ආස්මි ගමේ නීරස කතා

    0
    19

    ඈත අතීතයේදී මායාදුන්නේ රජතුමා සැඟවී සිටි බැව් පැවසෙන ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ ‘මාලිගාකන්ද’ පාමුල පිහිටි සොඳුරු වූ මිහිරි කුරුළු කූජනයෙන් ද, කන්දෙන් පහළට තැනින් තැනින් රූටා හැලෙන ඉතා කුඩා දොළ පහරවලින් ද සමන්විත වූ සිසිලස මුසු ගම්මාන යුගලයකි ගණේගොඩ-අමුපිටිය. මෙම ගම් දෙක වර්තමානයේ හැඳින්වෙනුයේ ‘ආස්මී ගම්මානය’ යන නමිනි.

    මෙහි කාන්තාවෝ පනහකට පමණ ආසන්න පිරිසක් තම තමන්ගේ පවුල්වල ආදායම් තත්ත්වය වැඩි දියුණු කැර ගැනීම සඳහා දෛනිකවම ආස්මී නිෂ්පාදනයෙහි යෙදී සිටිති. මොවුන් අතරින් ඇතැම් මැදි විය ද ඉක්ම වූ කතුන් වසර 15 සිට 30 තරම් වු දීර්ඝ කාලයක් තිස්සේ ආස්මී සෑදීමෙහි යෙදී සිටින්නීය. එදිනෙදා සෑම කර්තව්‍යයකදීම පාහේ තරගකාරීත්වය පැහැදිලිවම දක්නට ලැබෙන වත්මන් සමාජයේ ගණේගොඩ-අමුපිටිය ළඳුන් අතර පවතින සහයෝගය සහ සමඟිය ඉහළ මට්ටමක පවතී.

    ඉල්ලුමට සරිලන තරම් නිෂ්පාදනයක් නොමැති අවස්ථාවන්හි දී එම ඉල්ලීම් සපුරාලීම සඳහා කවුරුත් එකට එකතු වී සමඟිව, සාමූහිකව ක්‍රියා කිරීම මෙම ගැමි ළඳුන්ගේ මාහැඟි ගුණාංගයක් බව ද සඳහන් කළ යුතුය.

    ඇහැළියගොඩ නගරයේ සිට කිලෝමීටරයක් පමණ අවිස්සාවේල්ල දිසාවට ගමන් කළ විට හමුවන මෝරාගල නගරයෙන් වමට හැරී ‘සන්ඩර්ලෑන්ඩ්’ වත්ත හරහා ද, තොරණකඩ ‘ගලකොණ’ මාර්ගය ඔස්සේ සහ මින්නාන-ඉද්දමල්ගොඩ මාර්ගය ඔස්සේ ද මෙම ආස්මී ගම්මාන කරා වාහනයකින් වුව ද ළඟා විය හැකිය. දුර ප්‍රමාණය කිලෝමීටර දෙක තුනකි.

    අමුපිටිය ගමේ ආස්මී නිපදවීමෙහි නිරතව සිටින වඩාත්ම පළපුරුදු, වයසින් වැඩිම මාතාව යූ. මේරිනෝනාය. ඇය දශක තුනකට ආසන්න තරම් දීර්ඝ කාලයක් තිස්සේ මෙම කර්තව්‍යයෙහි යෙදී සිටින්නීය. ආස්මී නිපදවීමට අත්‍යවශ්‍යම ‘දවුල් කුරුඳු’ හිඟය මෙන්ම දර හිඟය ද කාලයක සිටම පවතින බවත්, තම නිෂ්පාදන වඩාත් පහසුවෙන් අලෙවි කර ගැනීමට ස්ථිර වෙළෙඳපොළක් නොමැතිකම දැනට මේ කතුන් මුහුණ දෙන ගැටලු බවත් ඇය කියා සිටියාය.

    “අපට තියන ලොකුම ප්‍රශ්නය තමයි දවුල් කුරුඳු හිඟය. ගමේ තියන ලොකු ගස් දෙක තුනේ කොළ අපි සහයෝගයෙන් තමයි බෙදා හදා ගන්නෙ. සමහර පිරිමි අය ඈත ගම්වලට ගිහින් දවුල් කුරුඳු ගෙනැවිත් දෙනවා. සමහරු ලොකු වෙහෙසක් ගන්නවා ගහක් දෙකක් වවා ගන්න. දවුල් කුරුඳු වෙනුවට ගොඩපර යුෂත්, බණ්ඩක්කා යුෂත් පාවිචිචි කළ හැකියි. එහෙත් අර තරම් ආටෝප නැහැ.“ යැයි මේරිනෝනා මාතාව විස්තර කළාය.

    ඇය වැඩිදුරටත් කීවේ ආස්මී නිපදවීමට අවැසි හාල් පිටි පැකට් රැගත් වෑන් රථයක් ද මේ ගමට වරින් වර එන යන බවකි. තමන් රුපියල් 20 කට පමණ අලෙවි කරන ආස්මී එකක් වෙළෙඳපොළේ රුපියල් 30 කට 35කට පමණ අලෙවි කැරෙන බව ද ආස්මී ළඳුන් සමඟ කළ කතා බහේදී දැනගන්නට ලැබිණි.

    ‘කොරෝනා‘ වසංගතය නිසා මුළු රටම වසා තිබූ සමයේ මෙම ළඳුන්ගේ ආස්මි නිෂ්පාදන අලෙවි කර ගත නොහැකිව විශාල පාඩුවකට මුහුණ දීමට සිදු විණැයි එම ගම්මාන නියෝජනය කරන ඇහැළියගොඩ ප්‍රාදේශිය සභා මන්ත්‍රී කේ.කරුණාදාස මහතා ද පැවසීය. සාංඝික දානයකට, විවාහ මංගල්‍යයකට, මල්වර මංගල්‍යයකට මෙන්ම උත්සව කෑම මේසයට ද අමුතුම අලංකාරයක් එක් කරන ආස්මී සඳහා අද වෙසෙස් ඉල්ලුමක් පවතී. මේවා තැනෙන ගම්මානයෙන් නිරතුරු විහිදෙනුයේ දවුල් කුරුඳු සහ තෙල් සුවඳ මිශ්‍රිත අමුතුම සුවඳකි. ඒ සුවඳ ආස්මීවල ද නොඅඩුව රැඳී ඇති සෙයකි.

     

    නිමල් විජයතුංග

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here