සාදික්කා පොත්තෙන් ලෝකෙම අල්ලන්න හදන සශී

    0
    45

    ඇය සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරිණියක්. ගහ, කොළ ගැන සහ වගාවන් සාර්ථකව කරන හැටි වගේම වගාවකින් සාර්ථක ප්‍රතිඵල ගන්නත් ඇය දැනුමින් හොඳටම පොහොසත්. ඒ විතරක් නොවෙයි ගස්වල හැදෙන ගෙඩි අපතේ යවන්නේ නැතිව ඒවා උපයෝගි කරගෙන කිසිදු රසකාරකයක් හෝ රසායනික ද්‍රව්‍යයකින් තොරව රසවත් කෑම වර්ග හදන්නත් ඇය පුරුදු පුහුණු වෙලා තියෙන්නේ විවිධ පර්යේෂණ කිරීම් වලිනුයි. වර්තමානයේ සුපිරි වෙළෙඳසල්වල බොහෝ විට දක්නට ලැබෙන්නේ රසකාරක වර්ග ඇතුළත් රසවත් ආහාර පාන. මේ නිසා මේ වන විට විවිධ බෝ නොවන රෝගවලින් පෙ‍ළෙන ජනතාවක් තමයි මේ රටේ ජීවත් වන්නේ.

    ස්වාභාවික දෑවලින්ම එහි රසයේ ද කිසිදු අඩුවකින් තොරව විවිධ අත්හදාබැලීම් සිදු කරමින් ස්වාභාවික ජෑම් වර්ග සහ චට්නි වර්ග හදන ඇය මාතර තිහගොඩ පදිංචි සශිකලා ජයතුංගය.

     උපාධියත් අරගෙනම ඔබ මේ වැඩේට අතගැහුවද? එහෙම නම් ආහාර ගැන පෝෂණය ගැන වගේම වගාවන් සාර්ථකව කර ගැනීම සම්බන්ධ දැනුමින් ගොඩක් පොහොසත් ඇති?

    මම සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරිණියක්. ඊට පස්සෙ මම පෞද්ගලික ආයතනයක සේවය කළා. ඒ වෙන කොටත් මම මේ ව්‍යාපෘතියට අත ගහලා තිබුණේ. මම විවිධ ආහාර වර්ග සෑදීම පිළිබඳ ගොඩක් අත්හදා බැලීම් කරන්න පටන් ගත්තා. මා එක්ක තවත් යෙහෙළියක් එකතු වුණා. ඇය නදීරා. ඇය තමයි ස්වාභාවික ලෙස කිසිදු රසායනික ද්‍රව්‍යයකින් තොරව ආහාර වර්ග හදන විදිය ගැන මා සමඟ පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කරන්නේ. මා ළඟ මේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තිබෙනවා, ඇයට පර්යේෂණ කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා අපට ඕනෑ වුණා අපේ දැනුමෙන් අපිම ප්‍රයෝජන අරගෙන රටට වැඩදායි වැඩක් කරන්න.

     මොනවද ඔබ මුලින්ම කළේ ?

    අපි මුලින්ම කුරුඳු සහ ගම්මිරිස් පිටරට යවන්න උත්සාහ කළා. එය එතරම් සාර්ථක වු‍ණේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා අමුද්‍රව්‍ය විදියට නැතිව මේවාට අගය එකතු කිරීමක් කර මොනව හරි නිෂ්පාදනයක් කරන්න. දැන් මම පැෂන් ෆෘට් ජෑම් එකක් සහ අඹ සහ පැෂන් ෆෘට් දෙකම එකතු කරලා ස්වාභාවික ජෑම් එකක් හදනවා. සාදික්කා ගෙඩියේ ඉවත් කරන පොතුවලින් ජෑම් එකක් වගේම චට්නි එකක් හදනවා. කටු අනෝදාවලින් තැවරුමක් හදනවා. මේ තැවරුම එක්ක පාන් බිස්කට් වගේ දේවල් ආහාරයට ගන්න පුළුවනි. දිවුල් සමඟ කුරුඳු මිශ්‍ර කරලා ජෑම් හදනවා. ඒ වගේම දිවුල් තනිකරම දාලත් ජෑම් හදනවා. ඉදිරියට කරගෙන යන්න හිතා ගෙන ඉන්න දේවල් ටිකක් මේ දවස්වල අත්හදා බැලීම් කරනවා.

