අසිරිමත් සූවිසි විවරණ

    0
    10

    පූජාවලි විමසුමෙන් මෙවර අප ඔබට රැගෙන එන්නේ තුන්වැනි පරිච්ඡේදයේ එන සූවිසි විවරණ පිළිබඳ විග්‍රහයකි. එනම් අප ගෞතම මුනිදුන් අතීත බුදුවරුන් විසි හතර දෙනකු වෙතින් බුදු වීම පිණිස ලද අවසරයයි.

    සූවිසි විවරණ අප සාහිත්‍යයේ ඉතා වැදගත් තැනක් හිමිකර ගන්නා ලේඛනයකි. හේතු කිහිපයක් නිසා මෙම විග්‍රහය වැදගත් වෙයි. පළමුව බුදු කෙනෙකුන් ලොව පහළ වන්නේ කවර තරම් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් ද යන්න වටහා ගන්නට ඉඩ ලැබෙන අවස්ථාවකි. විශේෂයෙන් බුද්ධවංශ වර්ණනාව ඇසීම ඉපැරණි සමාජයේ ආදර ගෞරව සහිතව සිදු කර තිබෙයි. ඊට හේතුව පැරණි ජන සමාජයෙහි පැවති ශ්‍රද්ධා භක්ති පූර්වක ආකල්පයයි. දෙවැන්න බුදු කෙනෙකුගේ ඉතිහාසය විමසීම තත්කාලීන සමාජයට ප්‍රායෝගික වශයෙන් ද ඉතා වැදගත් විය. එනම් එයින් ලැබෙන පූර්වාදර්ශයයි. උත්තම පදවියක් ලැබීම අහම්බයක් විය නොහැකි බව පෙන්වා දීමයි. එනම් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපිරිය යුතු බවයි. සුදුසුකම් ලබන්නට වෙර වීරිය දැරිය යුතු බවයි. කිසියම් ප්‍රතිපදාවක නිරත විය යුතු බවයි.

    මේ අනුව පූජාවලී කතුවර බුදුපුත් යතිවරයන් වහන්සේ තත්කාලීන සමාජයට බුදුන්ගේ ඉතිහාසය මහත් අභිරුචියෙන් ඉදිරිපත් කළ අයුරු පූජාවලී තෙවැනි පරිච්ඡේදය පුරා දැකිය හැකිය. එය හැඳින්වෙන්නේ සූවිසි විවරණ නමිනි. සූවිසි විවරණ පූජාකර්මයක් ලෙස පසුකාලීනව වැඩුණු ආකාරයක් ද දැකිය හැකිය. පාරම්පරික උඩරට නාට්‍ය සම්ප්‍රදායට අයත් සූවිසි විවරණ නෘත්‍ය පූජාව නමින් එය අදත් නර්තන කලාව විෂයෙහි හමු වෙයි. එය මුළු රැයක් පුරා සිදු කෙරෙන ශාන්තිකර්මයකි. එයින් ආශිර්වාද ලැබීමට සමාජය හුරු පුරුදු වූ අයුරු එයින් පෙනේ. මේ හැර සූවිසි විවරණ කවි නමින් ජනප්‍රිය වූ සාහිත්‍යයක් ද අප සතු වෙයි. උසස් විභාග සඳහා පවා මේවා නිර්දේශව පවතී. මහාචාර්ය මුදියන්සේ දිසානායක දක්වන්නේ මෙම සූවිසි කවි ගායනා උඩරට විහාර ආශ්‍රිතව පන්තේරු නැටුමේදී ඉදිරිපත් වන බවයි.

    මෙවැනි සූවිසි විවරණ සිවුපද කවි ගායනා නර්තන ශිල්පීන් ශබ්ද නගා ගායනා කිරීමෙන් ශ්‍රාවකයාගේ කන් බැතියෙන් පිනා යන්නට සමත් වෙයි. නුවර යුගයෙන් පසු දහම් දෙසීමේ ජනප්‍රිය ක්‍රම ඇරඹෙන අතර එහිදී සූවිසි විවරණය ද ප්‍රාසාංගික බණක් බවට පත්ව තිබේ. චිත්‍ර කලාව තුළ ද සූවිසි විවරණ ජනප්‍රිය වූ අයුරු පෙනෙන්නේ විහාර චිත්‍ර කලාවේදීය. විහාර බිතු සිතුවම් අතර බොහෝ සේ සූවිසි විවරණ දැකිය හැකිය.

