අභියෝග මැදින් නව වසරට

    0
    8
    Author(s): 
    රන්ජන් අමරරත්න

    ගෙවී ගිය වසර අභියෝගාත්මක එකක් වූවා සේම එළැඹෙන වසර ද අභියෝගාත්මක එකකි. ඇතැම් විට එම අභියෝගය වඩා බලවත් වන්නට ද පුළුවන. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වූ විදේශ රැකියා ක්ෂේත්‍රය අර්බුදයට ලක් වී ඇත. රට රැකියා කළ විශාල පිරිසක් ආපසු මව්බිමට එති. එලෙසම විදේශ රැකියා අංශයෙහි අලුත් ඇබෑර්තු අඩුය. මේ තත්ත්වයට මුහුණදීම ලබන වසරේ ප්‍රධාන අභියෝගයක් ලෙස පවතී.

    ඕනෑම දුෂ්කර කාලයක් ජයග්‍රහණය සඳහා යොදාගත හැකි පදනමකි සැලැසුම් ඇති කිරීම. සංවිධානගත වීම හා ඉලක්ක සඳහා වැඩ කිරීමත් මේ කාර්යයට අයත් වේ. ජපන් ආර්ථික විශේෂඥයකු වූ සමූ මියොසොකී පෙන්වා දෙන අන්දමට ජපානය සංවර්ධන ඉලක්ක ජයගත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු මුහුණ දුන් දුෂ්කරම කාලය තුළ සංවිධානගත වීමෙන් හා ඉලක්ක සඳහා වැඩ කිරීමෙන්ය. 1970 ගණන් වලදී ජපන් රජයේ තේමා පාඨය වූයේ ආදායම දෙගුණ කරමු යන්නය. 1980 ගණන් වන විට ජපානය ලොව දෙවන ආර්ථික බලවතා බවට පත් විය. ස්වාභාවික විපත්, බලශක්ති අර්බුද, දේශපාලන විපර්යාස කොයි රටකට වුව අලුත් දේවල් නොවේ. සිදු විය යුත්තේ ඒවාට සාර්ථකව මුහුණ දෙමින් ස්වකීය ඉලක්ක කරා ගමන් කිරීමය.

    2020 වර්ෂය සමස්ත ලෝකයටම අර්බුදකාරී කාල පරිච්ඡේදයකි. එක පැත්තකින් කොවිඩ් වසංගතය ලෝකය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගත් අතර, තව පැත්තකින් ලෝක ආර්ථිකය අවපාතයක් කරා ගමන් කළේය. ලොව ආර්ථික බලවතා වූ අමෙරිකාවේ දසලක්ෂ ගණනකට රැකියා අහිමි විය. ඇතැම් ආයතන පවත්වා ගැනීම සඳහා ණය ගැනීමට සිදු විය. අමෙරිකාවේ මාධ්‍ය ආයතන 300ක් ස්වකීය පැවැත්ම සඳහා බැංකු ණය ලබාගෙන ඇත.

    ශ්‍රී ලංකාව 2020 වසරට මුහුණ දුන්නේ අභියෝග ගණනාවක් පෙරමුණෙහි තබාගෙනය. කොවිඩ් වැළැක්වීම, විදේශ ණය ගෙවීම, ආර්ථිකය පණ ගැන්වීම හා ජන ජීවිතය යථාවත් කිරීමත් ඒ අතර පැවැති ප්‍රධාන අභියෝග ලෙස සැලැකිය හැකිය. සංවර්ධනයේ ප්‍රධාන අංශයක් වන අධ්‍යාපනය පසුබැසීමකට ලක් වන්නට ඉඩ නොදී යථාවත් කිරීමත්, ජනතාවගේ ආදායම් මාර්ග වලට ඇති බාධා ඉවත් කිරීමත් අභියෝග ලෙස පැවැතිණි. ලෝකයේ සෙසු රටවල් මීට මුහුණ දෙන ආකාරය නිරීක්ෂණය කළද ආණ්ඩුව උත්සාහ කළේ තමන්ගේම උපායමාර්ග ඔස්සේ ගැටලු නිරාකරණය කර ගැනීමටය. ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ එය සාධනීය තත්ත්වයක් බවය.

