අපේ දේ රැකගෙන කළ යුතු තිරසර ඉඩම් සංවර්ධනය

    0
    44

    ‘ආනයන සීමාකොට අප රට තුළ නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමුඛතාව අනුව තෝරාගත් භෝග වර්ග 16ක් වගා කිරීම සඳහා ඉඩම් තෝරා ගැනීමේදී වාරිමාර්ග අමාත්‍යාංශයේ “වාරි සෞභාග්‍යා” ව්‍යාපෘතිය සඳහා තෝරාගත් එල්ලංගා පද්ධති 5000 සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාකිරීම කාලීනව වඩාත් යෝග්‍ය බැව් අ‍පගේ හැඟීමය.

     

    රජයේ අවශේෂ කැලෑ ඉඩම් නව චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමේදී පරිසර සංරක්ෂණයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම මෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් අභිලාෂ මුදුන්පත් කර ගැනීම ද එම අවශේෂ කැලෑ ඉඩම් පරිසර හිතකාමී ලෙස ආර්ථික ක්‍රියාවලියට දායක කරගත හැකිවන්නේ කෙ‍ෙස්ද යන්න පිළිබඳ ද මෙම ලිපියෙන් අවධානය යොමු ‍කෙරේ.

    ශ්‍රී ලංකාව යනු කුඩා ගෙවතු හිමියන් හා පාරම්පරික කුඩා ප්‍රමාණයේ ගොවි බිම් හිමිකරුවන්ගේ පාරාදීසයකි. අප රටේ ප්‍රධාන තෙත් කලාපීය අපනයන බෝග වන තේ, රබර්, කුළුබඩු මෙන්ම වියළි කලාපයේ වඩාත් ප්‍රචලිත ධාන්‍ය වර්ග, එළවළු, පලතුරු සහ ඖෂධීය ශාකවලින් වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ ද මෙම කුඩා පරිමාණයේ ගොවීන් විසිනි. එය මෙරටට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණයක් ද වේ. වසර සිය දහස් ගණනක අභිමානවත් ශ්‍රී ලංකාව පාරිසරික සහ සමාජීය කෘෂි වාරි සංස්කෘතියකට මෙන්ම ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන රටකි. කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් හරහා වර්තමානයටත් අනාගතයටත් ගැළපෙන ලෙස නිර්මාණශීලී නවීකරණය කිරීම මඟින් තිරසාර සංවර්ධනයක් කරා මෙම ගොවීන් තවදුරටත් යොමු කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසීම කාලීන අවශ්‍යතාවක් ලෙස සැලකිය හැකිය.

    ආනයනය සීමා කිරීමේ අදිටනින් දේශීයව වගා කිරීමට යෝජිත භෝග වර්ග 16 සමඟ අනෙකුත් ගෙවතු ආශ්‍රිත වෘක්ෂලතාදිය මිශ්‍ර වගාවන් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ වශයෙන් වගා කිරීම සැලසුම් කිරීම, රජයේ දෙපාර්තමේන්තු මඟින් දෙන උපදෙස් සමඟ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. ඒ හා සමඟම කෘෂි රසායනික භාවිතය අවම කිරීමේ අරමුණින් හා කාබනික වගාවන්ට යොමු කිරීමෙන් එම භෝග සෞඛ්‍යාරක්ෂක ලෙස වගා කිරීමට හැකිවන නිසා අගය එකතු කරන ලද වටිනාකමක් ද ගොවීන්ට ගැනීමට හැකි වේ.

    අපේ දේ රැක ගැනීම

    ලෝක පූජිත වාපි, වෙහෙර විහාර, කෙත් බිම් ගෙවතු ආශ්‍රිත සුවිශේෂී එල්ලංගා වාරි සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ එම එල්ලංගා පද්ධති ආශ්‍රයෙන් තවදුරටත් නිර්මාණශීලීව මෙම භෝගවලින් බහුතරයක් වගා කිරීමේ හැකියාව පවතී. අවශ්‍ය වන්නේ නිසි උපදෙස් හා දිරිගැන්වීම පමණි. මෙවැනි පරිසර හිතකාමී මෙන්ම සංස්කෘතික උරුම වටිනාකමක් ද ඇති එල්ලංගා පද්ධති වි‍ෙද්ශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ද නොමඳව ලබා ගැනීමට සමත් බැවින්, තවදුරටත් අගය එකතු කරන ලද වටිනාකමක් මෙම ගොවිබිම්වලට ලබාගැනීමට පිළිවන. අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මඟින් ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ‍යෙදීම ද දිරිගැන්වීම ද වැදගත් වේ.

