පස්පංගුවම ගුණ මුරුංගා

    0
    39

    මුරුංගා moringaceac කුලයට, අයත්වන අතර Moringa oleifera Lam යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වයි. ඖෂධීය ශාකයක් මෙන්ම ආහාරයක් වන මුරුංගා ඉන්දියාවෙන් ලංකාවට බෝවුණ බව පැවසේ. මුරුංගා ඉන්දියාව, පිලිපීනය, මියන්මාර් ආදී රටවල ද බහුලව වැවෙන ශාකයකි. ඕනෑම පරිසරයක පහසුවෙන් වගා කළ හැකි ශාකයක් වන නමුත් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සශ්‍රීකව වැවේ. විද්‍යානුකූලව සැලසුමක් සහිතව පොහොර, කෘමිනාශක යොදා කරන වගාවක් දක්නට නැතත් ගම්බද ප්‍රදේශවල සෑම නිවෙසකම වාගේ ගෙවත්තේ මුරුංගා ගසක් දෙකක් තිබීම සුලබ දසුනකි. එයට ප්‍රධාන හේතුව මුරුංගා එළවළුවක් මෙන්ම ඖෂධීය වශයෙන් වැදගත් ශාකයක් වීමයි. ශ්‍රී ලංකාවේ හේන් මුරුංගා, මස් මුරුංගා සහ වැට මුරුංගා යනුවෙන් ප්‍රභේද තුනකි. ළපටි මුරුංගා කරල් ව්‍යංජනයට ගනු ලබන අතර, මෝරන ලද කරල්වල මදය සූරා තෙම්පරාදු කර ආහාරයට ගනී. මුරුංගා කොළ රසවත් මැල්ලුමකි. ආහාර දිරවීමට ගුණාත්මක ඖෂධයක් ලෙස ද සැලකේ.

    මුරුංගා වගාවට කෘමිනාශක හෝ රසායනික පොහොර යොදන්නේ නැත. එමනිසා ශරීරයට කිසිසේත්ම අහිතකර නොවන පෝෂ්‍යදායි ආහාරයකි. මෙහි කරල්වල පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වේ. ශක්තිය, කාබෝහයිඩ්‍රේට්, තන්තු, මේදය, ප්‍රෝටීන් සහ ජලය මෙන්ම මුරුංගාවල ඇමයිනෝ අම්ල යනාදී සියල්ලම පාහේ අඩංගු වේ. එමෙන්ම මුරුංගා කොළවල විටමින් A,විටමින් c, කැල්සියම්, යකඩ, පොටෑසියම්, ප්‍රෝටීන් බහුලව අඩංගු වේ. මුරුංගාවල ඇති පෝෂ්‍ය පදාර්ථ නිසා නිතර මේවා ආහාරයට ගැනීමෙන් රෝග රාශියක් වළක්වා ගත හැක. සාමාන්‍ය ජනතාව මුරුංගා ආහාරයක් ලෙස සලකා කෑමට ගත්ත ද එහි ඇති ඖෂධීය ගුණය අති විශාලය.

    ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මුරුංගාවලට රෝග 300 ක් පමණ සුව කිරීමේ හැකියාවක් ඇති ඖෂධයක් බව සඳහන් වේ.

    කුඩා දරුවන්ට මුරුංගා කොළ කෑමට දීමෙන් යකඩ ඌණතාවය සහ මන්දපෝෂණය වළක්වා ගත හැකිය. එමෙන්ම කැල්සියම් බහුල නිසා අස්ථි වර්ධනයට ද උදව් වේ. ගැබිනි මවුවරුන්ගේ ද මන්දපෝෂණය වළක්වා ගත හැකි අතර, යකඩ සහ කැල්සියම් ඌණතාවයට ද පිළියමකි. එමෙන්ම මුරුංගා ආහාරයට ගැනීම නිසා කුසේ සිටින දරුවා ද හොඳින් වැඩෙන අතර මේ නිසා නිරෝගි දරු උපතක් සිදු කර ගැනීමට ගර්භණී මවුවරුන්ට හැකි බව ආයුර්වේද වෛද්‍ය මතය වේ. මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් මවුකිරි ශ්‍රාවය වර්ධනය කිරීමේ හැකියාව ද ඇත.

