තාක්ෂණය අවභාවිතය සහ සමාජ විරෝධි පිළිල

    0
    41

    “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟි” යනුවෙන් කුමාරතුංගයන් කළ ප්‍රකාශය වර්තමානය වනවිට සැබෑවක් වී ඇති බව අතීතයත් වර්තමානයත් ගෙන යුග සංසන්දනයක යෙදෙන විට මැනවින් ප්‍රකට වේ. මානව ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වන විට මානවයා සිටි ආකාරයත් වසර 2020 වන විට ලොව කොතරම් දියුණුව කරා ළඟා වී ඇතැයි සිතා බලන විටත් ලෝකය සංවර්ධනය අතින් ගෙන ඇති දියුණුව පිළිබඳව දැනෙනුයේ සැබැවින්ම ආඩම්බරයකි.

    මෙලෙස මිනිසා සංවර්ධනයේ හිනිපෙත්ත කරා ගමන් කිරීමට වෙහෙසෙද්දී වූ තීරණාත්මක අවධිය වූයේ ලොව ඇති වූ කාර්මික විප්ලවයයි. කාර්මික විප්ලවයෙන් ඇරඹි සංවර්ධනය කරා යන ගමන් මඟ අධ්‍යාපනය, දේශපාලනය, තාක්ෂණය, ආර්ථික හා සමාජයීය සෑම අංශයකම ප්‍රබල සමාජ පරිවර්තනයක් කිරීමට සමත් විය. මේ ලෙස ලොව සංවර්ධනය කරා යද්දී ශ්‍රී ලංකාව ද ළිං මැඩි මානසිකත්වයෙන් මිදී ආසියාවේ ආශ්චර්යය කරා පියමං කළ යුතුය. ඒ අනුව මීට දශක ගණනාවකට පෙර ලාංකික සමාජය තුළ සමාජයීය ආර්ථික හා දේශපාලන යන අංශ තුන තාක්ෂණය මඟින් ප්‍රබල වෙනසකට පරිවර්තනය විය. එහිදී තාක්ෂණයේ පල උපරිමයෙන් නෙළා ගැනීමට යාම හේතුවෙන් ලාංකික සමාජය තුළ මෙතෙක් නුදුටු, නො ඇසූ ගැටලු රැසක් කෙමෙන් කරළියට පිවිසෙන්නට විය.

    තාක්ෂණයෙන් ඉදිරියට යමින් සංවර්ධනය කරා යෑමේදී තාක්ෂණය යහපත් ලෙස භාවිතයේ වාසි මෙන්ම අවභාවිතයේ ගැටලු රැසක් ලාංකික සමාජය තුළ ඔඬු දුවන්නට වූයේ පිළිලයක් මෙනි. මෙකී පිළිලයට මූලිකවම ගොදුරු වූයේ රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පිරිස්ය. අන්තර්ජාලය, මුහුණු පොත, Youtube, tricker,tik tokසහ අනෙකුත් සමාජ වෙබ් අඩවි පිළිබඳව ඉතා ගැඹුරින් අවධානය යොමු කරන විට පෙනී යන්නේ විශේෂයෙන්ම මුහුණුපොත සහ සෙල්ෆි මේනියාව හේතුවෙන් වටිනා තරුණ ජිවිත රැසක් නිරපරාදේ වැනසී ගොස් ඇති බවය. “ආදරය” නමැති හැඟීමද තාක්ෂණික විප්ලවය හමුවේ යාන්ත්‍රීකරණය වී ඇති බව හැ‍ඟෙන්නේ වර්තමානය වන විට තරුණ තරුණියන් විශාල පිරිසක් මුහුණුපොතේ පෙම්වතුන් පෙම්වතියන් බවට පත්වී සිටීම හේතුවෙනි.

    කිසිදා නොදැක, නොදැන ආරම්භ වන බොළඳ ප්‍රේමය තුළ ඔවුන් සිහින මාළිගා ඉදිකර ගනී. අවසානයේ ඔවුනොවුන් අතර හුවමාරු වන ඡායාරූප, වීඩියෝ දර්ශන ඔවුන්ට යම් දිනක මාරක වළල්ලක් වන බව ඔවුන් ද නොදනී. වංචනික පුද්ගලයන්ට හසුව මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවී සියදිවි හානි කරගනිමින් තම දිවියෙන් සමුගන්නා තරුණ තරුණියන් විශාල පිරිසක් ලාංකික සමාජයෙන් සොයා ගත හැකිය. අසරණ තත්ත්වයට පත්වූ නමුත් තම දුක සමාජයෙන් සඟවා සිය දහස් වාරයක් සිතින් වැලපෙන තරුණ පිරිස් ලාංකික සමාජය තුළ කොතෙකුත් සිටිත්ද? සැබැවින්ම තත්ත්වය ඉතා සෝචනීයය. ෆේස්බුක් පෙමක් ඇති කරගෙන ඒ නිසා තම දිවි පරදුවට තැබීමට තරම් ලාංකික තරුණ පිරිස් මෝඩයන් වන්නේ මන්ද?