    මෙහිදී, සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් වන්නේ එවැනි භෝග සමහරක් මහා පරිමාණයේ ඒකීය වගාවන් ලෙස වගා කිරීම සඳහා සමහර ආයෝජකයන් නැඹුරු වන බවය. ශ්‍රී ලංකාව වැනි විෂම රූපී භූ දර්ශනයක් සහිත හා එයටම සමගාමීව දක්නට ලැබෙන සංකීර්ණ පාංශු කලාප සහිත කුඩා රටකට මෙවැනි භෝග මහා පරිමාණයේ ඒකීය වගාවන් කොතෙක් දුරට ගැළපේද යන්න ප්‍රථමයෙන් සලකා බැලිය යුතුය.

    හෙක්ටයාර් සිය දහස් ගණනක් පුරා කෘෂි රසායනික මත යැපෙන මෙන්ම අධික ජල පරිභෝජනයක් අවශ්‍ය වන භෝග ඒකීය වගාවන් ලෙස ස්ථාපිත කිරීම අපගේ තිරසර සංවර්ධන ප්‍රතිපත්තීන් සමඟ කොතරම් දුරට ගැළපෙන්නේ දැයි විමර්ශනය කිරීම වැදගත්ය. අලි මිනිස් ගැටුමට කඩිනම් විසඳුම් සෙවීමට වෙ‍හෙසෙන මෙවන් අවදියක මෙකී ව්‍යාපෘති පිළිබඳ ගැඹුරින් සොයා බැලීම ද වැදගත් වනු ඇත.

    බඩ ඉරිඟුවලින් රට ස්වයංපෝෂිත කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ මෙයට කදිම නිදසුනකි. මෙට්‍රික් ටොන් 450,000 ක් පමණ වන දේශීය අවශ්‍යතාව සපුරාගැනීමට කුඩා පරිමාණයේ ගොවීන්ට අමතරව මධ්‍ය හා මහා පරිමාණයේ වගාකරුවන් සඳහා ඉඩම් හෙක්ටයාර් 5000 ක් පමණ මහවැලි අධිකාරිය මඟින් මාදුරුඔය දකුණු ඉවුර කලාපයෙන් සමාගම් 15 කට බදු දී ඇති බව මහවැලි අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය මඟින් පැහැදිලි කර තිබේ. මෙම ඉඩම් මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිවූ මාදුරුඔය ජලාශයේ ජල සැපයුමෙන් සංවර්ධනය කිරීමට යෝජනා වූ ගොවිබිම්ය. එසේ වුවද, මෙම ඉඩම් බොහොමයක් පසුගිය දශක තුනක කාලයක් තිස්සේ පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් නැවතත් ද්විතියික වනාන්තර, ලඳු කැලෑ හා බැද්දවල් ලෙස වර්ධනය වී ඇත. මේවායින් සමහරක් දැනටමත් එම සමාගම් මඟින් යන්ත්‍ර සූත්‍ර යොදවා එළි පෙහෙළි කරමින් ඇත.

    එක් පසෙකින් දශක තුනක් තිස්සේ ස්වභාවිකව ප්‍රතිස්ථාපනය වූ ද්විතීයික වනාන්තර හා ලඳු කැලෑ එළිපෙහෙළි කර අධි‍ෙව්ගී ආර්ථික සංවර්ධනයක් සඳහා මහා පරිමාණයේ ඒකීය කෘෂි වගා ආරම්භ කිරීමට ලහි ලහියේ සූදානම් වේ. තවත් පසෙකින් වෙනත් ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම එළිපෙහෙළිකර අත්හැර දමන ලද මුඩු ඉඩම් විශාල වියදමක් දරා පෞද්ගලික අංශ‍ෙය් සහ සන්නද්ධ සේවා බළකායන්ගේ සහාය ද ඇතිව ජාතික වන ප්‍රතිෂ්ඨාපන ඉලක්ක සපුරා ගැනීම සඳහා නැවත වන වගා ඇති කිරීමට මහත් ප්‍රයත්නයක් ගන්නා අයුරු මාධ්‍ය මඟින් වරින්වර වාර්තා කර තිබේ.