    මුරුංගා පොතු වියළා කොටා පිටි කර දිනපතා ව්‍යංජනයට එකතු කිරීම පවුලේ සියලු දෙනාටම ගුණදායකය. පණු රෝග, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග, කැස්ස, ඇදුම, ආදී රෝගවලට සාර්ථක ප්‍රතිකාරයකි. අජීර්ණය ඇති වූ විට පිළියෙළ කරන තැම්බුම් හොද්දට මුරුංගා පොත්තක් එකතු කරන්නේ එහි ඇති ඖෂධීය ගුණය ගැමි කාන්තාව දන්නා හෙයිනි. මුරුංගාවල විස නැසීමේ ගුණයක් ඇති බව අත්දැකීමෙන් දන්නා ශ්‍රී ලාංකිකයෝ ඉස්සෝ, දැල්ලෝ පිසින විට මුරුංගා කොළ එකතු කිරීමට පුරුදු වී සිටිති. දෙබර, බඹර සහ ගෝනුසු විසට අත් බේතක් ලෙසට මුරුංගා පොතු ගලගා ආලේප කිරීම අත් දුටු ඖෂධයකි. මුරුංගා පොතු සහ කොළ සෘජුවම ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනවා සේම කරල් සහ කොළ දිගු කලක් ආහාරයට ගැනීම නිසා බෝ නොවන රෝග වලින් වැළකීමේ හැකියාව ඇත. මුරුංගාවල පිළිකා සෛල නසන ගුණයක් ඇති නිසා පිළිකා ඇතිවීම වැළැක්වීමට හැකියාව ඇත.

    මුරුංගා ආහාරයට ගැනීමෙන් අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීම නිසා දියවැඩියාව ද පාලනය කරයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන අයඩින් ඌනතාවය ද මුරුංගා ආහාරයට ගැනීමෙන් වළක්වා ගත හැක.

    මුරුංගා කොළවල විටමින් A බහුලව ඇති නිසා සම, කෙස් මෙන්ම ඇස්වල නිරෝගිභාවය ආරක්ෂා කරයි. විශේෂයෙන් වියපත් වන විට සම රැළි වැටීම වළක්වන අතර, තරුණ පෙනුමක් ලැබීමට ඉවහල් වේ. මුරුංගා කොළවල කැල්සියම් බහුල නිසා අස්ථි ශක්තිමත් කරයි. කොළවල යකඩ ප්‍රමාණය ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කරයි. වකුගඩු හා මුත්‍රා ආසාදන වළක්වන අතර, අම්ලපිත්ත රෝගය (ගැස්ට්‍රයිටිස් ) උග්‍ර වීමෙන් ආමාශයේ ඇති වන තුවාල ද සුව වීමට මුරුංගා ඖෂධීය ආහාරයකි. මුරුංගාවල ඇති ඖෂධීය වටිනාකම හේතුවෙන් නවීන තාක්ෂණය භාවිතා කරමින් මුරුංගා පෙති, කරල් (capsule) සහ මුරුංගා තේ ද නිෂ්පාදනය කර ඇත.

    ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ ද අද මුරුංගා පෙති, කරල් මිල දී ගත හැකිය. එහෙත් මුරුංගා සුලබව ඇති ශ්‍රී ලංකාවේ ආහාරයක් ලෙස පහසුවෙන් ලබා ගැනීමට හැකිව තිබියදී පෙති, කරල් ලෙස පාවිච්චි කිරීම කෙතරම් යෝග්‍ය දැයි සිතා බැලිය යුතු කරුණකි.

     

    කෝනාර එම්. ගුණපාල

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here