     ඔබ අලුතින් කරන්න හිතා ගෙන ඉන්න අත්හදා බැලීම් සිදු කරන දේවල් මොනවද?

    අලිගැට පේරවලින් නිෂ්පාදනයක් කරන්න ඉන්නවා. පිටරටවල ඒකට කියන්නේ ‘ග්වයිකොමෝලා’ කියලා. ඒක කටු අනෝදා එක වගේ අලිගැට පේර තැවරුමක්.

     ඔබගේ මේ නිෂ්පාදනවල තිබෙන විශේෂත්වය කුමක්ද?

    ඇත්තටම මේ හැම දේකම විශේෂත්වයක් තිබෙනවා. සාමාන්‍යයෙන් වෙළෙඳපළේ තිබෙන සෑම ද්‍රව්‍යයකටම පිරවුම්කාරකයක් තිබෙනවා. මෙලන් කියා කියන්නේ ඒකට. අපි හදන කිසිම දේකට පිරවුම්කාරක දාන්නේ නෑ. ස්වාභාවික පලතුරු සහ සීනි පමණයි මිශ්‍ර කරන්නේ. ඒවාට කිසිදු රසකාරකයක්, වර්ණකාරකයක් හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය දාන්නේ නැහැ. මේ නිසා අපේ නිෂ්පාදන කල් ඉකුත්වීම ඉතාම කෙටියි. කටු අනෝදා තැවරුම මාස තුනයි. අනෙක් ඒවා මාස හයක් පමණයි.

     ඔබ මේ නිෂ්පාදන සඳහා පලතුරු සපයා ගන්නේ කොහොමද?

    පැෂන් ෆෘට් වවන අය ඉන්නවා. ඒවා එයාලගෙන් ගන්නවා. කටු අනෝදා මගේ පළාතේ අය ඒ අයගේ වත්තේ අස්වැන්න විදියට මට ගෙනැත් දෙනවා. සමහර කාලවල මේ පැත්තේ කටු අනෝදා පලදාව නැහැ. එවිට මාකඳුර, ඌරුබොක්ක වගේ ප්‍රදේශවලින් කටු අනෝදා ගෙන්වා ගන්නවා. ඒ කාලයට ඒ ප්‍රදේශවල මේවා තිබෙනවා. ගොඩක් පලතුරු මම ගන්නේ ගෙවත්තේ වගා කරන අයගෙන් තමයි. අඹත් එහෙමයි. ගමේ වතුවලින් තමයි ගන්නේ. මේවායේ රසායනික ද්‍රව්‍ය අඩංගු නැහැ. සියයට සියයක්ම ස්වාභාවිකයි.

     ඉදිරියේදී වගාවක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

    ඉදිරියේදී මම ගමේ අයට සහ මාත් සමඟ මේ වැඩේ සම්බන්ධ වෙලා ඉන්න අයට සහ ඒ සඳහා කැමැත්තක් දක්වන අයට නොමිලේ පැළ බෙදා දීලා ඒ අයට සාර්ථක වගාවක් කරන්න උදව් වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. කර්තකොලොම්බු අඹ, කටු අනෝදා, පැෂන් ෆෘට් පැළ මේ විදියට බෙදා දෙන්න මම වැඩපිළිවෙළක් සකස් කරනවා. පැළ දෙනවා විතරක් නෙමෙයි ඒවා නඩත්තු කරන හැටි, සාර්ථක පලදාවක් ගන්නෙ කොහොමද කියන උපදෙසුත් ඒ අයට කියා දීලා තව අවුරුදු තුනකින් සාර්ථක පලදාවක් ඒ අයගෙන් ගන්න මම බලාපොරොත්තු වෙනවා.

