අතමිට සරු කර ගන්න අවාරේ පැණි රඹුටන් වවන්න

    0
    36

    දැනගෙන ගොවිතැන් කරන්නේ නම් අතමිට සරු වූ ජීවිතයක් උරුම කර ගත හැකිය. එසේම තම වගා අස්වැන්න විදේශයට අලෙවි කරමින් රටට විදේශ විනිමය උපයා දීමට ද හැකි වන අතරම රටට කීර්තියක් ද ගෙන දීමට හැකි වන බව ද රහසක් නොවේ. තම පියා ආරමිභ කළ අක්කර 16කින් යුතු අවාරේ රඹුටන් හා අනෙකුත් දෙස් – විදෙස් පලතුරු වගාව ඒ අයුරින්ම ඉදිරියට ගෙන යෑමට හපුතලේ කොස්ලන්ද කැලිපනාවේ හසන්ත දයානන්ද මහතා දරන උත්සාහය අගේ කළ යුතුය.

    කිසිදාක ඌව පළාතේ රඹුටන් වගා කළ නොහැකි බවට තිබූ මතය විශ්‍රාමික කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ පී. දයානන්ද මහතා බිඳ දමමින් 1993දී මෙම අවාරේ රඹුටන් වගාව ආරම්භ කර ඇත. කෘෂිකර්මය පිළිබඳව මනා දැනුමක් ඇති විදෙස් පුහුණුව ලත් අය පවා රැකියාවෙන් විශ්‍රාම ගැනීමත් සමඟම එම දැනුම අකාමකා දමති. මෙසේ නිහඬ ජීවිතයකට පිවිසෙන එම පිරිස් අකාලයේ විවිධ රෝගවලට නිතැතින්ම ගොදුරු වේ. මෙය වටහා ගෙන සිටි කෘෂිකර්ම අධ්‍යක්ෂ පී. දයානන්ද මහතා සිය සේවා කාලය තුළදීම මෙම අවාරේ රඹුටන් පලතුරු ගොවිපළ ආරමිභ කර ඇත. බහුබෝග වාර්ෂික සංවර්ධන ආයතනය විසින් 2006 වසරේ බදුල්ල දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යාපාරික ගොවියා ලෙසින් පි. දයානන්ද මහතා සම්මාන දිනාගෙන ඇත.

    වත්මන් තරුණයන් දේශපාලකයන් පසුපස යමින් රැකියා පෝලිමේ කාලය කා දැමුව ද හසන්ත දයානන්ද තරුණයා තම පියාගේ පලතුරු වගාවට සහය වීමට එක් වී තිබේ. පියාගේ කෘෂිකර්ම දැනුම හා ප්‍රායෝගික දැනුමෙන් හසන්ත මහතා පෝෂණය වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

    හසන්ත දයානන්ද මහතා (48) තම පියාගේ අඩි පාරේ යමින් ජීවිතය ජය ගන්නට දරන වෙහෙස ගැන මෙසේ පැවසීය. “මගේ තාත්තා විශ්‍රාමික සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක පි. දයානන්ද මහතා වන අතර ඔහු දැනට ජීවතුන් අතර නැහැ. මම තරුණ කාලයේදීම තාත්තාගේ කොස්ලන්ද කැලිපනාවේ පටන් ගත්ත අවාරේ පැණි රඹුටන් ගොවිපළේ වැඩට සම්බන්ධ වුණා. ඌව පළාතේ රඹුටන් වගා කරන්න බැරි බවට මතයක් තිබුණා. තාත්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලයේ කොස්ලන්ද අවට රාජකාරි වැඩවලට ඇවිත් තිබෙනවා. එසේ එන විට කොස්ලන්ද, ඌව, මාවෙලගම, නිකපොත හා හා රන්දෙණිය යන ප්‍රදේශ අවට වල් රඹුටන් ගස්වල මල් හට ගැනීම හා ගෙඩි හට ගැනීම පිළිබදව වසර දෙකක කාලයක සිට අධීක්ෂණය කර තිබෙනවා. වැල්ලවාය හා හපුතලේ යන මැතිවරණ කොටිඨාස දෙකට මායිම්ව පිහිටි ප්‍රදේශ විම හා පවතින උණුසුම් පරිසරය නිසා මෙසේ අවාරයට ගස්වල ගෙඩි හට ගන්නා බව පැවසෙනවා. තාත්තා රඹුටන් ආදර්ශ වගාවක් ආරමිභ කළා. එය ඉතාමත් සාර්ථක වූවා පමණක් නොවෙයි අවාරෙට පල දරන බව ද මනාව ඔප්පු වුණා.

