මන බන්දන සේර ඇල්ල

    0
    9
    මධ්‍යම පළාත

     

    මාතලේ දිස්ත්‍රික්කය

     

    දුම්බර මිටියාවතේ ලස්සන හොයාගෙන පැමිණි ගමනේදී පුංචි ලෝකාන්තයේ මීදුම් සළුවල දැවටි වරුවක්ම ගෙවා දැමූ අපේ ගමනේ ඊළඟ අරමුණ වුණේ සේර ඇල්ලයි. දුම්බරේ සංචාරයට ආපු කෙනෙක් මාතලේ රත්තොට පාරේ රිවර්ස්ටන් සිට පිටවල පතන ඉලුක්කුඹුර ඔය පොත්තරමලේ ගම්මානය පසු කර යන විට සේර ඇල්ලේ රූප ශෝභාව නොදැක පිට පාරෙන් යනවා නම් ඒක හරිම අඩුවක්. හීන් වැහි පොද යටින් කඳු පල්ලම් බහිමින් වංගුවලින් හැරි හැරී යන ගමනට කෝපි කෝප්පයක් උණුහුම දුන්නා. අවට ශ්‍රියාවයි උණු කෝපියි එක්ක රිවර්ස්ටන් ඉඳලා කිලෝමීටර් 19ක පමණ දුරක් ගෙවූ අපි දැන් ඉන්නේ සේර ඇල්ලට යන හන්දියේයි. හිත හිරි වට්ටන හීතල එක්ක කැමරා ආම්පන්න අරගෙන සේර ඇල්ල හන්දියෙන් වම් පැත්තේ තියෙන පොත්තටවෙල ගමට යන පාරේ තවත් මීටර් 500ක පමණ පා ගමනක්.

    අපිළිවෙළට ඇති ගල් පඩි මත සීරුවට පය තබන අතරේ මගේ ගමන් සගයා පවසන්නේ අපි ඉන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය සභා පාලන ප්‍රදේශයේ බවයි. පරිසර අසිරිය වගේම දැනුම්වත් කිරීමත් හරිම වැදගත්. මේ කතා අතරේ අපි සේර ඇල්ල පාමුලටම ආවා. හැබෑවටම ඇය නොදුටු ඇස් කුමකටද? මේ ළමිස්සියගේ කොමළ අනගි රූ සිරි අතරේ ඇස් දෙකට හිතේ හැටියට අතරමං වෙන්න ඉඩ හැර ගෙවූ කාලය කොතරම් දැයි නිනව්වක් වුණේ නැහැ. මෙවැනි අපූරු පරිසරයක ගල් තලාවකට බර දීලා කිසිම දෙයක් කතා නොකර ඉන්න හැකි කාලය විමසුව හොත් කාටවත් හරි උත්තරයක් දෙන්න අමාරු වේවි.

    ලංකාවේ ඇති පළල්ම දිය ඇලිවලින් එකක් ලෙස සැලකෙන සේර ඇල්ලට නම වැටුණෙ කොහොමද, සේර ඇල්ල උපදින්නේ කොතනින්ද, යන කාරණා ගැන නොදැන සුන්දරත්වයෙන් පමණක් මන්මත් වී කුමට ද? ඒ නිසා අප ඇය ගැන තව තවත් විමසිලිමත් වුණා. සේර ඇට මිටක් අත්ලට ගෙන අත්ල දිග හැර සුළැඟිල්ල ඇති පැත්තෙන් අත ඇල කළ විට සීරුවට සේර ඇට ටික වැටෙන රිද්මයට ඇල්ල කඩා හැලෙන නිසා මේ නම වැටී තිබෙන බව කියවෙන නමුත් ඇල්ල අවට ගැවසුණ සේර නම් පක්ෂියකු නිසා මේ නම ඇල්ලට වැටුණ බවටත් තවත් මතයක් තිබෙනවා.

    දුම්බර මිටියාවතෙන් පටන් ගන්න ජල දහරාව දියුතු ඔය, කිතුල් ඇල්ල, කුණුමඬල ඔයෙන් පෝෂණය වෙමින් ගලා විත් මානිගල කන්ද කෙළවරින් කඩා හැලෙමිනුයි සේර ඇල්ල ඉපදෙන්නේ. අවුරුද්දෙහි වැඩි කාලයක් ඒකාකාරී ජල දහරාවන් ගලා හැලෙන සේර කොමළිය කඳුකරයට මහ වැහි ඇද වැටෙන කාලෙට මේ විදිහට නිසංසල නැහැ. ඒ විතරක් නෙවෙයි හිටි ගමන් ඇල්ලේ දිය වැඩි වන නිසා ඇල්ල නරඹන්නට යන අය ඒ ගැන දැනුම්වත්ව සිටීම හරිම වැදගත්.

    ඇල්ල පිටුපස කළු ගලින් දෙපැත්තකින් හා එක පැත්තකින් ඇල්ලේ දිය කඳෙන් වට වුණ ගල් ගෙය ඇතුළට ගිහින් ඇල්ලෙහි සිරි නරඹන්න ඇල්ල බලන්නට එන අයට හැකියාව තියෙනවා. වතුර අඩු කාලයට ඇල්ල කඩා හැලෙන ගල මුඳුනට ගිහිනුත් ඇල්ල නරඹන්න පුළුවන්. ඒත් මේ ගමනේදී අපට නම් ඒ අත්දැකීම විඳින්න හැකි වූණේ නැහැ. මොකද මේ කඳුකරයට මෝසම් වැහි වැටෙන කාලය නිසා ඇල්ලේ වතුර පාර සැරයි.

    සේර ඇල්ලේ සුන්දරත්වය ගැන වගේම ඇල්ල අවට හැසිරීමේදී කොතරම් සුපරීක්ෂාකාරී විය යුතු ද කියන කාරණය ගැන සේර ඇල්ල නරඹන්න එන ඔබ හිතා බැලිය යුතුමයි. අපරීක්ෂාකාරී සිදුවීම් නිසා ඇල්ල පාමුල සිදුවූ අනතුරු ගැන පුවත් බොහොමයක්ම ඇල්ල සමඟ ඇති පුරාවතෙහි සටහන්ව තිබෙනවා. ඇල්ල කඩා හැලෙන ස්ථානය ගැඹුරු නිසා ඒ පැත්තෙන් දියට බහින්න නොගියට ඇල්ල පාමුල ආරක්ෂිතව දිය නාගන්නත් පුළුවන්. මේ සටහන කියවලා ඔබට සේර ඇල්ල බලන්න යන්න හිතනවා නම් ඔබට අපි මෙහෙම කියනවා. ඇල්ලේ ලස්සන විඳලා හිතේ හැටියට නාගෙන ආස්වාදනීය මතකය අරගෙන පරිස්සමට ආපහු එන්න.

    සටහන-ධම්මිකා සුරංජි පතිරණ

    ජායාරූප-ආසිරි උපේන්ද්‍ර ඩයස්

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here