     මම ඔබගේ නිෂ්පාදනවල විශේෂත්වයක් දැක්කේ සාදික්කා චටිනි සහ සාදික්කා ජෑම්වල. සාදික්කාවල ඉවත දමන පොත්ත ඔබ උපයෝගි කර ගන්නවා කිව්වා?

    සාදික්කා කියන්නේ අපනයන කුළුබඩු වර්ගයක්. මෙහි අපනයනය කරන්නේ සාදික්කා ගෙඩිය ඇතුළේ තිබෙන ඇටය සහ වටේ තිබෙන වසාවාසි කියන කොටස විතරයි. එවිට එළියෙ තිබෙන මදය කොටස ඉවත් කරනවා. මෙහිදී මේ පොත්ත මහා පරිමාණයෙන් අයින් වෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කිවුවා මේ නාස්තිය අවම කරන්න මොකක් හෝ නිෂ්පාදනයක් කරන්න කියලා. ඒ අය මාතලේ, නුවර සහ කෑගල්ල වැනි සාදික්කා වැවෙන ප්‍රදේශවල අයට සාදික්කා චටිනි සහ ජෑම් හදන්න පුහුණුවක් පවා දුන්නා. එහෙත් වාණිජ මට්ටමින් කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. මේ නිසා අපි උත්සාහ කළා මේ සාදික්කා ජෑම් සහ චට්නි වාණිජ මට්ටමින් කරන්න. කි‍ලෝග්‍රෑම් 500ක සාදික්කා කපන විට කිලෝග්‍රෑම් 150ක් පමණයි සාදික්කා සහ වසාවාසි විදියට ගන්නේ. ඉතිරි කිලෝග්‍රෑම් 350ම ලෙලි විදියට කිසිම වටිනාකමක් නැතිව ඉවත් කරනවා. මම ඒවා අරගෙන මේ නිෂ්පාදන කරනවා.

    මගේ නිෂ්පාදනවල තව විශේෂත්වයක් තිබෙනවා. අපි පැෂන් ෆෘට්වල ලෙල්ලත් විසි කරන්නේ නෑ

     පැෂන් ෆෘට්වල ලෙල්ලට ඔබ මොනවද කරන්නේ?

    ලෙල්ල පල්ප් එක විදියට භාවිතා කරනවා. පැෂන් ෆෘට් ලෙල්ලේ පෙක්ටීන් කියලා ද්‍රව්‍යයක් තිබෙනවා. වෙළෙඳපොළේ තිබෙන ජෑම්වල පෙක්ටීන් අන්තර්ගතයි කියලා ලේබල්වල තිබෙනවා. (Added pecteen). නමුත් අපි පෙක්ටීන් පාවිච්චි කරන්නේ නෑ. පැෂන් ෆෘට් ලෙල්ලේ ස්වාභාවික පෙක්ටීන් තිබෙනවා. අපි ‍මේ ස්වාභාවික පෙක්ටීන් තමයි යොදා ගන්නේ. පෙක්ටීන් අවශ්‍ය කරන්නේ ජෑම්වල ඝනකම ඇති කරන්න.

