවා. අපි කැබිනට් මණ්ඩලයේ වාඩිවුණාම එතුමාගෙ හැඟීම, එතුමා රටට ඇති ආදරය හොඳින් අවබෝධ වෙනවා. මේ දැක්ම තමයි රටට අවශ්‍ය වුණේ. අපිට රට ගොඩනඟන්න හොඳ සැලැස්මක් තිබෙනවා. නමුත් කොරෝනා තත්ත්වයත් එක්ක ඒ ආපු ගමන වෙනස් කරන්න වෙලා තියෙනවා. අද මේ රටේ නිෂ්පාදනය කළහැකි දේවල් අපි ආනයනය කරන්නේ නෑ. ඒ සියල්ල රටේ නිෂ්පාදනය කරන්න පටන් අරන් තිබෙනවා. වෙන කවදාටත් වැඩිය දැන් ජනතාව කෘෂිකර්මය කෙරෙහි නැඹුරු වෙලා තියෙන්නේ, අපේ රජය මේ සම්බන්ධයෙන් දක්වන මැදිහත්වීම නිසයි. ගිය වසර හතරහමාරක කාලය මේ රට එකතැන නවත්වපු ඉතිහාසයේ කාලකන්නිම යුගය විදියට හඳුන්වා දිය හැකියි.

නොගැලපෙන දෙන්නෙක්ගේ විවාහයක් වගේ තමයි එදා ඒ පාලනය තිබුණේ. ඒ උදවියගෙ පව් සියල්ලටම අද කරගහන්න වෙලා තියෙන්නේ අපට. කොහොම වුණත් මොන බාධකය ආවත් රට ගොඩනඟන්න ජනතාව අපට දුන්න අවස්ථාව මඟ නොහැර ඒ වගකීම ඉටු කරන්න අපි සූදානම්. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව සමඟ එක්තැන් වුණු යෝධ ගමනක් යන්න සූදානමින් ඉන්නවා. මම දඹුල්ලේ සිටන් කියන්න සතුටුයි පොදුජන පෙරමුණ මෙතෙක් ආව මේ සාර්ථක ගමනට නිරන්තරයෙන් විශාල ශක්තියක් දුන්නේ දඹුල්ලේ මගෙ ආදරණීය ජනතාවයි. ඒ විශ්වාසයේ සහතිකය අපේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්තයා මේ ළඟදී දී තිබුණා. ඒක මගේ ජනතාවට කළ විශාල ගෞරවයක්.

කොවිඩ්- 19 වසංගත තත්ත්වය මැද වුණත් රටේ සංවර්ධන කටයුතු ක්‍රමානුකූලව කරගෙන යනවා. ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු නායකත්වය දෙනවා. වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය එලෙසින්ම ඉටුකරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. විපක්ෂයට විවිධ චෝදනා එල්ල කරන්න පුළුවන්. නමුත් ඒ කිසිවකට ආණ්ඩුවේ ගමන ආපස්සට හරවන්න බැහැ. රටේ ජනතාව සමඟ මේ ආණ්ඩුව ඉදිරියට ගමන් කරනවා. තවත් වසර කීපයක් යනවිට අපේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටක් බවට පත්කරන්න හැකියාව ලැබෙයි කියා විශ්වාස කරනවායැයි පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here