ක්‍රීඩකයන් 21ක් ගෙනාවේ නැත්නම් අපේ පිතිහරඹ පුහුණුකරුට අංක 3 මට අංක 4 බැට් කරන්න වෙනවා මිකී ආතර්

0
32

දකුණු අප්‍රිකානු භූමියේදී ශ්‍රී ලංකා පිල ඉනිමක රැස් කළ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව පළමු ඉනිමේදී වාර්තා වූවත් පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිත ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබිණි. වේගපන්දු යවන්නන් වන කසුන් රාජිත සහ ළහිරු කුමාර සහ පිතිකරු ධනංජය ද සිල්වා ආබාධවලට ගොදුරු වී සිටින අතර, පෙරේදා දිනයේ අවසන් පන්දුවෙන් පසු දිනේෂ් චන්දිමාල්ගේ පාදයේ ආබාධයක් මතුවී තිබිණි.

දකුණු අප්‍රිකානු සංචාරයට දින තීන්දු වීමෙන් පසු සති දෙකක නේවාසික පුහුණුවක් ලැබීමට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබුණත්, එල්පීඑල් තරගාවලිය සඳහා වෙහෙස වීමට ඔවුන්ට සිදුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් පවසයි.

‘ඊට පෙරත් කොවිඩ් වසංගතය නිසා කොළඹට පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් බොහෝ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ නිවාසවලින් පිටතට පැමිණීමට නොහැකිවුණා. ඔවුන්ට ශාරිරික අභ්‍යාස තනි තනිව නි‍ෙවසේදීම කරගන්න සිදුවෙලා තිබුණා. නේවාසිකව පුහුණුව ලැබූ බොහෝ ක්‍රීඩකයන් එල්පීඑල් තරගාවලියට ක්‍රීඩා කළා. ඒකට කාටවත් දොස් කියන්න බෑ. අපි දකුණු අප්‍රිකාවට ආවේ එල්පීඑල් ඉවර වුණු විගසමයි.’ මිකී ආතර් පෙරේදා තරගයෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක් වෙමින් එසේ කීවේය.

‘අපි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ එල්පීඑල් නිමා වී දවස් 10ක කාලයකිනුයි. ඒ නිසා මේ ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් සිදුවුණා කියලා අනුමාන කරන්න පුළුවනි. එහෙත් එල්පීඑල් කියන්නේ ඒ මොහොතේ අවශ්‍යතාවක් වුණා. ශ්‍රී ලංකාවට එවැනි තරගාවලියක් අවශ්‍යයි. නමුත් පසුවිපරම් කරද්දී හිතෙන්නේ අපට අපේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඒ තරගාවලියෙන් ඉවත් කරගන්න තිබුණා කියලයි. නමුත් එහෙම වුණා නම් එල්පීඑල් තරගාවලියේ තරගකාරීත්වය අඩුවෙන්න ඉඩ තිබුණා කියලත් හිතෙනවා. කොහොමවුණත් මට දැන් නම් හිතෙන්නේ ආපහු එතැනින් පටන් ගන්න තිබුණා නම් අනිවාර්යයෙන්ම අපේ වේගපන්දු යවන්නන කිහිපදෙනෙක් තරගාවලියෙන් ඉවත් කරගන්නවා කියලයි.’ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු එසේ පැවැසීය.

‘මම දන්නෙ නෑ තවම චන්දිමාල්ගේ ආබාධය කොහොම එකක්ද කියලා. සමහර විට මස් පිඩු පෙරළීමක් වෙන්නත් බැරි නෑ. සමහර විට ඊට වඩා ලොකු දෙයක් වෙන්නත් බැරි නෑ. එහෙම වුණොත් අපිට තවත් ක්‍රීඩකයෙක් අහිමි වේවි. වාසනාවකට අපි ක්‍රීඩකයන් 21ක්ම ගෙනාවේ. එහෙම නොවූණානම් ඊළඟ ටෙස්ට් තරගයේදී අපේ පිතිහරඹ පුහුණුකරුට අංක 3 ස්ථානයෙනුත්, මට අංක 4 ස්ථානයෙනුත් ක්‍රීඩා කරන්නයි සිද්ධ වෙන්නේ.’ ඔහු වැඩි දුරටත් කීවේය.

‘මේක කොවිඩ් වසංගත තත්ත්වය එක්ක මතුවෙන කාරණාවක්. ඉන්දීය කණ්ඩායමෙත් වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙලා. ඉස්සරහට රටවල් වැඩි ගණනක මේ විදිහට වේගපන්දු යවන්නන් ආබාධවලට ගොදුරු වේවි කියලා මට සැකයක් තියෙනවා. කොවිඩ් වසංගත පසුබිමක ඔවුන්ට වැඩි කාලයක් ක්‍රීඩා කිරීමට සිදුවීම නිසා වැඩිපුර ආබාධවලට මුහුණපාන්න සිදුවෙලා තියෙනවා.’ ඔහු සඳහන් කළේය.

‘මේ වෙලාවේ ලෝකය පුරා පවතින්නේ අසාමාන්‍ය තත්ත්වයක්. මම හිතනවා අයිසීසී එකත් එක්ක මේ සම්බන්ධව යම් යම් දේවල් සාකච්ඡා කරන්න කාලය ඇවිත් කියලා. චන්දිමාල්ට ඉවත් වෙන්න වුණොත් අපේ ආබාධිත ක්‍රීඩකයන් ගණන 7ක් වෙනවා. එතකොට අපිට ටෙස්ට් තරගයක් ඉවර කරන්න ඉතිරිවෙන්නේ සම්පූර්ණ ශාරිරික යෝග්‍යතාව ඇති ක්‍රීඩකයන් 6ක් විතරයි. ඒක කාටත් හොඳ දෙයක් නෙවෙයි. කණ්ඩායමට හොඳ දෙයක් නෙවෙයි.’ මිකී ආතර් කීවේය.

ෆවුස් මොහොමඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here