කලාව තමයි මගේ ජීවිතය වුණේ

0
33
ප්‍රවීණ නිවේදිකා, රංගන ශිල්පිනී නෙළුම් කළුබෝවිල
දෙසැම්බර් 31, 2020

ඇය කළුබෝවිල පරම්පරාවෙ පුරුකකි. නම සඳහන් කළොත් නෙළුම් කළුබෝවිලයි. ජනප්‍රිය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල ඇයගේ වැඩිමල් සොයුරියයි. අක්කා නගෝ දෙපොළම කලා ලොව ජනප්‍රිය චරිත වූවෝය. ඒ අතරින් අප කතා නායිකාව වන නෙළුම් රංගන ශිල්පිනියක්ද ලෙසින් වරින් වර අප හමුවට ආවාය. ඇය මුල් යුගයේ පටන් වේදිකා නාට්‍ය ගණනාවක චරිත රංගනයේ යෙදුණේ ප්‍රවීණයින් සමඟය. එමෙන්ම අඩු වැඩි වශයෙන් ටෙලි නිර්මාණ සහ සිනමාපට සඳහා ඇය රංගන දායකත්වය සපයන ලදී. මේ අතරතුරදී ඇගේ ප්‍රධාන වෘත්තිය වූ නිවේදනය සහ හඬ කැවීම සඳහා කලා ජීවිතයේ වැඩි ඉඩක් වෙන් කරලීය.ඒ හේතුවෙන් නෙළුම් කළුබෝවිල නැමති රංගන ශිල්පිනියට වඩා නිවේදිකාව ඉස්මතු වූයේ නිතැතින්මය. නෙළුම් සමග අපි මේ කතා කරන්නේ ඇය මේ දිනවල දී ටෙලි නාට්‍යයක දුටු බැවිනි. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන සල්මල් ආරාමය එකී ටෙලි සිතුවමයි.

 

සල් මල් ආරාමය ටෙලි සිතුවම ගැන පළමුව කතා කළොත් හොඳයි කියලා හිතෙනවා?

අරුණ ජයවර්ධන මහත්මයා තමයි ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. මම රංගනයෙන් දායක වන්නේ දහම් පාසල් ගුරුවරියකුගේ චරිතයක්. අනේ අම්මේ… ගොඩාක් ප්‍රතිචාර මට ලැබෙනවා. විශේෂයෙන්ම ෆේස් බුක් හරහා. නොයෙක් දෙනා මට ප්‍රශංසා කරනවා. ඒ වගේම විවේචනත් නැතුවාම නෙවෙයි. මේ දෙකම මම සතුටින් බාරගන්නවා. මට හොඳ කියනවා වගේම විවේචනත් හරිම වැදගත් ගොඩක්. අය කියන්නෙ මාව රංගන ශිල්පිනියක් විදිහට දකින එක හරිම සතුටක් කියලයි.

 

නිළියක් විදිහට ඔබට දිගු ඉතිහාසයක් තියෙනවා නේද?

අනේ ඔව්. දිගු ඉතිහාසයක් කියන්නේ අපි ඒකාංගික නාට්‍යය කරද්දි ජාතික රූපවාහිනිය පටන් අරගෙනත් නැහැ. ගොඩනඟන කාලේ. ඒකෙ හදමින් පවතින මැදිරියක තමයි මම මගේ පළවෙනි ඒකාංගික නාට්‍යයේ රඟපෑවේ. ඒ නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධන. දෙන්නා දෙපොළේ තමයි ඒ නාට්‍යයේ නම. ඊට පසුව ටෙලි නාට්‍යය ගණනාවක් කළා. ඊටත් පෙර ඉඳලා වේදිකා නාට්‍යවල මම රඟපානවා. ජයසේකර අපොන්සුගේ බොහෝ නාට්‍ය වල මම හිටියා. චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න ලැබෙන්නෙත් මම වේදිකා නාට්‍යක රඟපානවා සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා දැකලා. ඔහු මට වදුල චිත්‍රපටය සඳහා අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම ඔහු නිර්මාණය කළ අධිෂ්ඨාන චිත්‍රපටය චරිතයක් මට ලබා දුන්නා. ප්‍රදීපා, ඔක්කොම රජවරු, වගේ සිනමාපට රැසක මට රඟපාන්න අවස්ථාව ලැබුණා. වදුල චිත්‍රපටයේ මගේ චරිතය නම සොෆියා. ඒක ඒ කාලෙ ඉතාම ජනප්‍රිය චරිතයක් වුණා.

 

මුල් යුගයේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වලින් නිරන්තරයෙන්ම ඔබේ හඬ ඇසුණා?

මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරනවා ඩී. බී. නිහාල්සිංහ මහත්මයව. ඔහු නිර්මාණය කළ රොබින් නිල් වෙළෙඳ දැන්වීමට හඬ දායකත්වය ලබා දුන්නේ මම. “මම හේදුවෙ හොඳම නිල් කුඩු දාලා” මතකයි නේද ඒ වචන ටික… එතැන් පටන් ප්‍රධාන ධාරාවේ නිෂ්පාදන ගණනාවක ලද සඳහා හඬ දායකත්වය ලබා දෙන්න මට වාසනාව උදාවුණා.

 

රංගන ශිල්පිනියක් විදිහට ඔබ වඩාත් ප්‍රේක්ෂකයන්ට මතක ටෙලි නාට්‍ය වලින් නේද?

