පරිස්සමින් විසඳා ගත යුතු ‘ආදාහන’ ගැටලුව

    0
    34

    මේ ප්‍රශ්නය සඳහා  විසඳුම් සෙවිය හැකි වන්නේ සාකච්ඡාවකින් පමණකි.  අත්තනෝමතික හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් පමණක් මේ ගැටලූව විසඳිය නොහැකි බව අපි සහෝදර මුස්ලිම් ප්‍රජාවට අවධාරණය  කරමු. මෙම ගැටලූවට  සාධනීය විසඳුමක් සොයා ගැනීම උදෙසා මධ්‍යස්ථ  මතධාරී මුස්ලිම්වරු ද  කැප විය යුතුය.

    මේ වන විට කොවිඩ් 19 වසංගතය නිසා මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු පැනයක් අප හමුවේ ඉතිරි වී ඇත. එක් එක් ජාතීන් වශයෙන් නොබෙදී ශ්‍රී ලාංකේය ජාතිය වශයෙන් පොදු දෘෂ්ටියක් මත පිහිටා මෙම ගැටලුව විසඳීම උදෙසා ප්‍රවේශ විය යුතුව ඇත. අප ආවේගශීලී වීම හෝ හැඟීම්බර වීම මඟින් ප්‍රශ්නයේ සැබෑ විසඳුම යටපත් වී යෑමට පිළිවන. එමෙන්ම කුමන හෝ දේශපාලන පක්ෂයක් මේ ප්‍රශ්නය මගින් දේශපාලන වාසි ලබා ගැනීමට යෑම යුක්ති සහගත නොවන බවට අවධාරණය කරනු කැමැත්තෙමි. මිනිස් වර්ගයාට අතිශය සංවේ දී මෙවැනි ප්‍රශ්න ස්වකීය වාසියට පෙරළා ගනිමින් යමෙකු පටු අවස්ථාවාදී චින්තනයෙන් කටයුතු කරන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි ය.

    මෙය මෙරට මුස්ලිම්වරුන්ට හෝ ඉස්ලාම් භක්තිකයන්ට පමණක් සීමා වූ ප්‍රශ්නයක් වශයෙන් සලකා ‘ප්‍රශ්නය ඔහේ විසඳෙන තෙක්’ බලා හිදීම ශිෂ්ටසම්පන්න සහ වගකීම් සහගත ජාතියක යුතුකම නොවන බව සිහිපත් කරනු කැමැත්තෙමි. එහෙයින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ආගම්වලට අයත් මධ්‍යස්ථ මතධාරී විද්වතුනගේ එකතුවෙන් ගොඩනැඟෙන සාකච්ඡ‍ාවක් ඔස්සේ පමණක් ‘කොරෝනා ආදාහන ගැටලුව’ විසඳා ගත යුතු බව අපගේ හැඟිමය. එබැවින් ආණ්ඩුව මෙම ප්‍රශ්නය විසදීමට කටයුතු කර ඇති මොහොතක රට තුළ ආණ්ඩු විරෝධයක් නිර්මාණය කිරීමට යෑම මෙරට ජීවත්වන නිහඬ බහුතර ජනයාගේ පිළිකුලට හේතුවකි. එමෙන්ම අතැම් පාර්ශ්ව මුස්ලිම් විරෝධී ජාතිවාදී ප්‍රවේශයක් මත පිහිටා මෙම ප්‍රශ්නය විග්‍රහ කිරීමට පෙලඹී ඇති බව පෙනේ. එමගින් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාව මුස්ලිම් විරෝධී හා ඉස්ලාම් විරෝධී ජාතියක් වශයෙන් ලෝක ප්‍රජාව හමුවේ ‘‘ලේබල් ’’ විය හැකිය. නමුත් එය ර්‍ශ්‍රී ලාංකිකයන්ට යහපත් දෙයක් නොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි. මේ ප්‍රශ්නයේ දී ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙන්ම සිංහල බෞද්ධයන් වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අපගේ ප්‍රතිරූපය විනාශ කරගත යුතු නොවේ.

