මේ වැනිලා රස සමයයි

    0
    41

    අස්වනු දර්ශක

    (Harvesting indices)

     

    වැනිලා මල් පරාගණය කොට මාස 8 කින් අස්වනු නෙළා ගත යුතුය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මල් පිපීම් වාර දෙකක් දක්නට ලැබෙන බැවින් අස්වනු වාර දෙකක් දැක ගත හැකිය. එනම් වැනිලා මල් පිපී පරාගණය කළේ අප්‍රේල් සිට මැයි දක්වා කාලයේදී නම් නොවැම්බර් මස අවසානයේ සිට ජනවාරි දක්වාත්, මල් පිපී පරාගණය කළේ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා කාලයේදී නම් මැයි මස අවසානයේ සිට ජූලි මස දක්වාත් අස්වනු නෙළිය යුතුය. අස්වනු නෙළන අවස්ථාවේදී වැනිලා කරල් තද කොළ පැහැයේ සිට ළා කොළ පැහැයට හැරෙන අතර මේරු කරල්වල අග කෙළවරින් සෙන්ටිමීටර් එකක් පමණ ළා කහ පැහැයට හැරී තිබිය යුතුය.

    අස්වනු නෙළන ආකාරය

    වැනිලා කරල් උපරිම මේරීමට පත් වීමට පෙර අස්වැන්න නෙළනු ලබයි. ප්‍රමාණයට වඩා කරල් මෝරා ඇති විට කරල් අගිස්ස පැළීම සිදු වේ. එවිට අවසන් නිෂ්පාදනය වන සැකසූ කරල්වල ගුණාත්මය අඩු වීම නිසා වෙළෙඳපොළ වටිනාකම අඩු වී යයි. අස්වනු නෙළීමේදී සෙකෙටේරියක් හෝ කතුරක් භාවිතයෙන් කරල් පොකුරම එකවර නෙළා ගත යුතුය.

     

    නටුවෙන් කරල් වෙන් කිරීම

    කරල නටුවට සවි වී ඇති ස්ථානයෙන් කරලේ මුල් කෙළවරට හානියක් නොවන ආකාරයට නටුවේ කොටසක් සමඟ කරල් වෙන් කර ගත යුතුය. කරලේ මුල ඇති මුද්‍රා වන ස්ථානයට හානි සිදු වුව හොත් එම ස්ථානයෙන් පුස් සහ දිලීර ඇතුළු වී කරලේ ගුණාත්මය අඩු විය හැකිය.

    නොමේරු කරල් නෙළීම

    (Immature berries harvesting)

     

    තද ගතියකින් යුක්ත තද කොළ පාට නොමේරු කරල් අස්වැන්න ලෙස කිසි විටෙකත් නෙළා නොගත යුතුය. එවැනි කරල් නෙළීම නිසා අස්වැන්නේ ගුණාත්මය ද අඩු වන අතර වැනිලා ප්‍රමාණය ද අඩුය. එම කරල්වල තෙතමනය වැඩි නිසා අස්වැන්න සැකසීමේදී පුස් ඇති වීම බහුල වෙයි.

     

    අමු කරල් වර්ග කිරීම

    (Grading fresh beans)

    නටුවෙන් වෙන් කළ අමු කරල්වල නොමේරු කරල්, පමණට වඩා මේරු අගිස්ස පැළුණු කරල්, වක ගැසුණු කරල් හා කුණු වූ කරල් තෝරා වෙන් කළ යුතුය. පැළුණු, කුණු වූ ඒවා ගුණාත්මක අස්වැන්න සමඟ සකස් නොකළ යුතුය..

    ඉන්පසු සියලුම අමු කරල් දිග අනුව වර්ග කළ යුතුය. එහිදී අඟල් 8ට වඩා දිග කරල්, අඟල් 8ත් 4ත් අතර කරල්, අඟල් 4ට වඩා දිග අඩු කරල් ලෙස වර්ග කළ යුතුය.

