හැමෝටම ඕනෑ වෙනසක්

    0
    10

    ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’, ‘රෝමියෝ ජුලියට්’, ‘රෝද හතරේ මනමාලයා’, ‘සිහින වසන්තයක්’, ‘පියස’, ‘පින්සර දොස්තර’, ‘සුදුයි උසයි’ වැනි ටෙලි වෘත්තාන්ත ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක රසාස්වාදය වෙනුවෙන් තිළිණ කළ සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුනිල් කොස්තාගේ නවතම ටෙලි නිර්මාණය “Can you hear me” මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. මේ ඒ පිළිබඳ කළ සුහද පිළිසඳරකි.

    ඔබ මෙවැනි නිර්මාණයක් ප්‍රේක්ෂක රසාස්වාදය වෙනුවෙන් ඉදිරිපත් කරන්න අදහස් කරන්නේ ඇයි? 

    මට ඕනෑ වුණා මේ ජනසමාජයට වෙනස් ඇත්දැකීමක්, විශේෂිත වූ රූප පද්ධතියක්, විශේෂිත වූ රඟපෑම් විධියක් වගේ ම වෙනස් විදිහේ ආකල්ප සමුදායක් එකතු කරන්න. නූතන ලෝකය සමඟ සසඳා බැලීමේදී ටෙලිනාට්‍යකරණය අතින් අප සිටින්නේ බොහොම පිටුපසින්. මෙන්න මේ දේ අතික්‍රමණය නොකර විදේශවලින් එන ටෙලි නාට්‍යවලට දොස් කියලා වැඩක් නෑ. අන්න ඒ නිසා කියව කියව ඉන්නෙ නැතුව කරලා පෙන්නන්න දරපු උත්සාහයක් තමයි “Can you hear me”.

    ඒ උත්සාහය සාර්ථකද? නැද්ද? කියන එක තීන්දු කළ යුත්තේ ප්‍රේක්ෂකයන්. නිර්මාණකරණය තුළ මම කළ දේ ම නැවත නැවත කරන්න කැමැති නැහැ. මිනිස්සු හැමෝටම ඕනෙ වෙනසක්. ඒ ඕනෙ කරන වෙනස ගැන ගොඩක් දුරට හිතලා තමයි මම මේ නිර්මාණයට හැරුණෙ. Hawking කියලා අමෙරිකානු මහාචාර්යවරයෙක් හිටියා. ඔහු ආබාධිතයි. හිටියෙ රෝද පුටුවක. හිතන්න විතරයි පුළුවන්. ඒ මහාචාර්යවරයාගේ චිත්‍රපටිය නරඹන විට මට හිතුනා හැමදාම රෝද පුටුවක ඉන්න මිනිහෙකුට ජීවිතය කොහොම දැනෙනවා ඇතිද කියලා. ඒ මිනිහාගේ බලාපොරොත්තු, හැඟීම් දැනීම් මොන වගේද? කියලා. මං ඒ ඔස්සේ හිතන්න ගත්තා. එතැනින් තමයි මට මේ ටෙලිනාට්‍ය රචනා කරන්න මූලික සංකල්පනාව පහල වුණේ. ඒ කාලයේදී මම රසවින්දා ඇඩෙල් නම් ලෝකප්‍රකට ගායිකාවගේ ගීතයක්. ඇය ඇගේ ගීතයේ එක තැනක අහනවා “Can you hear me?” කියලා. ඇත්තෙන්ම එහි අර්ථය “මාව ඇහෙනවද?” කියන එක වුණත් ඇඩෙල්ගෙන් ඒක ඇහෙනකොට අපිට දැනෙන්නේ “මාව ඇහෙන්නෙ නැද්ද? ඇයි ඇහෙන්නේ නැත්තෙ?” වගේ අදහසක්. අද වන විට සමාජයට, රටට, ලෝකෙට වෙලා තියෙන්නෙත් මේ මිනිස්සුන්ව ඇහෙන්නෙ නැතිකම නේද? මේ නාට්‍යයේ එන විවිධ තලවල චරිතවලට තියෙනවා කියන්න කතාවක්. හරියට ඔබට මට වගේ ම. කවුරුත් ඒ කතාව අහන්නෑ. අහන්න වුවමනාවකුත් නෑ. 