     

    සංස්කෘතික අනන්‍යතා

    අප කිසිදු අයුරකින් මෙරට ජාතික සංහිදියාවට කොවිඞ් 19 රෝගය බාධාවක් කර නොගත යුතුය. මෙහි දී වෛද්‍ය නිර්දේශ මත පමණක් පිහිටා තීරණ ගැනීම උචිත නොවේ. මෙයින් කියැවෙන්නේ වෛද්‍ය නිර්දේශ නොසලකා හැරිය යුතුයැයි කියා නොවේ. මෙහි දී වෛද්‍ය නිර්දේශ මෙන්ම අප සමාජයේ ජීවත්වන විවිධ ජනයාට අනන්‍ය ආගමික සහ සංස්කෘතික අනන්‍යතා පිළිබඳව විමසිලිමත් වියයුතු ය.

    ලොව ජීවත්ව මිය යන ඕනෑම සත්ත්වයකුට ගෞරවාන්විත අවසානයක් අත්කර දීම ශිෂ්ට සම්පන්න සමාජයක ලක්‍ෂණයකි. එමෙන් ම ලෝකයේ ඒ ඒ ජාතීන්ට, ජනවර්ගවලට, ආගම්වලට අයත් ජනතාවට තමන්ගේ උපත, ජීවත්වීම හා මරණය සම්බන්ධ නොයෙක් විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම සම්ප්‍රදායන් පවතී. ඒවායේ තර්කානුකූල බවක් හෝ විද්‍යාත්මක පසුබිමක් තිබෙන්නට ද ඇතැම්විට නොතිබෙන්නට ද පිළිවන. එහෙයින් යමෙකු තමන්ට හෝ තම ආගමික සංස්කෘතියට අනුව පමණක් මෙම චාරිත්‍ර දෙස බැලීම යුක්ති සහගත නොවේ.

    වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් තුළ මුල් බැස ගෙන ඇති ආගමික විශ්වාසයන් හා අභිචාර විධි සැනෙකින් වෙනස් කර ගැනීමට මිනිසුන් සූදානම් නැත. ඒවා මිනිසුන්ගේ විශ්වාස පද්ධතියට ‘‘කිඳා බැස’’ තිබීම ඊට හේතුවයි. අප නොඅදහන අනෙකාගේ ආගම හා සම්බන්ධ විශ්වාස පද්ධතිය මිථ්‍යාවකැයි කීමට හෝ එය විවේචනය කිරීමට කිසිවකුට සදාචාරාත්මක අයිතියක් නොමැත. ජීවත් වී සිටින සියල්ලෝම තම මිය ගිය ඥාතියාට ගෞරවාන්විත අවසානයක් අපේක්‍ෂා කරති. එය අද වන විට ආගමික සංස්කෘතික අංගයක් බවට පත් වී ඇත. එසේම අද පුද්ගලයාගේ මරණය හා මරණයේ අවසන් කටයුතු ලොව වෙසෙන සියලූ ජාතීන්ට අයිති පොදු සංස්කෘතික අංගයකි.

    එහෙයින් පටු ආගමික දෘෂ්ටිවාද මත පමණක් පදනම්ව අනෙකාගේ සංස්කෘතික අයිතීන් දෙස නොබැලිය යුතු ය. මනුෂ්‍යත්වයේ සනාතන ධර්මතා මත පමණක් පිහිටා මිනිසුන්ගේ අවශ්‍යතා දෙස බැලීම ප්‍රබුද්ධ මානව සමාජයක ලක්‍ෂණයකි. එහෙයින් අප ‘මුස්ලිම් ආදාහන ප්‍රශ්නය’ වටහා ගත යුත්තේ මනුෂ්‍යත්වයේ මූලික ධර්මතා සහ අයිතීන් ගැන පමණක් සැලකිලිමත් වෙමිනි.

    එහෙයින් කොවිඞ් 19 රෝගය ව්‍යාප්ත වීමට අනුබල නොදෙන ලෙස මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමදාන කිරීමට උචිත ක්‍රමයක් සෙවීම මෙරට සියලූ වගකිව යුතු පාර්ශ්වයන්ගේ යුතුකමකි.