     

    (ප්‍රාථමික සැකසීම)

    Primary Processing method

    වැනිලා ප්‍රාථමික සැකසීමේ ක්‍රම ලෙස ඉන්දියානු ක්‍රමය, මෙක්සිකානු ක්‍රමය, බර්බන් ක්‍රමය හා කෘත්‍රිම වියළන භාවිත ක්‍රමය දැක්විය හැකිය. වැනිලා ප්‍රාථමික සැකසීමේ ඕනෑම ක්‍රමයකදී ප්‍රධාන පියවර කිහිපයක් අනුගමනය කළ යුතුය. එම පියවරයන් ලෙස සෛල මැරීම, ස්වේදනය, පළමු වියළීම, දෙවන වියළීම හා ඇසිරීම දැක්විය හැකිය.

    ඉන්දියානු ක්‍රමය

    ඉන්දියානු ක්‍රමය යටතේ සෛල මැරීම, ස්වේදනය, පළමු වියළීම, දෙවන වියළීම හා ඇසීරීම ප්‍රධාන පියවර සියල්ලම අනුගමනය කරයි.

    කරල් මැරීම හෝ මැලවීමේ අවස්ථාව පළමු පියවරයි. මෙහිදී අමු කරල්වල ශ්‍රේණි අනුව උණු වතුර ප්‍රතිකාරය වෙන වෙනම කළ යුතුය. උණු වතුර ප්‍රතිකාරය කිරීමේදී ජලය සෙල්සියස් අංශක 65 උෂ්ණත්වයේ පවත්වා ගත යුතු අතර අමු කරල්වල ශ්‍රේණිය අනුව ප්‍රතිකාර කරන කාල සීමාව වෙනස් වේ. මෙහිදී අඟල් 8ට වඩා වැඩි දිග කරල් විනාඩි 3ක් ද, අඟල් 8ත් 4ත් අතර කරල් විනාඩි 2ක්ද, අඟල් 4ට වඩා දිග අඩු කරල් විනාඩි 1ක් ද ලෙස උණුවතුර ප්‍රතිකාරය සිදු කරයි.

    2 වන පියවර ස්වේදන අවස්ථාවයි. එහිදී විනිවිද පෙනෙන පොලිතින් මලු සකසා එය තුළට උණු වතුර ප්‍රතිකාරය කළ කරල් දමා බැලුනයක් ආකාරයට ගැට ගසා උදෑසන හෝ සවස් කාලයේ අව්වේ පැය තුනක කාලයක් තබා ගෘහය තුළට ගත යුතුය. මෙවිට පොලිතීන් මල්ලේ ඇතුල් පැත්තේ ජල වාෂ්ප බැඳී තිබෙනු දක්නට ලැබේ.

    පසුදින උදෑසන එම පොලිතින් මල්ලේ ජල වාෂ්ප ඝනීභවනය වී ජල බිංදු බවට පත්වී ජලය එක්රැස් වී ඇති බව දක්නට ලැබේ. කට ලිහා එම ජලය ඉවත් කළ යුතුය. ඉන්පසු නැවතත් බැලූනයක් ආකාරයට ගැට ගසා පෙර දින පරිදිම වේලා ගත යුතුය. මෙම ක්‍රියාවලිය දින 3ක් නොකඩවා කළ යුතුය.

