අටුලුගම ජනතාව ස්වකැමැත්තෙන් නිරෝධායනයට!

0
31

අටුලුගම මුස්ලිම් ප්‍රජාව ඊයේ (29දා) සිට සතියක් සංචරණයෙන් බැහැරව නිවෙස් තුළට වී ගත කිරීමේ ස්වයං නිරෝධායනයක යෙදීමට තීරණය කර ඇත.

අවශ්‍ය වුවහොත් තවත් සතියක් වුවද ඔවුන් එම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට තීරණය කර ඇති බව එම ප්‍රදේශය භාර  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තහවුරු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

අටුලුගම ප්‍රදේශයේ ප්‍රජා කමිටුවක් ඇති කර මුස්ලිම් දේවස්ථානයේද මැදිහත්වීමෙන් ආරම්භ කර ඇති මෙම සංචරණයෙන් බැහැරවීමේ ක්‍රියාවලියට පොලිසියේ සහ සෞඛ්‍ය අංශවලද සහාය ලබා ගැනීමට කටයුතු කර ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

මෙසේ නිවෙස් තුළට වී සිටින පවුල්වලට අවශ්‍ය ආහාර පාන ඇතුළු අවශ්‍ය දේ ප්‍රජා කමිටුව මඟින් ලබාදීමටද කටයුතු සලසා ඇති බවද හෙතෙම පැවැසීය.

කොවිඩ් වයිරසය පැතිරීම පාලනය කිරීමට සංචරණය අත්හිටුවීම අත්‍යවශ්‍ය අවස්ථාවක, අටලුගම මුස්ලිම් ප්‍රජාව රටටම ආදර්ශවත් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම, දැනට ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින ප්‍රදේශවල මෙන්ම රටේ සමස්ත ප්‍රජාවම එය ක්‍රියාවට නැංවීමෙන් කොවිඩ් පැතිරීම කඩිනමින් පාලනය කර ගැනීමට හේතුවන බව වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.

අටුලුගම ප්‍රදේශයේ සියයකට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළහොත් සියයට 35-40 අතර පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වූ බවත් එම ප්‍රදේශය තුළ ආරම්භ කර ඇති මෙසේ නිවෙස් තුළට වී ගත කිරීම හරහා ආසාදිතයන් බිහිවීම අඩුවන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here