– පැයට කි.මී. 33ක වේගයෙන් දුවති
– ජාතික ශූරතාවලියට නොපැමිණි අය එළියට
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ අමාෂා ද සිල්වා හා හිමාෂ ඒෂාන් වසරේ වේගවත්ම ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා බවට පත්වෙති. ඊයේ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනයේදී අමාෂා ද සිල්වා මීටර් 100 තත්පර 11.55කින් නිමකළ අතර හිමාෂ ඒෂාන් එම ඉසව්ව තත්පර 10. 27කින් නිම කළේය. මෙම දෙදෙනාගේ ධාවනයේ සාමාන්‍ය දළ වේගය පැයට කිලොමීටර් 33කි.
පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී අමාෂා ද සිල්වා මේ ඉසව්ව තත්පර 11. 82කින් නිමකොට රිදී පදක්කම දිනාගත් අතර හිමාෂ ඒෂාන් තත්පර 10.50කින් රිදී පදක්කම සතුකර ගත්තේය. අමාෂා ඊයේ වාර්තා කළ කාලය තම හොදම පෞද්ගලික දක්ෂතාව වන අතර හිමාෂ ඒෂාන් පසුගිය වසරේදී මෙම ඉසව්ව තත්පර 10. 22කින් නිමා කොට නව ශ්‍රී ලංකා වාර්තාව බිහි කිරීමට සමත් විය.
මීටර් 100 කාන්තා තරගයේ දෙවැනි ස්ථානය කෑගල්ල දිස්ත්‍රික් සංගමයේ රුමේෂිකා රත්නායක (තත්පර 11.88) හා තෙවැනි ස්ථානය යුද හමුදාවේ ෆාතිමා සාෆියා (තත්පර 12.05) කින් දිනාගත්හ.
මීටර් 100 පිරිමි තරගයේ දෙවැනි ස්ථානය හා තෙවැනි ස්ථානය යුද හමුදාව සතුවූ අතර පිළිවෙළින් චානුක සන්දීප (තත්පර 10.49) හා විනෝජ් සංජය ද සිල්වා (තත්පර 10.50) එම ස්ථාන දිනාගත්හ.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී නොවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මලල ක්‍රීඩා සංචිතයෙන් ඉවත් කිරීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇති හෙයින් ඊයේ දිනයේ තුන් පිම්ම ඉසව්වට එක් නොවූ ජාතික ශූරිය වන විදූෂා ලක්ෂාණී ඇතුලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුටම ජාතික සංචිතයේ අවස්ථා ගිලිහී යනු ඇත. තුන් පිම්ම කාන්තා ශූරිය බවට ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්. පී. බාලසූරිය (මීටර් 13. 07), දෙවැනි ස්ථානය යුද හමුදාවේ රශ්මි නදීශා (මීටර් 12. 63) හා තෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ ඒ. ටී. ලක්ෂාණී (මීටර් 12.06) දිනා ගත්හ.
වසර 2013දී මීටර් 60.64කින් හෙල්ල විසිකිරීමේ ජාතික ශූරිය වූ නදීකා ලක්මාලී ඊයේ දිනයේ තම ඉසව්ව මීටර් 53.97කින් නිමකළ අතර ඇයගේ දක්ෂා හීනවීමක් දක්නට ලැබුණි. කාන්තා හෙල්ල විසිකිරීමේ දෙවැනි ස්ථානය දිල්හානි ලේකම්ගේ මීටර් 48.99ක් හා තෙවැනි ස්ථානය ඩී. එච්. මධුවන්ති මීටර් 45.80කින් දිනා ගත්හ.
කවපෙත්ත විසි කිරීමේ කාන්තා ඉසව්වේ ද දක්ෂතා අඩුවක් දක්නට ලැබුණු අතර 2016දී මීටර් 15.25කින් ජාතික ශූරිය වූ ගුවන් හමුදාවේ කුමුදුමාලී ප්‍රනාන්දු මෙවර කවපෙත්ත විසිකළේ මීටර් 14. 10ක දුරකි. එහි දෙවැනි ස්ථානය නාවික හමුදාවේ එන්. ඩී. මුතුනායක මීටර් 12.70කින් හා තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රියංගිකා කුමාරී මීටර් 11.53කින් දිනා ගත්හ.
මීටර් 10000 පිරිමි තරගයේ පළමු ස්ථානය ගුවන් හමුදාවේ ඒ. කේ. තරංග මිනිත්තු 30:42.15කින්, දෙවැනි ස්ථානය යුද හමුදාවේ කේ. සන්මුගේවරන් මිනිත්තු 31:07.53කින් කින් හා තෙවැනි ස්ථානය යුද හමුදාවේ එස්. ඩී. ගුණසේකර මිනිත්තු 31:16.67කින් දිනා ගත්හ.
රිටි පැනීමේ පිරිමි තරගයේ පළමු ස්ථාන තුනම යුද හමුදාවේ ක්‍රීඩකයන් සතුවූ අතර එස්. ඊ. ජනිත් මීටර් 4.70කින් පළමු ස්ථානය, ජී. එස්. ජයන්ත මීටර් 4.30කින් දෙවැනි ස්ථානය හා ආර්. පී. මුරුගයියා මීටර් 4.30කින් තෙවැනි ස්තානය දිනා ගත්හ.
පිරිමි උස පැනීමේ පළමු ස්ථානය කේ. සී. එල්. මෙන්ඩිස් (මීටර් 2.10), දෙවැනි ස්ථානය පාසල් සංගමයේ සන්ජු තාරුක (මීටර් 2.05) හා තෙවැනි ස්ථානය පාසල් සංගමයේ රොෂේන් දුල්මුත් (මීටර් 2.00) පත් වූහ.
මීටර් 400 කඩුලු පැනීමේ කාන්තා ඉසව්වේ මුල් ස්ථාන තුනම යුද හමුදා ක්‍රීඩිකාවෝ දිනාගත්හ. ඒ. එස්. දුලානී මිනිත්තු 1: 02. 90කින් පළමු ස්ථානය, ජී. එන්. ඩී. වික්‍රමරත්න මිනිත්තු 1: 03. 22කින් දෙවැනි ස්ථානය හා සුභානී අඹේරත්න මිනිත්තු 1: 07. 00කින් තෙවැනි ස්ථාන සටහන් කළහ.
මීටර් 400 කඩුලු පැනීමේ පිරිමි ඉසව්වේ ශූරයා ලෙස එල්. ඒ. ටී. රත්නසේන තත්පර 52. 09කින්, ජේ. එල්. ප්රසන්ජිත් තත්පර 53. 22කින් හා එල්. ඒ. අයි. රත්නසේන තත්පර 53. 23කින් පළමු දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගත්හ.
මෙතෙක් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා රිටි පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පමණක් බිහිව ඇති අතර අද අවසන් දිනයයි. පෙරවරු 7 සිට තරග පැවැත්වෙන අතර දස ප්‍රයාම තරගය ඇතුළු අවසන් තරග 9ක් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා ඇත.
ඡායාරූප: ජගත් ඉරෝෂණ