    කොවිඩ් මර්දනය සඳහා කාර්යසාධන කමිටුවක් හා බළකායක් නිර්මාණය කළේ ජනාධිපතිවරයාය. සෞඛ්‍ය අංශවලට අමතරව පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කොවිඩ් වැළැක්වීම සඳහා යොදා ගැනීම ජනාධිපතිවරයාගේ අදහසකි. එංගලන්තය වැනි රටවල් ද පසුව මේ ක්‍රමය අනුගමනය කළේය. එය සාර්ථක අත්හදා බැලීමකි. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාවලියේ දී විශේෂ හා බරපතළ වැඩ කොටසක් ඉටු කරති. රට පුරා සංවිධානාත්මක ලෙස මේ කාර්යය ඉටු කිරීමට පොලිසිය හා හමුදාව සමත් වී ඇත. එය අගය කළ යුතු රාජකාරියක් සේ පවතී.

    රටේ ආර්ථිකය ගතහොත් එය පැවැතියේ අතිශය නරක තැනෙකය. විදේශ ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබිණි. අපනයනය හා සංචාරක කර්මාන්තය ඇද වැටී තිබිණි. මත්කුඩු ව්‍යාපාරය හා පාතාල ක්‍රියාකාරකම් ඉහළ ගොස් තිබිණි. පාතාල ක්‍රියාකාරකම් කොතරම් බලවත්ව පැවතියේ ද යත්; විදේශගත පාතාල නායකයෝ ශ්‍රී ලංකාවේ අපරාධ මෙහෙයවූහ. සිරගත වී සිටි පාතාල නායකයෝ ද බන්ධනාගාරයේ සිට අපරාධ මෙහෙයවූහ. හිරගෙවල්වල පාලනය සිරකරුවන් අත පැවැතියේ යැයි මතයක් ද එකල තිබිණි. එදා බන්ධනාගාරවල තත්ත්වය නිරීක්ෂණය කරන විට ද එය සනාථ වෙයි.

    කොවිඩ් කාලය තුළ මහර බන්ධනාගාර‍යේ ගැටුමක් ඇති වුවද එම පරිශ්‍ර තුළ සිදුවන අයථා ගනුදෙනු වළක්වා නීතියට යටත් තැනක් ලෙස බන්ධනාගාර පවත්වා ගැනීමට ආණ්ඩුව සමත් විය. ඉදිරියේදී බන්ධනාගාරවල තත්ත්වය තවත් යහපත් වනු ඇතැයි සිතන්නට කරුණු තිබේ. අපරාධ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මකවීමට පොලිසිය කියා කරගෙන යයි. මේ අතර අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ප්‍රමාදය වළක්වා ගැනීම කෙරෙහි ද ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. නොවිසඳුණු සාමාන්‍ය නඩු විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවායින් මහජනයා පීඩාවට පත් වී සිටිති.නඩු විභාග කඩිනම් කිරීම සඳහා උපායමාර්ග කිහිපයක්ම යෝජනා වී ඇත.

    එක රටක් එක නීතියක් යන්න ආණ්ඩුවේ තේමා පාඨයකි. 2009ට පෙර උතුරේ වෙනම නීතියක් ද දකුණේ වෙනම නීතියක් ද පැවැතිණි. ප්‍රභාකරන් කෙතරම් බලවත් පුද්ගලයකු වී සිටියේ ද යත්; උතුරේ පාලනය සඳහා කොටි උසාවි හා කොටි පොලිසි පවත්වාගෙන ගියේය. ප්‍රභාකරන් එදා ශ්‍රී ලංකාව හැඳින්වූයේ කොළඹ ආණ්ඩුව ලෙසය. කොළඹ ආණ්ඩුවේ නීති රීති තීන්දු තීරණ වව්නියාවෙන් ඉහළ කොටසට බලපෑවේ නැත. ප්‍රභාකරන් එක වරක් දකුණේ භාණ්ඩ උතුරට ගෙනයෑමත් නතර කළේය. මේ තත්ත්වය වෙස් කළේ කවුරුද යන්න අද බොහෝ දෙනකුට අමතකය.