    මෙරට වෙසෙන සිංහල බෞද්ධ ප්‍රජාව වසර දහස් ගණනක තිස්සේ බෞද්ධ දාර්ශනික ඉගැන්වීම්වලින් ද, බෞද්ධ සංස්කෘතියේ මාහැඟි දායාදයන්ගෙන් ද සිය අධ්‍යාත්මය පෝෂණය කරගත් පිරිසකි. සිංහල බෞද්ධයෝ සෑම විට ම අන්‍යෝන්‍ය සුහදත්වය ප්‍රිය කරති. අන්න්‍යෝන්‍ය සහයෝගය අගය කරති. යහපත් මානව සම්බන්ධතා පවත්වාගෙන යෑම අගය කරති. අනෙකාගේ දුක දැක සිය හද කම්පාවට පත් කර ගන්නා බෞද්ධයෝ දුකට පත් වූ තැනැත්තාට උදව් උපකාර කරති. ආදරය, කරුණාව දක්වති. සමාජ ජීවිතයේ දී අනෙකා වටහා ගැනීමේ හා ඔහුගේ අවශ්‍යතා තේරුම් ගැනීමේ සුවිශේෂී හැකියාවක් බෞද්ධයන් සතුව පවති.

     

    බෞද්ධ සංහිඳියාව

    එහෙයින් මෙරට වෙසෙන හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමිකයන්ට බෞද්ධ ජනතාව සමීපයේ ආරක්ෂාව ද, ආදරය ද නොඅඩුව ඇති බව අවධාරණය කරමු. අනත්වාදියකු නොවන සාමාන්‍ය බෞද්ධ ජනතාව සියලූ අන්‍ය ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට බැඳී සිටියි. ඒ අනුව ප්‍රගතිශීලී බෞද්ධ ජනතාව තුළ මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් යම් සාධනීය විසඳුම් තිබෙනු ඇත. ජාතිවාදී දේශපාලකයන්ගේ ග්‍රහණයට ඒවා හසු වීමට ඉඩ නොදිය යුතුය. එය මධ්‍යස්ථ මතධාරී විද්වතුන්ගේද සමාන්‍ය ජනතාවගේ ද වගකීමකි.

    අද නිසි පරිදි අප මේ ප්‍රශ්නය කළමනාකරණය කර නොගැනීම තුළ අන්තවාදි දී මුස්ලිම් කණ්ඩායම් සිංහල, බෞද්ධ සමාජයට එරෙහිව තම ආධාරකරුවන් මෙහෙයවීමේ අවදානමක් පවතී. මෙම ප්‍රශ්නය දඩමීමා කර ගන්නා අන්තවාදී මුස්ලිම් ජාතිකයාට සිංහල බෞද්ධ සමාජයට එරෙහිව ඇතැම් අන්තවාදී මුස්ලිම් ජාතිකයන් මෙහෙයවීමට වුවද පිළිවන. එහෙයින් මෙම ආගමික ගැටලූව අන්තවාදීන් පෝෂණය කිරීමේ වේදිකාවක් බවට පත් වීමට ඉඩ නො දී ඉතා ඉක්මනින් විසඳාගත යුතුය.

    ඉපදීම, මරණයට පත්වීම, ආගම ඇදහීමට ඇති අයිතිය යනාදිය හා බද්ධ වු සමාජ, සංස්කෘතික සම්ප්‍රදායන් පුද්ගල ජීවිතයේ අතිශය සංවේදී සාධක වෙයි. එබැවින් ඕනෑම ජනවර්ගයකට අයත් ආගමික හා සංස්කෘතික අනන්‍යතා පිළිබඳ මෙන්ම අයිතීන් පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී වගකිව යුතු පාර්ශ්ව ඉතා පරිස්සම් සහගත විය යුතුය.

    ඒ පුද්ගලයන් මුහුණදෙන ආගමික සංස්කෘතික අයිතීන් පිළිබඳ ගැටලූ එක්තරා අවස්ථාවක දී ඔවුන් ඕනෑම ප්‍රචණ්ඩත්වයකට පත් කිරීමට සමත් වන බැවිනි. ආගමික අභිලාෂයන් තමන්ට හැකි අයුරින් ඉටු කරගැනීමට නොහැකි වූ තැන පුද්ගලයන් ආගමික අන්තවාදී ක්‍රියාකාරකම් වෙත යොමු වූ අවස්ථා පිළිබඳ මානව සමාජයේ උදාහරණ දක්නට ලැබේ. ඒ නිසා ඒ ඒ ජාතීන්ට අයත් ආගමික සංස්කෘතික සංවේදී කරුණු ඉතා සියුම් ලෙස අධ්‍යයනය කරමින් ස්ථිර සහ නිශ්චිත විසඳුම් වෙත යොමු වීම කාලෝචිත වූවකි. දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් තොරව විද්වතුන්ගේ දායකත්වයෙන් මෙවැනි ගැටලූ සඳහා විසඳුම් සෙවීමට යොමුවීම කාලීන අවශ්‍යතාවකි.

