පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකානුවෝ ජය ගනිති

0
39

මංගල ටෙස්ට් තරගයේදී වනිඳුගෙන් අර්ධ ශතකයක්

 සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගත්, අත්දැකීම් බහුල පිතිකරු කුසල් ජනිත් පෙරේරාත් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් හමුවේ දැක්වූ සාර්ථකත්වය පෙන්නුම් කිරීමට සෙසු පිතිකරුවන් සමත්වීම නිසා ඊයේ සෙන්චූරියන්හි නිමාවට පත් වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 45ක පරාජයක් අත්විඳ ගැනීමට ඊයේ ශ්‍රී ලංකා පිලට සිදු විය. ශ්‍රී ලංකා ඉනිම ඊයේ දිවා ආහාරයෙන් මොහොතකට පසු ලකුණු 180කින් නිමාවට පත් වූයේ දින එකහමාරක්ම ඉතිරිව තිබියදීය. පළමු ඉනිමේදී ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වා පිතිකරණයට නොපැමිණි අතර, කඩුලු 9ක් බිඳ වැටීමෙන් පසු මේ දරුණු පරාජයට ශ්‍රී ලංකා පිල ගොදුරු විය. මේ ජයග්‍රහණයත් සමග තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0 කින් පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් වූ අතර, දකුණු අප්‍රිකානු භූමියේදී පළමු ඉනිම සඳහා විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කර තිබියදීත් ඉනිමක පරාජයක් අත්විඳීමට සිදුවූ පළමු සංචාරක කණ්ඩායම වීමේ අවාසනාවන්ත වාර්තාවත් කරපින්නා ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදු විය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන මොහොතේදී ශ්‍රී ලංකා පිලේ ඉරණම විසඳෙමින් තිබූ අතර, ඒ වන විට ලකුණු 148කට කඩුලු 7ක්ම බිඳ වැටී තිබිණි. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි කෝඩුකාර පිතිකරු වනිඳු දිවා ආහාරයෙන් පසුව පීඩනය දුරුකරගත්තේ කේෂව් මහාරාජ්ට පිට පිට හතරේ පහර 3ක්ම එල්ල කරමිනි.

සිය මංගල ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමේ සතුට සෙන්චූරියන් පිටියේ බොඳවී ගියත් මේ දස්කම් සපිරි ක්‍රීඩකයා අනාගතයේදී ශ්‍රී ලංකා පිලේ විශිෂ්ටයකු බවට පත්වීමේ පෙරනිමිති පහළ කිරීම කැපී පෙනුණි.

වනිඳු ඊයේ ලකුණු 59ක් රැස් කළේ පන්දු 53කිනි. දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් හමුවේ කිසිදු චකිතයකින් තොරව මුහුණ දුන් හෙතෙම හතරේ පහර 12ක් සහ හයේ පහරකින් සිය ඉනිම වර්ණවත් කළේය.

වනිඳුට අමතරව පිතිහරඹයෙන් සාර්ථකත්වයක් පෙන්නුම් කළ අනෙක් පිතිකරු වූයේ කුසල් ජනිත් පෙරේරාය. ඔහු ලකුණු 64ක් රැස් කළේ පන්දු 87කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් විය.

තරගයේ තුන්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 2කට ලකුණු 65ක් ලබා සිටි අතර, ඊයේ උදෑසන කුසල් ජනිත් සහ දිනේෂ් චන්දිමාල් කල්පනාකාරීව ක්‍රීඩා කරමින් තුන්වැනි කඩුල්ලට ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ. එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 85දී වියාන් මල්ඩර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් චන්දිමාල් ලකුණු 25කට දැවීයෑමත් සමග දකුණු අප්‍රිකානුවෝ තරගයේ පාලනය සියතට ගත්හ.

ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 14ක් එක්වෙද්දී මල්ඩර්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල දැවී ගියේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් ජනිත් දැවී ගියේ ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 114ක්ව තිබියදීය.

තරගයේ වීරයා සම්මානය හිමි වූයේ දකුණු අප්‍රිකානු ඉනිම ගොඩ නගමින් ලකුණු 199ක් රැස් කළ ෆෆ් ඩු ප්ලෙසිටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here