අනූව දශකයෙන් පසු වඩාත්ම ප්‍රේක්ෂකයන්ට රූපවාහිනිය ළං වුණානේ. ඒත් එක්කම මම එක දිගට නැතත් රඟපෑවේ නැතත්, ඉඳහිට හෝ මතක හිටින චරිත කිහිපයක් කළා. ඒ හින්දා තමයි එහෙම වුණේ. ජාතික රූපවාහිනී විකාශය වූ නිර්සත්වයෝ, ඉසිර භවන, සිත නිවන කතා ආදී නාට්‍ය රැසක මම විවිධ චරිත රඟපෑවා. සිරස නාළිකාවේ විකාශය වූ සිදංගනාවෝ නාට්‍යයේ මම කරපු වලව් පැලැන්තියේ චරිතය ඒ කාලේ හුඟක් ප්‍රේක්ෂකයෝ වැලඳ ගත්තා.

 

නිවේදිකාවක් විදිහට ඔබ දිගු කලක් ගුවන් විදුලියට සම්බන්ධ වෙලා හිටියා ඒ ගැන අද කතා නොකළොත් ලොකු අඩුවක් වේවි?

දශක තුනකටත් වඩා වැඩි කාලයක් මම නිවේදිකාවක් විදිහට විවිධ වැඩ සටහන් ඉදිරිපත් කළා. සුන්දර හැන්දෑවේ හඳුනාගත්තොත් ඔබ මා වැඩසටහන තමයි හුඟක් ජනප්‍රිය වුණේ. ඒක සිකුරාදා හවස ප්‍රචාරය වුණා. අසන්නෙක් කෝල් කරලා කිව්වා එයාගෙ ලියවන පට්ටලේ වැඩ කරන සේවකයන්ව. හැම සිකුරාදාවක් 3.30ට නිවෙස් වලට යවනවා කියලා මේ වැඩසටහන අහන්න. ඒ වගේම දෘශ්‍යාබාධිත අසන්නියක් හිටියා වැඩසටහන නොවැරදීම අසන. බදාදා දින ප්‍රචාරය වන රන් තරු වියන වැඩසටහනත් හුඟක් ජනප්‍රියයි. අදටත් ඒ වැඩසටහන කරද්දී අනන්තවත් දුරකථන ඇමතුම් මට එනවා. පෞද්ගලික නාළිකාවල යාළුවෝ පවා කෝල් කරලා කියනවා වාහනේ යද්දී, හරීයටම රේඩියෝව කරකවලා අහනවා අක්කා කියලා. මේ ආශීර්වාදය ලැබෙන්නේ මම නිවේදිකාවක් විදිහට මම මගේ වෘත්තියේ හෘදයාංගමව යෙදෙන නිසානේ. මේ වෘත්තිය නිසා රට වටා සංචාරය කරන්න ලැබීමත් මම භාග්‍යයක් කොට සලකනවා. මේ වෙලාවේ මට මතක් වෙනවා බිහිසුණු යුද සමයේ දී යාපනය අප කළ චාරිකාව. ඒ වෙලාවේ අපි ගියේ අපේ වීරෝධාර යුද සෙබළුන් දිරිමත් කරන්න. අපි සියලු බෝම්බ සද්ද මැද බය පසෙකලා ඔවුන් වෙනුවෙන් විනෝදාත්මක වැඩසටහන් කිහිපයක්ම ඉදිරි පත් කළා. මේ වන විට මම ස්ථිර සේවකයෙක් හැටියට ගුවන් විදුලියෙන් විශ්‍රාම අරගෙන ඉන්නේ. නමුත් නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට තවමත් මම ගුවන්විදුලිය හා බැඳීලා ඉන්නවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම්වලටත් තවමත් හඬ කවනවා.

 

වසර ගණනාවක් කලා ශිල්පිනියක් විදිහට කටයුතු කළත් ඔබේ හිතේ යම් කනස්සල්ලක් තියෙනවා?

ඇත්තෙන්ම ඔව්. එක කනස්සල්ලක් ද කියලා කියන්නත් අමාරුයි. වෘත්තීය පැත්තෙන් කිසිම දුකක් නැහැ. හරිම සතුටින් මම මගේ කලා කටයුතුවල නියැළුණා. නමුත් හිතේ යම් දොම්නස් සිතුවිල්ලක් හැමතිස්සෙම පහළ වෙනවා. මොකද මම විවාහ වුණේ නැහැ. කලාවත් එක්කම බැඳීලයි ජීවත් වුණේ. නර්තනය, රංගනය, නිවේදනය ආදී අංශවල නියැළෙමින් මම දිගින් දිගට ම කාර්යබහුල වුණා. ඉතින් විවාහයත් මගහැරුනා. මේ වෙලාවේ මම ජීවත් වෙන්නේ මගේ බාල සහෝදරයා ගාව. අවස්ථා ගණනාවකදී දේශපාලනඥයින් වගේම නිසි බලධාරීන්ගෙන් මම පුංචි හෝ නිවසක් ලබා දෙන්නේයැයි කියා අයැදුම් කළා. නමුත් ඒ කවුරුවත් මට මේ වනකොට සහනදායි පිළිතුරක් ලබා දීලා නැහැ. මම ඉල්ලන්නේ මහ ලොකු ගෙයක් නෙමෙයි. ජීවිතයේ මේ ගෙවෙන කාලය සතුටින් ගෙවා දමන්න පුළුවන් එක කාමරයක් හෝ දෙකක හෝ පුංචි ගෙයක් තිබුණත් මට ඇති. නිරන්තරයෙන් මං මේ ගැන කියලා බොහෝ දෙනාට ලියුම් යවලා ඇති. ලියුම් වල ජධනඪඥඵ මං ගාව තවම තියෙනවා. අපේ නව ඇමති විදුර වික්‍රමනායක මහත්තයාටවත් මගේ ඉල්ලීම ගැන ගැන අවධානය යොමු වේවා කියා කියන්න මං මේ මොහොත අවස්ථාවක් කර ගන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here