    මහවැලි ව්‍යාපාරය යටතේ ‍ගොවි බිම් සංවර්ධනය සඳහා මෙම ඉඩම් වෙන් කරන ලද්දේ දැනට දශක හතරකට පමණ පෙරදීය. එහෙත්, වර්තමානයේ උද්ගත වී ඇති පාරිසරික, වනජීවි සංක්‍රමණ රටා සහ ආදිවාසීන්ගේ ජීවන රටා වෙනස්වීම් ද සැලකිල්ලට ගනිමින් නැවත වරක් මෙම ඉඩම් අතුරින් සංරක්ෂණය සහ වන ප්‍රතිස්ඨාපනය සඳහා වඩාත් සුදුසු ඉඩම් හඳුනා ගැනීම ප්‍රථමයෙන් කළ යුතු වේ. අනතුරුව එල්ලංගා වැනි අපටම සුවිශේෂ වූ ගොවි බිම් පද්ධති නව මුහුණුවරකින් ආරම්භ කිරීමට වඩාත් සුදුසු යැයි අපට හැ‍ඟේ. ඌරුවරිගේ වන්නියලා ඇත්තෝ විසින් මෑතකදී පොල්ලෙබැද්ද හා සීතල වන්නිය ප්‍රදේශවල සිදුකරන සංචාරයකින් පසුව සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීම ද මෙහිදී වැදගත් වනු ඇත

    ක්ෂණික ලාභ ඉපැයීමේ අපේක්ෂාවෙන් සංවර්ධනය කරනු ලබන බඩඉරිඟු ඒකීය වගාවන්ට සේනා දළඹුවන්ගෙන් සිදුව ඇති හානිය, කොරෝනා වසංගතය හා අනෙකුත් පාරිසරික විපත්වලින් තැලී මිරිකී සිටින වියළි කලාපීය ගොවි ජනතාවට මේ අසීරුතා දරා ගැනීමට නොහැකි තත්ත්වයක්ව පවතී. එවැනි ව්‍යසනකාරී තත්ත්ව යටතේ තවදුරටත් බඩඉරිඟු වැනි භෝග වගා කිරීම සඳහා දැනට දශක තුන හතරක් තිස්සේ ස්වභාවිකව වර්ධනය වූ ලඳු කැලෑද හා බැද්දවල් එළිපෙහෙළි කර මහා පරිමාණයේ වගා බිම් ඇති කිරීම කොතරම් දුරට ගැළපෙන්නේ දැයි සිතා බැලිය යුතුය.

    ලඳු කැලෑවන් හෝ බැද්දක් එළිපෙහෙළි කිරීම ඉතා පහසු කටයුත්තකි. එහෙත් එවැන්නක් නැවත වර්ධනය කරගැනීම අතිශය දුෂ්කර කල් ගත වන හා වියදම් අධික ක්‍රියාවක් බව සඳහන් කළ යුතුය.

    හරිත ආර්ථික සංකල්පය පිළිබඳ ශ්‍රී ලංකාව ද ඇතුළුව මුළු ලෝකයේම අවධානය යොමු වෙමින් පවතින අවධියක කෘෂි රසායනික ක්‍රමවේද පෙරදැරි කරගත් මෙන්ම ඒවායේ අනිසි ප්‍රතිඵල නිසාවෙන් ඇති වන පාරිසරික ආර්ථික බර පැන නොතකන අධිවේගී ආර්ථික සංවර්ධනය සියලු ජීවී හා භෞතික පරිසරයේ සමතුලිතභාවයට දීර්ඝකාලීන අහිතකර බලපෑම් ඇති කරන බව අවධාරණය කළ යුතුය.

    වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් නිකුත් කළ රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය මැයෙන් යුතු MWFC/1/2020 චක්‍රලේඛය හා ඊට අනුරූපීව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ අංක 2020/18 චක්‍රලේඛයට අනුව වන සංරක්ෂණ හා සංවර්ධනය සඳහා කඩිනමින් ඉඩම් හඳුනා ගැනීම තවදුරටත් පහසුකිරීම පිණිස වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් 2020/12/02 දිනැති උපදෙස් පත්‍රිකාවක් ද නිකුත් කර තිබේ.

    එසේ වූවද, එක් එක් දේශගුණික කලාප අනුව දිස්ත්‍රික්ක හෝ ප්‍රාදේශීය මට්ටමේ ඇති පරිසර සංවේදී කලාප නිර්ණය කිරීම සඳහා සුදුසු නිර්ණායක හඳුනා ගැනීම සහ ඒවායේ භාවිතය පිළිබඳ මාර්ගෝපදේශ මෙහිදී අත්‍යවශ්‍ය වේ. එහෙයින්, එක් එක් දේශගුණික කලාපයට පොදු නිර්නායක කට්ටලයක් මේ සඳහා හැකි ඉක්මනින් පිළියෙල කිරීම වැදගත්ය.