    එහෙම අහන සමාජයකුත් නෑ. ඉතිං මං “Can you hear me” හැදුවා, ඇහුන්කන් දෙන්න පුරුදු කරන්න.

    “Can you hear me” සඳහා තිරෙන් පිටුපස සිට සහය දුන් පිරිස ගැන මතක් කිරීමක් කළොත්?

    මට ඉතා හොඳ නිෂ්පාදකවරයෙක් මුණගැහුණා. ඒ තමයි චින්තක කුලතුංග. මම අධ්‍යක්ෂණය කළ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ නාට්‍යයේ නයනානන්ද ගුරුවරයාගේ චරිතයට පණ දුන්නේත් ඔහුයි. ආලෝකකරණය කරන්නේ මේ වසරේ රයිගම් සම්මාන උළෙලේ හොඳම කැමරා ශිල්පියා ලෙස සම්මාන ලැබූ සිසිකිරණ පරණවිතාරණ. මේ නාට්‍යයේ සංස්කරණ ශිල්පී ශාන් අල්විස් මෙවර රයිගම් සම්මාන උළෙලෙ හොඳම කැමරා ශිල්පියාට නිර්දේශ වුණා. කලා අධ්‍යක්ෂණයෙන් දායක වන අජන්ත අලහකෝන් ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම කලා අධ්‍යක්ෂණයට නිර්දේශ වුණා. වේෂ නිරූපණ කටයුතු සිදු කරන්නේ වසන්ත පූර්ණවංශ. ඔහු ‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලිනාට්‍යයේ හොඳම වේශ නිරූපණ ශිල්පියා ලෙස නිර්දේශ වුණා. ඒ වගේ ම මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වන දිනේෂ් සුබසිංහ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යය වෙනුවෙන් හොඳම සංගීතඥයාට නිර්දේශ වුණා. නිෂ්පාදන සහය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන චමින්ද උඩවෙල කවියෙක්. නිෂ්පාදන කළමනාකරු වන මලිත් පීරිස් නාට්‍යකරුවෙක්. නිෂ්පාදන විධායක ලෙස කටයුතු කරන නිමල් සේනාධීර ලංකාවේ දැනට ඒ ක්ෂේත්‍රයේ නමක් තියාගෙන ඉන්න ඉතාමත් අල්ප වූ නිෂ්පාදක විධායකවරුන් අතරින් කෙනෙක්. මේ සියලු දෙනා මාත් එක්ක මේ ටෙලිනාට්‍ය වෙනුවෙන් විශාල වශයෙන් දරදිය අදිනවා. ඔවුන්ගේ ශක්තියෙන්, ධෛර්යයෙන් තමයි මේ ගමන ඉදිරියට යන්නේ.

    නළු නිළියන් තෝරාගැනීමේදී දක්වන සැලකිල්ල එහි ගුණාත්මක භාවය බොහෝ ඉහළින් තබන්නට හේතුවන්නක් නේද?

    මගේ අනිත් නිර්මාණවලදී වගේ ම මේ නිර්මාණයේදීත් දායක කරගත්තේ අපේ රටේ ඉන්න අති දක්ෂ නළුනිළි පිරිසක්. රොජර් සෙනෙවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, නිරෝෂන් විජේසිංහ, ශලනි තාරකා, වීණා ජයකොඩි, ගිහාන් ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ, ආනන්ද කුමාර උන්නැහේ ඇතුළු එවැනි කණ්ඩායමක් සමඟ වැඩ කිරීම හරිම පහසුයි. ඒ වුණත් ලක්ෂ 50ක පමණ කුඩා ප්‍රේක්ෂකාගාරයක් තියාගෙන තමයි අප මේ හැමදේම කරන්නෙ. අපේ නිර්මාණ මෙතනින් එළියට ගෙනියන්න ක්‍රමවේදයක් 