    මල්වානේ පැණි රඹුටන්වල රසයට නොදෙවෙනි රසයක් හා ඉහළ අස්වැන්නක් සහිත අවාරෙට රඹුටන් පලදාවක් ඇති වගාව පුළුල් කිරීමට නැඹුරු වුණා. මෙහිදී තාත්තා දිරිමත් කරමින් බහුවාර්ෂික බෝග අධ්‍යක්ෂකව සිටි යූ.පී.ද වෛද්‍යනාද, බණ්ඩාරවෙල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ නිලධාරි සුභ හීන්කෙන්ද හා රඹුටන් පිළිබඳ පර්යේෂණ නිලධාරිනි ඉන්ද්‍රාණි මැදගොඩ යන මහත්ම මහත්මීන්ද තාත්තාට විවිධ අන්දමට උපදෙස් දී තිබෙනවා.

    අද වන විට අපගේ කැලිපනාවේ පලතුරු ගොවිපළ අක්කර 16ක් පමණ විශාලයි. එයින් අක්කර 12ක අවාරේ පල දරන රඹුටන් ගස් 600ක් තිබෙනවා. මෙහි මල්වානේ විශේෂ, මල්වානේ මැරියන් රතු හා කහ වර්ණ රඹුටන් තිබෙනවා. ඉතිරි ප්‍රමාණයේ අනෙක් පලතුරුත් වගා කර තිබෙනවා. මුල් අවධියේ උසස් තත්ත්වයේ රඹුටන් බද්ද පැළ ලබා ගෙන ඇත්තේ හොරණ, බණ්ඩාරගම හා රුවන්වැල්ල ප්‍රදේශවල පිහිටි නිර්දේශිත තවාන්වලින්. රඹුටන් වගාවට හානි නොවන ලෙස පැපොල්, කෙසෙල්, මොර, දූරියන්, ලිචී, මැංගුස්, උගුරැස්ස, නෙල්ලි, සැපදිල්ලා හා ඕට්‍රේලියන් බ්‍රිජ් සහ චෙලි ඇතුළු විවිධ දෙස් විදෙස් පලතුරු වර්ගත් වගා කර තිබෙනවා. මොර හා දූරියන් ගස්වල ද අවාරේට පල හටගන්නා බව කියන්න ඕනෑ. මෙසේ වවන අතුරු බහුබෝග පලතුරු වගා අස්වැන්නෙන් අතිරේක ආදායමක් උපයාගත හැකි වීම තුළින් විශාල ආර්ථික වාසියක් අත්වෙනවා. මෙයට අමතරව විවිධ පලතුරු වගාවන් ගැන ද අත්හදා බැලීම් කරනවා.”

    උඩරට අන්තර් කලාපයේ රඹුටන් පහසුවෙන් වගා කිරිමට හැකිය. මෙයට අමතරව ශරීරයට පෝෂණය ගෙන දෙන විවිධ පලතුරු වගාවන් ද සිදු කිරීමට පුළුවන. මෙසේ අවාරේ රඹුටන් ගස්වල ජුලි මාසයේ මැද සිට මල් හට ගැනීම ආරමිභ වේ. ගෙඩි කැඩීම සිදු වන්නේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි යන මාස වලය. මෙසේ ලැබෙන පලතුරු අස්වැන්න පහසුවෙන් ඉහළ මිලකට දේශීය හා විදේශීය වෙළෙඳපොළට අලෙවි කිරිමට ද හැකි වේ. අද වන විට අපගේ රඹුටන් මාල දිවයින හා මැද පෙරදිග රටවලට යැවේ. දේශීය වෙළෙඳපොළට කිලෝව රුපියල් 250-300ක මිලටත් විදේශ වෙළෙඳපොළට කිලෝව රුපියල් 400-500 අතර මිලකටත් ගොවිපළ වගා බිමේදීම පහසුවෙන් අලෙවි කිරීමට හැකිය.

    මේ අනුව වත්මන් තරුණ තරුණියන්ට පමණක් නොව රඹුටන් වගාවක් කිරීමට කැමති අයකුට එයට නැඹුරු වි අතමිට සරු කර ගත හැකි බව හසන්ත දයානන්ද මහතා පවසයි.