    මේ සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව මුළු රටම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ ඉඩම් පරිහරණය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දත්ත සිතියම්ගත කර තිබීම විවිධ කාර්යයන් සඳහා ඉඩම් හඳුනා ගැනීමට බෙහෙවින් උපකාරී වනු ඇත.

    මීට අමතරව නියමු ව්‍යාපෘතියක් ලෙස එම දෙපාර්ත‍ෙම්න්තුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඒකාබද්ධව කලාඔය නිම්නයේ පාරිසරික සංවේදී කලාප ප්‍රථමයෙන් හඳුනාගෙන ඉන්පසු තිරසර සංවර්ධන සැලසුම් ඔස්සේ ආර්ථික හා සමාජයීය සංවර්ධන කටයුතු සඳහා ඉඩම් හඳුනා ගැනීමට පිළියෙල කර ඇති ආකෘතීන් සෙසු දේශගුණික කලාපයන්ට ද ගැළපෙන අයුරින් අනුවර්තනය කරගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකිය.

    තවද මෙයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ මූලිකත්වයෙන් ඉතාමත් සවිස්තරාත්මක පාරිසරික තක්සේරු ඇගයීමක් සඳහා ජෛව විවිධත්ව හා පාරිසරික සේවා නිර්ණායක ආශ්‍රයෙන් මාර්ගෝපදේශ සැකසීම සිදුකෙරෙමින් පවතී. දුම්බර වන රක්ෂිතයේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන තඹරව ගඟ ආශ්‍රිත උප ජල පෝෂක ප්‍රදේශයන් තුළ සිදුකෙරෙන මෙම නියමු ව්‍යාපෘතිය සඳහා පාරිසරික සේවා සහ ජෛව විවිධත්වය සම්බන්ධ විද්වත් මඬුල්ලක් මඟින් උපදෙස් ලබා දේ. පරිසර තක්සේරු ඇගයීමකදී පාරිසරික සේවා සඳහා නිර්ණායක හා මාර්ගෝපදේශ සැකසීම මෙහි එක් අරමුණකි.

    ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ ඒකාබද්ධව අදාළ අනෙකුත් දෙපාර්තමේන්තුවල සහභාගිත්වය ද ඇතිව ඉහත සඳහන් නියමු ව්‍යාපෘති ආශ්‍රයෙන් දැනටමත් ලබා ඇති සාර්ථක ප්‍රතිඵල අදාළ කර ගනිමින් එක් එක් දේශගුණික කලාපයට ගැළපෙන නිර්ණායක සහ මාර්ගෝපදේශ පිළියෙළ කිරීම මෙම රජයේ අවශේෂ කැලෑ ඉඩම් කළමනාකරණයේ මූලික පියවරක් ලෙස සිදුකිරීම වඩාත් යෝග්‍ය මෙන්ම පලදායි වනු ඇති බව අපගේ පිළිගැනීමය.

    මෙහිදී ප්‍රථමයෙන්ම එම අදාළ නිර්ණායක ආශ්‍රයෙන් අධි සංවේදී අර්ධ සංවේදී හා අඩු සංවේදී පාරිසරික ප්‍රදේශ වශයෙන් මෙම ඉඩම් වර්ගීකරණයක් සිදුකිරීමෙන් පසුව, වඩාත්ම සුදුසු හෝ සංරක්ෂණ හෝ සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීම මඟින් එය තිරසර සංවර්ධනය සඳහා ‍කෙරෙන අතිශයින්ම වැදගත් ආයෝජනයක් වනු නිසැකය. මෙහිදී වැදගත් වන්නේ ගංඟා, ඇළ, දොළ ආදියේ පෝෂක ප්‍රදේශ ද ඇතුළුව ඒවායේ නිම්න සඳහා වඩාත් උචිත භූමි පරිහරණ වැඩපිළිවෙළ යෝජනා කිරීමය. ඇතැම් අවස්ථාවලදී මෙවන් වර්ගීකරණයක් සඳහා ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික්ක මට්ටමෙන් ඔබ්බට එනම් පළාත් හෝ ගංගා නිම්න මට්ටමට යෑමට සිදු විය හැකි වැව් කලාඔය නිම්න ව්‍යාපෘතියේදී පැහැදිලි වී තිබේ.