    සෑම ආගමකට ම අයත් මධ්‍යස්ථ මතධාරී පූජක ප්‍රසාදීන් වහන්සේලා සහ බුද්ධිමත් පුරවැසියන් එකට එක්ව වෛද්‍යවරුන්ගේ විශේෂඥ උපදෙස් ද සහිතව කොවිඩ් මරණ ආදාහනය හා භූමදානය පිළිබඳ ගැටලූව විසඳා ගත යුතුය. රජයේ මැති ඇමැතිවරුන් ප්‍රමුඛ සියලූ පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන් ‘තම තම නැණ පමණින්’ මේ ප්‍රශ්නය විසඳිමට යෑමෙන් වහාම ඉවත් විය යුතුය යන්න අපගේ අදහසය. විද්වතුන් විසින් යෝජනා කරනු ලබන සියලූ ජාතීන්ට එකඟ විය හැකි වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම පමණක් මෙහි දී රජය වෙත පැවරේ.

    රජයකට පමණක් තම ප්‍රජාව මුහුණ දෙන ජාතිවාදී ප්‍රශ්න විසඳිය නොහැකිය. මෙහිදී ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරීමේ වගකීම පැවරෙන්නේ ජනතාවට වීම විශේෂත්වයකි. මේ කාර්යයේ දී මේ රටේ ශාස්ත්‍රාලයීය උගතුන්ට විශාල වගකීමක් පැවරේ. රාජ්‍ය නිලධාරීන්ට ද එසේමය. මෙරට ප්‍රජාවේ අනාගතය ගැන සිතා ඊළඟ නිමේෂයේදීම අප සිටින තැනින්ම ජාතින් අතර සංහිදියාව ගොඩනැංවීමේ වැඩ පිළිවෙළ ආරම්භ කළ යුතුය. ඒ සඳහා කිසිවෙකු කල් මැරිය යුතු නැත.

     

    සියලු ජාතීන්ගේ වගකීම

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි ලියවිල්ලක ඇති වගන්තියකට මෙරට ජාතීන් අතර සංහිඳියාව හෝ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කළ නොහැකිය. මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ‘කටින් බතල කොළ සිටුවන’ ඇතැම් ජනතා නියෝජිතයන්ට ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් නොමැත.

    මේ ප්‍රශ්නය සඳහා විසඳුම් සෙවිය හැකිවන්නේ සාකච්ඡාවකින් පමණකි. අත්තනෝමතික හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් පමණක් මේ ගැටලූව විසඳිය නොහැකි බව අපි සහෝදර මුස්ලිම් ප්‍රජාවට අවධාරණය කරමු. මෙම ගැටලූවට සාධනීය විසඳුමක් සොයා ගැනීම උදෙසා මධ්‍යස්ථ මතධාරී මුස්ලිම්වරු ද කැපවිය යුතුය.

    කොවිඩ් 19 ලෝකයේ පවතින සියල්ල විනාශ කරමින් සිටියි. ආර්ථිකය, දේශපාලනය, සමාජ සම්බන්ධතා, උඩු යටිකුරු කරමින් සිටියි. එහෙත් මේ පොළොවේ දැනටමත් ඉතිරිව පවතින අංශු මාත්‍රයක් තරම් වන මනුෂ්‍යත්වයේ ජීවගුණය කොවිඩ් 19ට විනාශ කිරීමට ඉඩ නොදීමට වගබලා ගැනීම මෙරට වෙසෙන සියලු ජාතීන් සතු වගකීමකි.

    ලොව සියලූ ජාතීන්ට අයත් ජනතාව මනුෂ්‍යයන් ම පමණකැයිද මනුෂ්‍යයන්ට පොදු සියලු ධර්මතා ඒ ඒ ජාතීන්ට අයත් ජනයාට ද එකසේ වලංගු බවද වටහා ගත් දිනයක ආගම හෝ මරණය මූලික කරගත් අන්තවාදීන් නූපදිනු ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here