    අවාරේ පැණි රඹුටන් වගා කරන්නේ මෙහෙමයි

    සැපෙන්ඩාසිසේ (Sapindaceae) කුලයට අයත් නෙපලියම් නැපසිකම් උද්භිද නාමයෙන් හැඳින්වෙන රඹුටන් ගස මුහුදු මට්ටමෙන් අඩි 1600 සිට අඩි 1800 අතර භුමියේ වගා කළ හැක. මෙම වගාවට උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 27-30 ක අතර ද පැතිරුණු වාර්ෂික වර්ෂාපතනය අඟල් 75-80ක් ලැබෙන හොඳින් ජලය බැස යන සාරවත් මැටි ලෝම පසක් පිහිටි ප්‍රදේශයක රඹුටන් වගාව සාර්ථකව පවත්වා ගෙන යා හැක.එවැනි පරිසර තත්ත්වයක් නොමැති ප්‍රදේශවල මෙම වගාව කළ නොහැකිය.

    උඩරට අතරමැදි කලාපයට අයත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ඇල්ල, හාලිඇළ, හල්දුමුල්ල හා ඌව පරණගම යන මැතිවරණ කොටිඨාසවලින් කොටසක ද මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල, මඩුල්ල, මැදගම, බඩල්කුඹුර යන ප්‍රදේශවල රඹුටන් වගාව සාර්ථකව සිදු කළ හැකි බවට හඳුනාගෙන ඇත. මල්වානේ විශේෂ, මල්වානේ මැරියන් රතු හා කහ වර්ණයෙන් යුත් ප්‍රසිද්ධ ප්‍රභේදයන් තුනක් තිබෙන මුත් ආර්ථික වාසියක් මෙන්ම කලක් තබා ගත හැකි වන්නේ මල්වානේ විශේෂ ප්‍රභේදය පමණි. එයට අමතරව ඉහළ ඉල්ලුමක් ද, ඉහළ මිලක් ද තිබිම අලෙවියට ඉතාමත් පහසු වේ.

    රජයේ අනුමත පෞද්ගලික ගොවිපළවලින් වගාවට අවශ්‍ය රඹුටන් පැළ මිලට ගත හැකිය. බද්ධ පැළවලින් ඉහළ අස්වැන්නක් ලැබෙන අතර බීජ ඇට මඟින් ලබා ගන්නා පැළ මඟින් එවැනි අස්වැන්නක් ගත නොහැකිය.

    බද්ධ රඹුටන් පැළයක් සිටුවිමට අඩි 3x3x3 ප්‍රමාණයෙන් (අඩි 4 ක් පමණ ගැඹුරු නම් වඩාත් සුදුසුය) යුත් වළක් කපා ගත යුතුය. මෙසේ කපා ගත් වළ කාබනික පොහොරවලින් පුරවා ගැනිම යෝග්‍ය වේ. ශාකය වේගවත්ව හා නිරෝගිව වැඩේ. එසේම වැඩි අස්වැන්නක් ද ලැබේ. ගස් අතර පරතරය අඩි 30×30 තිබීම වැදගත්ය.

    වර්ෂා සමය ආරම්භයත් සමඟ පැළ සිටුවීම ආරම්භ කළ යුතුය. වසර තුනක් පමණ වන විට ගසේ ගෙඩි හට ගැනීම ආරම්භ වේ. වසර පහක් ගත වන විට ආර්ථික වාසිදායක ලෙසින් ගෙඩි හට ගනී. වසර 10 ක සාරවත් ගසකින් ගෙඩි 5000ට වඩා අස්වැන්නක් ගත හැකිය.

    රඹුටන් වගාව තනි වගාවක් හැටියට යෝග්‍යය. විවිධ ගස් ආවරණ සහිත භුමි සුදුසු නොවේ. රඹුටන් ගස් අතර කෙටි කාලිනව කෙසෙල්, වැල් දොඩම්, පැපොල් හා සුළු එළවළු වගාවන් කළ හැකිය. එමඟින් ලැබෙන ආදායමෙන් රඹුටන් වගාවට වැය වන මුදල අවම කර ගත හැකිය.

    රඹුටන් ගසේ ගෙඩි අවසන් වීමත් සමඟම ගස වටා කානුවක් කපා කාබනික පොහොර දැමිම ද එන්.පී.කේ. රසායනික පලතුරු පොහොර මිශ්‍රණය කිලෝ 02ක් යෙදීම තුළින් ගුණාත්මක බවින් යුතු උසස් අස්වැන්නක් ගත හැකිය.

    වැසිසමයේ රඹුටන් ගසේ මල්වලට පිටිපුස් රෝග වැලඳීමේ ප්‍රවණතාවක් පවතී. සල්ෆර් අඩංගු දිලිර නාශකයක් භාවිත කළ යුතුය. අඳුරු කාලගුණික තත්ත්වයක් පවතී නමි ඉහත සඳහන් දිලීර නාශකය සතියකට දෙවරක් වත් ඉසිය යුතුය.

    ආර්. රාජමන්ත්‍රී

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here