    මේ සියල්ලට වස්තු විෂය වූයේ පූජාවලි විවරණයයි. එය හැඳින්වෙන්නේ විවරණ මඟුල් පූජා නමිනි. පළමු විවරණය දීපංකර බුදුන්ගෙන් ලද විවරණයයි. මෙය බොහෝ දෙනා දන්නා ජනප්‍රිය විවරණයයි. එතැන බෝසතුන් සුමේධ තාපස වීය. කොංඩඤ්ඤ බුදුන් හමුවේ විජිතාවී නම් සක්විති රජෙකුව ද, මංගල බුදුන් හමුවෙහි සුරුචි නම් බමුණෙකුව ද, සුමන බුදුන් හමුවෙහි අතුල නම් නා රජෙකුව ද, රේවත බුදුන් හමුවෙහි අතිදේව නම් බමුණෙකුව ද, සෝභිත බුදුන් හමුවෙහි සුජාත නම් බමුණෙකුව ද, අනෝමදස්සී බුදුන් හමුවෙහි යක්ෂයෙකුව ද, පදුම බුදුන් හමුවෙහි සිංහ රාජයෙකුව ද, නාරද බුදුන් හමුවෙහි තාපසයෙකුව ද විවරණ ලද අයුරු කියා තිබෙයි.

    එමෙන්ම පදුමුත්තර බුදුන් හමුවෙහි ජටිලයෙකුව ද, සුමේධ බුදුන් හමුවෙහි උත්තර නම් ශ්‍රාවකයකුව ද, සුජාත බුදුන් ළඟ සක්විති රජකුවද, පියදස්සී බුදුන් හමුවෙහි බමු‍ණකුව ද අත්ථදස්සී බුදුන් හමුවෙහි සූසීම නම් ජටිලයකුව ද, ධම්මදස්සී බුදුන් හමුවෙහි පුරින්ද නම් සක් දෙවිඳුව ද, තිස්ස බුදුන් හමුවෙහි සුජාත නම් රජකුව ද, ඵුස්ස බුදුන් හමුවෙහි විජිතාවි නම් රජකුව ද, විපස්සී බුදුන් හමුවෙහි අතුල නම් නා රජකුව ද, සිඛී බුදුන් හමුවෙහි අරින්දව නම් නා රජකුව ද, වෙස්සභූ බුදුන් හමුවෙහි සුදස්සන නම් රජකුව ද, කුකුසඳ බුදුන් හමුවෙහි ඛේම නම් නා රජකුව ද, කෝණාගමන නම් බුදුන් හමුවෙහි පබ්බ නම් රජකුව ද කාශ්‍යප බුදුන් හමුවෙහි ජෝතිපාල නම් මානවකයකු වද විවරණ ලබා තිබේ.

    සැබැවින්ම මෙය ඉතා සවිස්තරාත්මක විවරණයකි. පූජාවලියෙහි තරම් රසවත්ව පැහැදිලිව සහ විස්තර සහිතව සූවිසි විවරණය ඉදිරිපත් කළ වෙනත් සම්භාව්‍ය කෘතියක් බුද්ධවංශ වර්ණනාව හැර නොමැත. මේ නිසා‍ මෙය හොඳම මූලාශ්‍රයයි. කතුවරයා විවරණය අවසන් කරන්නේ මෙසේයි.

    මෙසේ මාගේ බුදුහු තමන් සසර පළමුවන විවරණ ලදින් පාරමිතා භූමියෙහි ඇවිදිනා සමයෙහි හැම බුදුන් නොවරදවා දැක දානාදි පරිත්‍යාග කොට බුදුබව පතා විවරණ ලදින් මේ සූවිසි විවරණ පූජාව කොට තමන් වහන්සේ අතින් බණ අසා අපි නිවන් දකුම්හයි ප්‍රාර්ථනා කළ සූවිසි අසංඛ්‍යයක් සතුන් ධර්මයෙන් අමාමහ නිවන් දක්වා….

    යනුවෙනි.

    එම සූවිසි අසංඛ්‍යයක් සතුන් අතරට ඔබ මම හසු නොවීමෙන් අපි තවමත් සසරේ නිදැල්ලේ යන්නෙමු. මේ පූජාවලී සූවිසි විවරණය සුවහසක් දෙනා හට පහන් සංවේගය පිණිසම වේවා.!

     

     

    මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

    සිංහල අධ්‍යයන අංශය

    කොළඹ විශ්වවිද්‍යාලය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here