    තෙවන පියවර අව්වේ වියළීමයි. මෙහිදී වැනිලා කරල් දඬු මැස්සක් හෝ උස්ව තනාගත් ආධාරක මත පිළියෙල කර ගත් සල් අඩමක හෝ තැටි මත හෝ දැල් මත හෝ ආරක්ෂිත කමතක් මත හෝ එළන ලද ඩෙනිම් වැනි රෙදි මත තුනීවට අතුරා ගත යුතුය. මධ්‍යහ්නයේ තද අව්ව මඟ හැර උදෑසන හෝ සවස් කාලයේ පැය 3 ක් පමණ වියළා ගත යුතුය. ඉන් පසු වැනිලා කරල් රෙදි සමඟම අකුළා තවත් පැයක කාලයක් අව්වේ තබා ගෘහය තුළට ගෙන රෙදිවල ඔතන ලද ආකාරයටම වැනිලා පෙට්ටිවල තැබිය යුතුය. ඉන් පසු වැනිලා පෙට්ටි හොඳින් වසා තබා පසු දින නැවතත් මේ ක්‍රියාවලිය සිදු කළ යුතුය. මේ ආකාරයට දින 7ක් පමණ අව්වේ වියළා ගත යුතුය. මෙම වියළන කාලය තුළ සෑම කරලක්ම අතින් පිරිමැදිය යුතුය. මෙමඟින් කරල් හොඳින් පදම් වීම සිදු වෙයි.

    ඊළඟට එළ‍ෙඹන්නේ සෙමින් වියළීමේ පියවරයි. මෙහිදී මුලින්ම සෙමින් වියළීමේ ක්‍රමය හෙවත් පවනේ වියළීම අනුගමනය කළ යුතුය. මේ සඳහා ගෘහය තුළ සකසා ගත් රාක්ක භාවිත කළ යුතුය. රාක්කයේ එළන ලද ඩෙනිම් රෙදි මත තුනීවට අතුරා තවත් දින 15 ක් පමණ පවනේ වියළා ගත යුතුය. මේ අවධියේදී සෑම කරලක්ම පිරිමැද පරීක්ෂා කළ යුතුය. එහිදී යම් හෙයකින් පුස් ඇති වේ නම එම කරල් වෙන් කොට නැවතත් අව්වේ දමා වේලා වෙනම පවනේ වියළා ගත යුතුය. පවනේ වියළීම අවසානයට එළඹෙන විට කරල් ඇඟිල්ලේ එතීමට හැකි තත්ත්වයට පත් වේ.

    ඊළඟට එළ‍ෙඹන්නේ පදම් කිරීමය. මෙහිදී එක සමාන දිග කරල් 50 බැගින් මිටක් ලෙස එකට ගෙන තුන් පලකින් කළු නූල්වලින් බැඳ තෙල් කඩදාසිවල ඔතා වැනිලා පෙට්ටිවල දමා දින 30 ක් පමණ තැබිය යුතුය. මෙම කාලය තුළ සෑම සතියකට වරක්ම වැනිලා කරල් පිටතට ගෙන පරීක්ෂා කොට පුස් ඇති වූ කරල් පවතී නම් ඒවා ඉවත් කර ගන්න. හොඳින් පදම් වී ඇත්නම් මෙවිට හොඳින් සුවඳ වහනය වන අතර කළු පැහැති දිලිසෙන කරල් දැක ගත හැකිය.

     

    ඇසිරීම

    අවසාන පියවර ඇසිරීමයි. මේ සඳහා ටින් කාඩ්බෝඩ් හෝ ලැමිනේට් කළ පොලිතින් හෝ සුදුසු වෙනත් අසුරන හෝ භාවිත කරයි. ඇසිරීම තුළින් වඩාත් ගුණාත්මක බව ආරක්ෂා වී නිෂ්පාදනය මත පුස් ඇතිවීම අවම කර දෙයි. අමතරව තෙතමනය අවශෝෂණය අඩු කර ගත හැකිය. එමෙන්ම සුවඳ පිටවීම වළකා ගත හැකිය. වැකුම් කොට ඇසීරීම වඩාත් සුදුසු වේ. ගබඩාව සිසිල් වියළි තත්ත්වයේ පවත්වා ගත යුතුය

    උපදෙස්

     

    තුෂාරි ලියනගේ

    සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ)

    පසු අස්වනු තාක්ෂණ අංශය

    මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය – මාතලේ

    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

     

     

    එම්.කිර්තිරත්න

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here