විදෙස් බලපෑම්වලට යට නොවී විකිරණශීලී ඖෂධ දේශීයව නිපදවනවා

0
45

දේශීය වශයෙන් ඖෂධ නිපදවීම පිළිබඳ මේ වන විට විශාල ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත්, එයට හේතුව ජනාධිපතිවරයාගේ දැක්ම බවත් සූර්යබල, සුළං, ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. මෙම සාකච්ඡාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතාද සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා, පිළිකා සම්බන්ධ පරීක්ෂණ කර ගැනීමට විදේශයන්ට යෑමට අපේ රටේ ජනතාවට තිබෙන හැකියාව බොහෝම අඩුයි. අප නැතිකම නිසා තවත් බොහෝ දේවල් නැති කරගත්ත රටක්. එක් රෝගියකු වෙනුවෙන් රු.54,000/-ක් පමණ විකිරණශීලී ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කරනවා. මෙම ඖෂධය දේශීයව නිෂ්පාදනය කරන්නේ නම් ඒ සඳහා වැය වන්නේ රු.14,000/-ක් වැනි මිලක්. ඒ නිසා මෙම විකිරණශීලී ඖෂධය නිපදවීම සම්බන්ධයෙන් කිසිදු පසුබෑමකට ලක්නොවී, ඉතාමත් කඩිනමින් ඉදිරි සැලසුම් සකස් කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පිළිකා වැනි බෝ නොවන ගණයේ රෝග වර්ධනය වීම දැඩි අභියෝගයක් බවට පත්ව තිබෙනවා. එය පසුගිය දශක කිහිපය තුළ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ බරපතල සෞඛ්‍ය ගැටලුවක් ලෙස හඳුනා ගෙන ඇති අතර ශ්‍රී ලංකාව තුළ දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩි ප්‍රතිශතයක් පිළිකා වැළදීම හේතුවෙන් සිදුවන මරණ. පිළිකා මර්ධනය වෙනුවෙන් විකිරණශීලී ඖෂධයක් රට තුළ නිපදවීමෙන් මෙම තත්ත්වය සාර්ථකව පාලනය කරන්න හැකි වේවි. එවැනි විකිරණශීලී ඖෂධයක් නිපදවීම වෙනුවෙන් සුර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින පරමාණුක බලශක්ති අධිකාරිය, පරමාණුක බලශක්ති අධිකාරි නියාමන සභාව යොදාගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්.

මෙහිදී අදහස් දැක්වූ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා – ජනාධිපතිවරයා වෙත කරුණු දක්වා මෙවැනි කටයුත්තක් ආරම්භ කිරීමට මූලිකත්වය ගැනීම සහ මෙම කටයුත්තට තමන් සහ තම අමාත්‍යාංශය සම්බන්ධ කරගැනීම වෙනුවෙන් දුමින්ද දිසානායක රාජ්‍ය ඇමැතිවරයාට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළ හැකි මෙවැනි කටයුත්තක් වෙනුවෙන් අප්‍රමාදව කටයුතු කිරීමටත්, හැකි සෑම සහයෝගයක්ම සැපයීමටත් බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

විකිරණශීලී ඖෂධයක් දේශීය වශයෙන් නිපදවීම වෙනුවෙන් වූ මෙම සාකච්ඡාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නියාමන සභාව, පරමාණුක බලශක්ති අධිකාරිය, පරමාණුක බලශක්ති අධිකාරි නියාමන සභාව, සූර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ සහභාගී වූහ.

චන්දිමා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here