     ඔබ‍ගේ මේ නව නිෂ්පාදනවලට අපේ රටේ ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

    මම කොළඹ අවට සහ රත්නපු‍ර නගරයේ විතරයි තාම මගේ අලුත් නිෂ්පාදන අලෙවි කරන්නේ. ඇත්තටම ‍ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබෙනවා. එක වරක් ගත්ත කෙනෙක් නැවත ඒවා සොයා ගෙන එන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ජනතාව මේවට කැමති මේවායේ කෘත්‍රිම රසකාරක එකතු කර නැහැ. හැමෝම කැමති ස්වාභාවික පලතුරු රසයට. මම සබරගමුව විශ්වවිද්‍යාලය සමඟ නිෂ්පාදන අලෙවිය සම්බන්ධව ගිවිසුමකට එළැඹී සිටිනවා. කිසියම් නිෂ්පාදනයක් සම්බන්ධව විද්‍යානුකූලව එහි ගුණාත්මකභාවය සහ එහි තත්ත්වය පිළිබඳව ඔප්පු කර ගත හැකි නම් එම නිෂ්පාදනයට හොඳ ඉල්ලුමක් තිබෙනවා. එම තත්ත්ව සහතිකය ජනතාවට දීමටයි මම උත්සාහ කරන්නේ.

     ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවා ද?

    ප්‍රධාන වශයෙන්ම විදෙස් වෙළෙඳපොළට අනිවාර්යයයෙන්ම යන්න ඕනෑ. හේතුව තමයි Tropical Fruits වලට ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. Tropical කියන වචනයත් සමඟ වෙනස් රසය ඒ අය හඳුනා ගන්නවා. ඒ වෙනස් රසයට විදෙස් රටවල ජීවත් වෙන අය කැමතියි. උදාහරණයක් විදියට අඹවලත් ඒ වගේ වෙනස් රස තිබෙනවා. කර්තකොලොම්බන් අඹ සමඟ රට අඹ මිශ්‍ර කරලා ගත්තම එකම රසයක් තිබෙන්නේ. ඒත් කර්තකොලොම්බන් සමඟ ටොම්ජර්සි අඹ දැම්මොත් රසය වෙනස් වෙනවා. තව කෙනකුට වුවත් මගේ අඹ ජෑම් එක වෙනස් රසයකින් හදන්න පුළුවනි. පිටරට අය අලුත් දේවල්වල රස බලන්න ගොඩක් කැමතියි. ඒ නිසා අලුත් දේවල්වලට විදෙස් වෙළෙඳපොළේ ඉල්ලුම වැඩියි. මට මේ සඳහා හොඳ අවස්ථාවන් උදා වෙලා තිබෙනවා. ඉදිරි‍යේදී ඒ සඳහා උත්සාහයක් දරන්න බලාපොරොත්තු වෙනවා. EDB ආයතනයෙන් පැවැත්වුණු තරගයකදීත් මගේ නිෂ්පාදනවලට දෙවැනි ස්ථානය හිමි වුණා. මේ නිසා එහි ලියාපදිංචියත් මට නොමිලේ ලැබුණා. ලක්ෂ හතරක මුදල් ත්‍යාගයකුත් ලැබුණා.

     ඔබ තවමත් තරුණ වියේ කෙනෙක්. මේ දේවල් කරන්න ඔබට උදවු කරන්නේ කවුද?

    මගේ යෙහෙළිය නදීරා තමයි මට හැමදේටම උදවු කරන්නේ. ඇය පර්යේෂිකාවක්. ඇය වෙළෙඳපොළ පැත්ත සහ නිෂ්පාදනවල ගුණාත්කමභාවය පිළිබඳ පර්යේෂණ කරනවා. මම නිෂ්පාදන පිළිබඳව බලා ගන්නවා. ඇය අනෙක් සම්බන්ධීකරණ කටයුතු කරගෙන යනවා. අපි දෙන්නා පිටුපසින් තවත් බොහෝ දෙනෙක් අපට උදවු කරනවා. ඒ නිසා ඉදිරියට තවත් දේවල් කරන්න බය නැහැ.

    ඔබටත් ඇය සමඟ එකතු වී මෙම ස්වාභාවික පලතුරු නිෂ්පාදනයට හවුල් විය හැකි නම් හෝ ඇයගෙන් නොමිලේ උපදෙස් ගැනීමට අවශ්‍ය නම් [email protected] ඊ මේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

    සශිකලා

     

    නදීරා

    චතුමී පිටිපන

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here