    හදන්න ඕනෙ. ඒ නිසා ම මේ නාට්‍යයේදී අප පොඩි විශේෂයක් කළා. සාමාන්‍යයෙන් අපි නිකම් ම ටෙලිනාට්‍ය යූ ටියුබ් එකට අප්ලෝඩ් කරනවා වෙනුවට මේ වතාවේ ඒ එක්ක ඉංග්‍රීසි උපසිරස යෙදුවා. යූ ටියුබ් එකට ගිහින් මේ නාට්‍යයට ඉංග්‍රීසි උපසිරස යෙදුවම මේක ලෝකෙ තියෙන භාෂා දෙසීයකට විතර පරිවර්තනය වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ලෝකෙ බොහෝ රටවල උදවිය “Can you hear me” නරඹලා ඔවුන්ගේ අදහස් අපට කියනවා. මේ හරහා අපේ නිර්මාණයක් යම් මට්ටමකට පිටරට ආකර්ෂණයකට නතුවීම හොඳ ආරම්භයක්. ඒ වගේ ම අපේ නාලිකාවල ටෙලිනාට්‍ය මිලදී ගැනීමේ ශක්‍යතාවය දැන් බොහොම අඩු තැනකයි තියෙන්නෙ. ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙනවා. ඒ සියල්ල අතරේ මුදල් බෙදෙනවා. අනුග්‍රාහකයන් වැඩි වෙලා නෑ. නාලිකාවකට විශාල මුදලක් දීලා ටෙලි නාට්‍යයක් මිලට ගන්න බෑ. ඒ නිසා ටෙලි නාට්‍යවලට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන මුදලත් නිසි අන්දමින් කළමනාකරණය කරගත්තොත් එය මේ රටේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට යම් පමණක රුකුලක් කරගන්න පුළුවන් වෙයි.

    වර්තමානයේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් බොහෝදුරට රසවිඳීමට තෝරාගන්නේ, ජනප්‍රිය පන්නයේ ඉන්දියානු හැඩය ගත් ටෙලි නාට්‍ය. එතැනින් එහාට උසස් රසවින්දනයක් වෙත ප්‍රේක්ෂකයා රැගෙන යා යුතුයි ?

    ඒ වගේ නාට්‍ය ප්‍රේක්ෂකයන්ට දුන්නෙ කවුද? අපිමනේ. ඒ නිසා හැම නිර්මාණකරුවකු ම කල්පනා කරන්න ඕනෙ නිර්මාණයක් බිහි කිරීමේදී තමන්ට තියෙන වගකීම ගැන. මං මේ කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට බලං ඉන්න බැරි ප්‍රබුද්ධ, අතිශය සංකීර්ණ දේවල් දෙන්න කියලා නෙවෙයි. සරල වුණත් යම් ගැඹුරක් අර්ථයක් තියෙන නිර්මාණ ඉදිරිපත් කරන්න ඕනෙ. ඒ වගේ නිර්මාණ අප ඉදිරිපත් කරලා තියෙන්නෙ ඉතාම අල්ප වශයෙන්. මම, ආනන්ද අබේනායක, ලලිත් රත්නායක ඇතුළු තවත් සීමිත පිරිසක් විසින් ඉදිරිපත් කරන එම ධාරාවේ ටෙලිනාට්‍යවලට ප්‍රේක්ෂකාගාරයක් තාමත් තියෙනවා. හැබැයි ඒක වැඩි වෙන්නෙත් නෑ. අඩු වෙන්නෙත් නෑ. ඒත් ඊට වඩා විශාල ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා ඉන්දියානු අනුකරණවාදී ටෙලිනාට්‍යවලට. අපට කරන්න තියෙන්නේ ඒ නාට්‍යවලට බැන බැන ඉන්න එක නෙවෙයි, ප්‍රේක්ෂකයා ආකර්ෂණය වන අන්දමේ ගුණාත්මක නිර්මාණ බිහි කිරීමේ ශක්‍යතා දියුණු කරන එකයි.

    කාංචනා සිරිවර්ධන

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here