ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්

0
9
Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

– 2020 නිමාව පෙනි පෙනී සුබ පෙරනිමිත්තක් 
– පැනීමේ – විසිකිරීමේ ජාතික ශූරයන්ගේ කලදසාව හොඳ නෑ

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ නිමාවට පත්වූ 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග මේ වසරේ පැවැති තරග අතුරින් මීටර් 800 ඉසව්වේ ආසියානු කලාපයේ පළමු ක්‍රීඩිකාවන් සිවු දෙදෙනා අතරට පැමිණීමට දිල්ෂි කුමාරසිංහ, නිමාලී ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න සමත් වෙති.

කොරෝනා අර්බුදය හේතුවෙන් මෙම වසරේ ආසියානු කලාපයේ බොහෝ රටවල මලල ක්‍රීඩා තරග කල්දැමුණු අතර අවසන් මාසයේ තරගාවලි කිහිපයන් සංවිධාන කෙරුණි. මලල ක්‍රීඩා සංගමය කොරෝනා අභියෝග හමුවේ ජාතික ශූරතාවලිය සංවිධාන කිරීම හේතුවෙන් මේ වසරේ ආසියානු මලල ක්‍රීඩක වර්ගීකරණයේ කැපී පෙනෙන අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිවීම වි‍ශේෂත්වයකි.

ලෝක මලල ක්‍රීඩා වර්ගීකරණයේ ආසියානු කලාපයේ මීටර් 800 ක්‍රීඩිකාවන් අතර ලකුණු 1125ක් ලබා බහරේනයේ ජෙප්කොසේගී නෙලූයූ මුලින්ම සිටින අතර, දිල්ෂි ලකුණු 1113ක්, නිමාලී ලකුණු 1106ක් හා ගයන්තිකා ලකුණු 1100ක් ලබා පිළිවෙළින් දෙවැනි තෙවැනි හා සිවුවැනි ස්ථානවලට පත්ව සිටිති. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනාට පසුව ජපානයේ ක්‍රීඩිකාවන් හතරක් හා චීන ක්‍රීඩිකාවක් ලෝක මලල ක්‍රීඩා වර්ගීකරණයේ ආසියානු කලාපයේ මීටර් 800 ක්‍රීඩිකාවන් අතර සිටිති.

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය නිමාවීමත් සමග මෙතෙක් සුපිරි සංචිතයේ සිටි තුම්පිම්ම ජාතික ශූරී විදූෂා ලක්ෂාණී, එම ඉසව්වේ ජාතික ශූරයා වූ යුද හමුදාවේ ශ්‍රේෂාන් ධනංජය, දුර පැනීමේ ජාතික ශූර අමිල ජයසිරි හා එම ඉසව්වේ ජාතික තරග වාර්තාවට හිමිකම් කියන ප්‍රසාද් විමලසිරි මෙන්ම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානී ලේකම්ගේ ඉදිරියේ ක්‍රියාත්මක වන මලල ක්‍රීඩා සුපිරි සංචිතයෙන් ඉවත් වෙයි.

විදූෂා ලක්ෂාණී ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට හේතු නොදන්වා නොපැමිණීම හේතුවෙන් කෙළින්ම ඉවතට යන අතර, අනෙක් සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අවම මට්ටමක තිබීම හේතුවෙන් ඔවුන්ටද සුපිරි සංචිතයේ ඉඩකඩ නොලැබෙනු ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිත තවමත් ප්‍රකාශ වී නොතිබුණ ද, ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රථිපල අනුව මීටර් 100 කාන්තා හා පිරිමි සහය දිවීමේ කණ්ඩායම් දෙක මෙන්ම මීටර් 400 පිරිමි සහය දිවීමේ ක්‍රීඩකයන් මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ ස්ථාන වෙන්කර ගැනීමට ප්‍රමාණවත් දස්කම් දක්වා තිබේ. ජාතික ශූරතාවලියේ කෙටිදුර ධාවනයේ යෙදුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාගේ ගතකළ කාලය අනුව ඔවුන් ආසියානු මට්ටමේ තරගකාරී ස්ථානවල පසුවෙති.

ලබන මැයි මාසයේ චීනයේ හැංග්ෂූ හී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කොට මෙම සංචිත පවත්වාගෙන යන අතර එම සුපිරි සංචිත ඉදිරියේදී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියෙන් පසු ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මීටර් 400 පිරිමි ඉසව්වේ පළමු ස්ථානයට පත්වූ කාලිංග කුමාරගේ හා මීටර් 800 කාන්තා ඉසව්වේ පළමු ස්ථානයට පැමිණි දිල්ෂි කුමාරසිංහ ජාතික ශූරතාවලියේ කැපී පෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ අතර, කාලිංග තත්පර 46. 25කින් හා දිල්ෂි මිනිත්තු 2: 02.80කින් තම ඉසව් නිමා කොට වැඩි අවධානයක් දිනා ගත්හ. කොරෝනා වසංගතය හේතුවෙන් සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට සීමාවූ මෙවර ජාතික ශූරතාවලියේ අති ශූර ක්‍රීඩක සම්මානය ප්‍රදානය නොකළ අතර, එසේ ප්‍රදානය වූයේ නම් යුද හමුදාව නියෝජනය කරන 22 හැවිරිදි දිල්ෂි කුමාරගේ එම සම්මානයට හිමිකම් කීමට බොහෝ අවස්ථා විවරකරගෙන තිබිණි.

මීටර් 400 කාන්තා ඉසව්වේ ඉදිරියට පැමිණි නදීෂා රාමනායක ද ඉදිරියේ ක්‍රියාත්මක මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ ඉඩක් වෙන්කර ගත හැකි මට්ටමේ දක්ෂතා දැක්වූවාය. ඇය මීටර් 400 කාන්තා ඉසව්ව තත්පර 53. 47කින් නිමකළ අතර, මීටර් 1500 ඉසව්වේ ගයන්තිකා අබේරත්න (මිනිත්තු 4: 17. 58), නිලානී රත්නායක (මිනිත්තු 4:21. 28) හා නිමාලී ලියනාරච්චි (මිනිත්තු 4: 28.13) ක්‍රීඩිකාවන් තිදෙනා ද බලාපොරොත්තු තබාගත හැකි මට්ටමක පසුවූහ. මීටර් 3000 බාධක දිවීමේ ජාතික ශූරී නිලානී රත්නායක එම ඉසව්ව මිනිත්තු 10:15. 86කින් නිම කිරීම හේතුවෙන් ඇයට ද සුපිරි සංචිතයේ ඉඩකඩ බොහෝ දුරට විවර වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here