    සෙල්ෆි මේනියාව ද එවැනිම වූ ගැටලුවකි. මෑත කාලයේදී තරුණ පිරිස් අතර ප්‍රචලිත වූ “සෙල්ෆි” හේතුවෙන් තරුණ ජීවිත නැති වූ අවස්ථා නැතුවාම නොවේ. මහමඟ සෙල්ෆි ගැනීමට ගොස් මාර්ග අනතුරුවලට බිලි වූ තරුණ ජීවිත පිළිබඳව ඕනෑතරම් අසන්නට ලැබේ. එමෙන්ම වර්තමානය වන විට Tik Tok වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් ජනප්‍රිය වීමට උන්මත්තකයන්ලෙස හැසිරෙන ආකාරයද දැකගත හැකිය. වර්තමානයේ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය භාවිතා කරමින් සියලු දෙනාටම අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ ජනප්‍රිය වීමටය. නමුත් මෙම ක්‍රමවලින් ප්‍රසිද්ධ වීමට හැකි නමුත් ජනප්‍රිය වීමට නොහැකි බව ඔවුහු නොදනිති.

    මෑත කාලයේදී දක්නට ලැබෙන තවත් ප්‍රමුඛම ගැටලුවක් වන්නේ අන්තර්ජාලය භාවිතා කරමින් බොහෝ දෙනා අසභ්‍ය දර්ශන නැරඹීමට ඇබ්බැහි වී සිටීමයි. මේ නිසා සමාජය තුළ විකෘති කාමාශා සහිත පිරිසක් බිහිවී ඇත. විශේෂයෙන්ම ලොකු කුඩා වයස් භේදයකින් තොරව මේ වන විට අසභ්‍ය දර්ශන නැරඹීමට යොමු වී තිබේ. රටේ අනාගතයම ගමන් කරන්නේ අඳුරු වළාවක් දෙසට බව මෙමගින් ඉඟි සපයයි. පසුගිය අවුරුදු කිහිපය පුරා ලාංකික සමාජය තුළ වූ ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් ප්‍රමාණය කොතෙක්ද? ලිංගික අපචාරයන්ට ලක් වූයේ තරුණියන් පමණක් නොව කිසිවක් නොදන්නා කුඩා දරුවන් ද ඒ අතර විය. මෙලෙස ලාංකික සමාජයේ සිත් ඇති මිනිසුන්, හිත් පිත් නැති මිනිසුන් ලෙස හැසිරෙන්නේ ද අස්සක් මුල්ලක් නෑර සමාජ විරෝධී ක්‍රියාවන් පිළිල මෙන් වර්ධනය වීමට තාක්ෂණය අවභාවිතය ද මූල බීජයක් විය.

    මෙතෙක් රැකගෙන ආ අපටම අනන්‍ය වූ සදාචාර සම්පන්න සමාජය තුළ ඉහත සඳහන් කළ විෂම ක්‍රියා තාක්ෂණයේ අවභාවිතය හේතුවෙන් වර්ධනය වී ඇත්නම් අපගේ සභ්‍යත්වය පිළිබඳව තවදුරටත් සිතා බැලිය යුතු නොවේද?

    තාක්ෂණය භාවිතයේ යහපත් ප්‍රතිඵල නැතුවාම නොවේ. ලොව සෑම සංවර්ධිත රටක් ම තාක්ෂණයෙන් උපරිම පල භුක්ති විඳි තාක්ෂණය යහපත් ලෙස භාවිතා කිරීමෙන් සමස්ත සමාජයේ අභිවෘද්ධිය ගොඩනැගීමට හැකි වෙනවා සේම එය අවභාවිතය ද සමස්ත සමාජයම අඳුරට ඇද දැමීමට සමත් වේ. මේ නිසා තාක්ෂණය හදවතින් නොව මනසින් සිතා බලා බුද්ධිමත්ව භාවිත කළ යුතු වේ.

     

    ඩී. නවෝදා හර්ෂණී

    සන්නිවේදන අධ්‍යයන පීඨය

    ත්‍රිකුණාමල මණ්ඩපය

    නැගෙනහිර විශ්වවිද්‍යාලය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here