    2009ට පෙර ජගත් ආයතන ශ්‍රී ලංකාව හැඳින්වූයේ අසමත් රාජ්‍යයක් ‍හැටියටය. අසමත් රාජ්‍යවලට ලෝක ආයතන ණය සපයන්නේ නැත. ආධාර ලබාදීමේදී දැඩි කොන්දේසි අනුගමනය කරයි. දියුණු රටවල් සංචාරක තහනම් ද පනවයි. ශ්‍රී ලංකාව මේ සියල්ලටම මුහුණ දී සහනදායි තැනකට පැමිණ තිබේ.

    2020 වසර සඳහා වූ විදේශ ණය වාරික හා පොලී නියමිත පරිදි ගෙවා දමන්නට රජය සමත් විය. එය ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට අදාළ වැදගත් සංසිද්ධියකි. විපක්ෂය ආණ්ඩුවට චෝදනා කළේ විදේශ ණය ගෙවීමට හැකියාවක් නැතැයි පෙන්වා දෙමින්ය. ආණ්ඩුවේ කිසිදු වැඩසටහනක සාධනීය පැත්ත දකින්නට විපක්ෂය සූදානම් නැති බවක් පෙනී යයි. ඒ අනුව විපක්ෂයට ඇත්තේ චෝදනා ගොන්නක් පමණි. කොවිඩ් වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලෝකයෙන් පැසසුම් ලැබෙන විට ද විපක්ෂය එම වැඩසටහන් විවේචනය කළේය.

    අර්බුදකාරී අවස්ථාවලදී රටවල් එම තත්ත්වයෙන් ගොඩයෑම සඳහා සංවිධාන ගතවෙයි. ආයතන හා ජනතාව සංවිධාන ගත කිරීම වත්මන් ආණ්ඩුවේ ද මූලෝපායක් ලෙස පවතී. එහි වැදගත්ම ලක්ෂණයක් වන්නේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමය. රාජ්‍ය නායකයා විශ්වාසවන්ත හා ජනතාවට ඇහුම්කන් දෙන පුද්ගලයකු බව ජනාධිපතිවරයා සනාථ කර තිබේ. ජනාධිපතිවරයාගේ එක් පොරොන්දුවක් වූයේ රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් නොකරන බවය. යහපාලන රජය අමෙරිකාව සමඟ අත්සන් කිරීමට ගිය එම්.සී.සී. ගිවිසුම මේ අතින් ප්‍රධාන වෙයි. ජනතාව ඊට තදබල ලෙස විරෝධය දැක්වූ අතර එම ගිවිසුම අහෝසි කළ යුතු යැයි උද්ඝෝෂණ පැවැත්වූහ.

    ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කරමින් කියා සිටියේ එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන බවය. එය ඒ අයුරින්ම ඉටු කිරීමට ඔහු සමත් විය. විපක්ෂය ඒ සම්බන්ධයෙන් ගෙන ගිය විවේචනය ඉබේම නතර විය. ජනාධිපතිවරයා ගෙන යන තවත් වැදගත් වැඩසටහනක් වන්නේ ‘ගම සමඟ පිළිසඳරක්’ යන්නය. ගමට ගොස් ජනතාවට ඇහුම්කන් දීම හා ඔවුන්ගේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලබාදීම එහි ඉලක්කය වෙයි. මේ වැඩසටහන කෙතරම් ජනප්‍රිය ද යත්; විපක්ෂ නායකවරයාද ගමට යන්නට පටන්ගෙන තිබේ. ඔහු ද ගැමියාට ඇහුම්කන් දෙන්නට පටන්ගෙන ඇත.