    ඉහත සඳහන් පරිදි මනා විනිවිද භාවයකින් යුක්තව මෙන්ම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව මෙම අවශේෂ කැලෑ ඉඩම් කළමනාකරණය සඳහා යොමු වුව හොත් දැනට සමාජ මාධ්‍ය ඇතුළු අනෙකුත් මාධ්‍ය තුළින් එල්ල වන විවේචන හා ඒ හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි පාරිසරික, ආර්ථික, සමාජයීය මෙන්ම දේශපාලන බලපෑම් ද අවම කරගත හැකි බව අපගේ අදහසය.

    පාරිසරිකව අඩු සංවේදීතාවකින් යුතු රජයේ අවශේෂ කැලෑ ඉඩම් මෙලෙසින් හඳුනාගත් පසු රජයේ ප්‍රධානතම අරමුණ වන්නේ දැනට අධික වියදමක් දරා මෙරටට ආනයනය කරන භෝග වර්ග 16 ක් ඒවා සඳහා වඩාත් සුදුසු දේශගුණික කලාප තුළ වගා කිරීම සඳහා ගොවීන් යොමු කිරීම බව දැන ගැනීමට ඇත.

    වාරි සෞභාග්‍යා

    වැඩසටහන

    ශ්‍රී ලංකාවට ආවේණික පුරාණ වාරි තාක්ෂණයක් සහිත කෘෂිකාර්මික ක්‍රියාදාමයන් නැවත පුනරුත්ථාපනය කිරීමේ අභිලාෂයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය ‍මඟින් යෝජිත “වාරි සෞභාග්‍යා” වැඩසටහන අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන තිරසර සංවර්ධනයක් කරා යන ගමනේ වැදගත් මංපෙතක් කරා අවතීර්ණ වූ බවක් පෙනෙන්නට තිබේ.

    මෙම වැඩසටහන මඟින් දිවයින පුරා ග්‍රාමීය වැව් අමුණු හා කෘෂි ඇළ පද්ධති පන්දහසක් පමණ ප්‍රශස්ත අයුරින් පිළිසකර කිරීමත් සියලුම නිර්මිත පාරිසරික වටිනාකම් ද රැකෙන අයුරින් හා දැඩි මෝසම් වර්ෂාපතනයන්ට මෙන්ම අනපේක්ෂිත ගංවතුර උවදුරුවලට ඔරොත්තු දිය හැකි ඉහළම තාක්ෂණික ප්‍රමිතියකින් යුක්තව ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂිතය.

    ආනයන සීමාකොට අප රට තුළ නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමුඛතාව අනුව තෝරාගත් භෝග වර්ග 16ක් වගා කිරීම සඳහා ඉඩම් තෝරා ගැනීමේදී වාරිමාර්ග අමාත්‍යාංශයේ “වාරි සෞභාග්‍යා” ව්‍යාපෘතිය සඳහා තෝරාගත් එල්ලංගා පද්ධති 5000 සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාකිරීම කාලීනව වඩාත් යෝග්‍ය බැව් අ‍පගේ හැඟීමය.

    එල්ලංගා පද්ධති තුළ මෙම භෝග වර්ග 16 ඇතුළුව අනෙකුත් ඖෂධීය ශාක හා තෝරාගන්නා ලද ශාක ද සමඟ රුක් රෝපණ අවශ්‍යතා සපුරා ගැනීමේදී සම්ප්‍රදායික දේශීය දැනුම සහ නවීන තාක්ෂණයේ සංකලනයකින් නිර්මාණශීලීව ස්ථාපනය කිරීම යුගයේ අවශ්‍යතාවක් ලෙස සැලකිය හැකිය.

    රජයේ කැලෑ ඉඩම් කළමනාකරණයේදී හැකි සෑම අවස්ථාවකදීම මෙම “වාරි සෞභාග්‍යා” වැඩසටහන වැනි අප රටේ පරිසරයට සහ කුඩා ගෙවතු ආර්ථිකයට ගැළපෙන ව්‍යාපෘති සමඟ මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මහඟු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

    “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 38 වැනි පිටුවේ සඳහන් පරිදි කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයෙන් වැඩි ගුණාත්මකභාවයකින් යුතු ඉහළ අස්වැන්නක් ලබාගැනීමට හැකි සංවර්ධන කෘෂි ආර්ථිකයක් ගොඩනැගීමේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ අභිලාෂය මුදුන්පත් කරගැනීමේ හැකියාව ඇත.

    රජයේ අවශේෂ කැලෑ ඉඩම් පරිසර හිතකාමී ලෙස ආර්ථික ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීමේ අරමුණ ද මෙයට බොහෝ දුරට සමාන බැව් අපගේ පිළිගැනීමය.

     

    ධම්මික සෙනෙවිරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here