ගෙවතු වගා­වට නැතු­වම බැරි කොම්පෝස්ට්

    0
    38

    මීට දශක හයකට හතකට පමණ ඉහතදී ‘රසායනික පොහොර’ හාවිතයක් තිබුණේම නැති තරම් ය. ඒ වෙනුවට සෑම ගෙවත්තකම, එළවළු කොරටුවකම හාවිතා වූයේ ‘කොම්පෝස්ට්’ පොහොර පමණි. එමෙන්ම සෑම ගම්බද පාසලකම සිසු සිසුවියනට ‘කොම්පෝස්ට්’ පොහොර නිපදවා ගන්නා ආකාරය පාසල් ගෙවත්තේදීම කියා දෙනු ලැබිණ. ඒ අනුව සෑම සිසුවෙක්ම-සිසුවියක්ම සතියකට වතාවක් පමණ උදේ පාසලට පැමිණෙන විට හබරල කොළ ගොට්ටක දවටා ගොම ටිකක් රැගෙන ආ යුතු විය.ඊට අමතරව ‘කැප්පෙට්ටියා’ කොළ, ලාඩප්පා කොළ වැනි කොළ වර්ගයක් සහ අළු ටිකක් ද රැගෙන ඒමට කෘෂිකර්ම ගුරු හවතා උපදෙස් දී තිබිණ.

    පාසල් වත්තේ පාත්ති සකසා එළවළු-පලතුරු වගා කරන ලද්දේ තරගකාරි ලෙසය. පාසල් වත්තේ ‘කොම්පෝස්ට්’ පොහොර වළක් මැනැවින් නඩත්තු කරන ලද නිසා පොහොරවලින් කිසිදු අඩුවක් නොවිණ. එදා එළවළු පලතුරු යනාදියට රෝග වැලඳුනේ ඉතා අඩුවෙනි. පලිබෝධ නාශක-දිලීර නාශක හාවිතා වූයේ ඉතාම අඩුවෙනි. ඒ අතර පැරණි කෙම් ක්‍රම ද හාවිතා විණ.

    වර්තමානයේ තත්ත්වය ඊට වඩා කෙතරම් වෙනස් ද? මෙරටට ‘රසායනික පොහොර’ හඳුන්වා දීමත් සමග එහි අතුරුඵලයක් ලෙස විස රසායන වර්ග සහිත එළවළු-පලතුරු වෙළෙඳපොළට ගලා එන්නට විය. ඇතැම් හඳුනාගත නොහැකි අන්දමේ සමේ රෝග යනාදිය ජනතාව අතර පැතිර යන්නට විය. එහි දරුණුම ප්‍රතිථලය වූයේ වකුගඩු රෝගයයි.

    එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු පිරිසක් යළිත් කාබනික පොහොර හාවිතයට නෑඹුරු වන්නට විය. බොහෝ ගම්බද ගෙවතු වගාවල යෙදී සිටින අය සමග අප කළ කතා බහේදී දැනගන්නට ලැබුණේ මුලදී ‘රසායනික පොහොර මුළාවේ’ වැටී සිටියදී ලද අත්දැකීම් අවාසිදායක බවය.

    කොම්පොස්ට් පොහොර හාවිතයෙන් අඩු මුදලකින් වැඩි ප්‍රයෝජනයක් ලද හැකි අතර, බෝගවලට වැළඳෙන රෝග අවම වීමත්, විස රසායනවලින් තොර නැවුම් එළවළු-පලතුරු ආහාරයට ගැනීමට ලැබීමත්,කාමි නාශක-පලිබෝධ නාශක සඳහා වැය වන මුදල බෙහෙවින්ම අවම වීමත් විශේෂිත වාසි සහගත තත්ත්වයන් බව ද ගෙවතු වගාකරුවෝ පැවසූහ. වත්මන් රජය මගින් ද කාබනික පොහොර භාවිතය කෙරෙහි ගොවි ජනතාව දැනුම්වත් කිරීම කෙරෙහි දක්වන අවධානය ඔවුහු අගය කළහ.

    ‘කාබනික පොහොර’ තම තමන්ගේ ගෙවතුවල නිපදවා ගැනීමේදී වගාකරුවෝ විවිධ ක්‍රම හාවිතා කරති. සුදුසු ප්‍රමාණයේ වළක් කපා එයට කොළ රොඩු, ගොම යනාදිය තට්ටුවෙන් තට්ටුවට යොදා වරින් වර උදැල්ලෙන් පෙරලීමෙන් ද, පොළොව මතුපිට අමු කොළ වර්ග, අමු ගොම, කොහු බත් යනාදිය තට්ටුවෙන් තට්ටුවට යොදා ආවරණය කර තබා තැම්බුණාට පසුව වරින් වර පෙරලීමෙන් ද බොහෝ දෙනකු කාබනික පොහොර නිපදවා ගනිති. ‘බැරල් ක්‍රමය’ සහ පොළොව මතුපිට ලී රවුමක් සිටුවා කොළ රොඩු-ගොම ආදිය පිරවීමෙන් ද පොහොර නිපදවීම කරනු ලැබේ.

    මේ වන විට දියර පොහොර භාවිතය ද සැලකිය යුතු මට්ටමක පවතී. නගරවල දෛනිකව එකතු වන කැළි කසළ තෝරා-බේරා යන්ත්‍රානුසාරයෙන් කාබනික පොහොර නිපදවීම ද ප්‍රාදේශිය සභ නගර සභා යනාදිය මඟින් ක්‍රමවත්ව සිදු කැරෙන බවක් ද පෙනේ.

    මුළුතැන්ගෙයින් ඉවත දැමෙන ලූනු පොතු, එළවළු පලතුරු ලෙලි යනාදිය, තේ රොඩු මෙන්ම බිත්තර කටු ද පොහොර වශයෙන් භාවිතා කළ හැකිය. ඒ වෙනුවෙන් ලොකු වෙහෙසක් දැරීමට ද සිදු නොවේ.

    මේ සඳහා වෙනත් ක්‍රම ද අනුගමනය කරන – යම් යම් අත්හදා බැලීම් කරන අය ද සිටිති.

    සටහන සහ සේයාරූ,

    නිමල් විජයතුංග,

    ඇහැලියගොඩ විශේෂ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here