    රටේ ජාතික ආර්ථිකයට පණ දෙන ප්‍රධාන අංශ දෙකක් ලෙස අපනයන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තය පවතී. මේ දෙකම යහපාලන රජය යටතේ ඇද වැටී තිබිණි. රනිල් වික්‍රමසිංහ හඳුන්වා දුන් ප්‍රති අපනයන වැඩසටහන නිසා අපේ අපනයන කෙරෙහි පැවැති ලෝක විශ්වාසය බිඳ වැටිණි. ඒ අනුව සුළු අපනයන ක්ෂේත්‍රය දුර්වල විය. ගම්මිරිස් වගා කළ ගොවියෝ බලවත් අසීරුවට පත් වූහ. අපනයන ක්ෂේත්‍රයේ බිඳ වැටීමත් සමඟ ආනයන ඉහළ ගියේය. එය රටේ ආර්ථිකයට නරක බලපෑමක් එල්ල කළේය. ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව ආනයන සීමා කළ අතර අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට පියවර ගැනිණි. වසරේ අවසන් කාර්තුව වන විට එහි සාර්ථක ප්‍රතිඵල දැකගන්නට ලැබිණි.

    පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගත තත්ත්වය මත සංචාරක ක්ෂේත්‍රය 70%කින් කඩා වැටුණු බව කියති. එම ක්ෂේත්‍රය තුළ ජීවනෝපාය සකසාගත් දසලක්ෂ තුනකට අධික පිරිස ආදායම් අහිමි පිරිසක් බවට පත්වූහ. සංචාරක හෝටල් වසා දමන තත්ත්වයට පත් විය. මේ වන විට සංචාරක ක්ෂේත්‍රයේ නියාමන වැඩසටහනක් ආරම්භ වී ඇත. රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට සංචාරකයන් එවීම සඳහා එකඟතාව පළ කර ඇත. අපේ සංචාරක කර්මාන්තය සෙමෙන් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා දල්වා ගත හැකිය.

    ගෙවී ගිය වසර තුළ අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය ද නවීකරණයට ලක් විය. ඔන්ලයින් අධ්‍යාපනය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. විශ්වවිද්‍යාල විභාග හා දේශන ඔන්ලයින් ක්‍රමයට අවසන් කරමින් තිබේ. කොවිඩ් අනතුර පහව ගිය ප්‍රදේශවල පාසල් විවෘත කිරීමට පියවර ගෙන ඇත. රටේ සමස්ත අධ්‍යාපනය බිඳ වැටී නැත. අධ්‍යාපනයේ රටාව පමණක් වෙනස් වී ඇත. ආචාර්ය ඊ.එෆ්.ෂුමාකාර් පෙන්වා දෙන අන්දමට අධ්‍යාපනය යනු රටක සංවර්ධනයේ ප්‍රධාන බලවේගයකි. එය ශක්තිමත් වන තරමට රටක සංවර්ධනය ද ස්ථාවර වෙයි.

    කොවිඩ් ලෝක වසංගතය තුළ බලවත් රටවල් අධ්‍යාපන ආයතන වසා දැමුවේ නැත. ශ්‍රී ලංකාව කොවිඩ් පළමු රැල්ලේදී පාසල් වහාම වසා දැමුවද පසුව එම තීරණය වෙනස් කළේය. කොවිඩ් සමඟ සටන් වදිමින් අධ්‍යාපන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම රජයේ ප්‍රතිපත්තිය වී තිබේ. එය නිවැරැදිය.

    ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා කාර්යසාධන බළකායක් පිහිටුවා ඇත. එහි ප්‍රධානියා වන්නේ බැසිල් රාජපක්ෂය. ඉතා හොඳ සංවිධායකයකු හා ඉලක්ක ජයගන්නා පුද්ගලයකු වන ඔහු වරක් කියා සිටියේ කොවිඩ් වසංගතය තුළ එක්කෝ අප විනාශ විය යුතුය. නැතහොත් නැඟී සිටිය යුතුය යන්නය. මෙයින් දෙවන ක්‍රමය අප තෝරාගෙන තිබේ. ගැමි ජනයා සංවිධාන කිරීමෙන් හා නිලධාරීන් වැඩට යොමු කිරීමෙන් මේ කාර්යය ඉටු කර ගත හැකිය. වැඩ සමඟ ගමට එහි තේමාව වෙයි. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වැඩසටහනෙහි ප්‍රධාන ඉලක්කයකි.

    1960 ගණන්වලදී අපේ ආර්ථික විශේෂඥයන්ගේ මතය වූයේ ශ්‍රී ලංකාව තුළ ගම්මාන තිස්දහසක් ඇති බව හා එම ගම්මානවල ආදායම් මාර්ග ඇති කිරීමෙන් රට සංවර්ධනය කළ හැකි බවය. මේ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුවද ඒවායෙහි ප්‍රතිඵලය ගැන සතුටුවිය නොහැකිය. බොහොමයක් වැඩසටහන් ක්‍රියාත්මක වූයේ දේශපාලනය මූලික කර ගනිමින්ය. වත්මන් ආණ්ඩුව ඒවායින් පාඩම් ඉගෙන ගෙන ඇති බව පෙනෙයි.

    සමස්තයක් ලෙස රටේ ආර්ථිකය දෙස බැලුවහොත් එය සෙමෙන් වර්ධනය වන බවක් පෙනෙන්නට තිබේ. රට ඍණ ආර්ථිකයක් වෙතින් 5%ක ආර්ථික වර්ධනයක් කරා ගෙන යා යුතු බව 2021 ආර්ථික යෝජනාවල සඳහන්ය. එහෙත් එය ඉබේ ඉටු වන්නේ නැත. බොහෝ කැපකිරීම් සිදු කිරීමට කාටත් සිදු වනු ඇත. කොවිඩ් වසංගතය තුළ බොහෝ රටවල ආයතන වසා දමන්නට සිදු විය. එහෙත් ශ්‍රී ලංකාවේ කිසිදු ආයතනයක් වසා දැමුවේ නැත. ආයතන පවත්වා ගැනීම සඳහා සහන පොලී මත බැංකු ණය ලබාදීමට පියවර ගැනිණි. වසංගත තත්ත්වය තුළ ආර්ථිකය යථා පරිදි පවත්වා ගැනීම බලවත් අභියෝගයකි. එහෙත් රජය ඊට සාර්ථකව මුහුණ දී ඇතැයි සිතන්නට පුළුවන. එය ජයග්‍රහණයකි.

    ගෙවී ගිය වසර අභියෝගාත්මක එකක් වූවා සේම එළැඹෙන වසර ද අභියෝගාත්මක එකකි. ඇතැම් විට එම අභියෝගය වඩා බලවත් වන්නට ද පුළුවන. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වූ විදේශ රැකියා ක්ෂේත්‍රය අර්බුදයට ලක් වී ඇත. රට රැකියා කළ විශාල පිරිසක් ආපසු මව්බිමට එති. එලෙසම විදේශ රැකියා අංශයෙහි අලුත් ඇබෑර්තු අඩුය. මේ තත්ත්වයට මුහුණදීම ලබන වසරේ ප්‍රධාන අභියෝගයක් ලෙස පවතී.

    කුමක් වුව අලුත් බලාපොරොත්තු ඇති කර ගත යුතුය. අභියෝග ජය ගත හැකි මාර්ග අප තුළම පවතී. අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ක්‍රියා කළ හොත් අභියෝග ජයගැනීම අපහසු නැත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here