කොණ්ඩ කුරුලු ආලය

    0
    9

    රාජසූරිය අස්ථාන කුමරු සිංහල ඉතිහාසයේ කඳුළු බිඳුවකි. තෙමේ උඩරටට රාජ උරුමය රැගෙන ගිය පළමු විමලධර්මසූරිය රජුගේ (ක්‍රි.ව. 1592 – 1604) පුත් කුමරුය. තම රණශූර පියාණන් පරයන තරමට ජනකාන්ත වූ පුත්‍රයෙකි. ඒ රණශූරයකු ලෙස නොව කමණීය අරුමැසිවාදියකු ලෙසය. ඔහු අරුමැසි වූයේ අපූරු ලෙසය. කුමර තෙමේ කුරුල්ලන්ට පෙම් බැඳි අයෙකි. එය තවත් අපූරු වූයේ ඔහු ළබැඳි කුරුලු විශේෂයේ අපූරුව නිසාය. රාජසූරිය අස්ථාන කුමරුගේ කුරුලු සුරතලුන් වූයේ කොණ්ඩ කුරුල්ලන්ය. කොණ්ඩ කුරුල්ලකු තම උරපත මත තබාගෙන කොණ්ඩ කුරුලු හිස සේම තම හිස විලාසිතා ගැන්වූ මේ කුමරු තරුණ හද බැඳ ගත්තේය. අසුපිටින් ගමන් යන මේ මනමාල කුමරුගේ අමුතු පැවතුම් ස්ත්‍රීහුගේ ද සිත් පැහැර ගත්හ.

    ‍කෙසේ නමුත් මහනුවර පුරා කොණඩ කුරුළු රැල්ලක් හමා ගියේය. අස්ථාන සේම උඩරට වැසි ගැටවු තම හිසකෙස් කොණ්ඩ කුරුලු විලාසිතාවට අනුව සකස් කරගත්හ. එය සම්මත රටාවන් දෙදරූ සිදුවීමක් විය. ඒ අතරම ඉලන්දාරීන් කොණ්ඩ කුරුල්ලන් ඇතිකර රජ කුමරු සේම යන එන මඟ තොට තම උරපත මත උන් නංවාගෙන ගමන් යන්නට විය. මේ සිරිත කොතරම් ජනප්‍රිය වූවේ ද කිවතොත් එකල තරුණ යතිවරු පවා කොණ්ඩ කුරුල්ලන් තම සුරතලුන් ලෙස ඇතිකරන්න පටන් ගත් බව ඉතිහාස වාර්තා සඳහන් කරයි.

    මෙකී ඇවතුම් පැවතුම් ගතානුගතික වැඩිහිටි සමාජයේ විවේචනයට බඳුන් විය. මේ ඇසිල්ලේ මහනුවර ජනප්‍රිය ක්‍රීඩාව බවට කොණ්ඩ කුරුලු සෙල්ලම් පත් විය. ඒ සඳහා අම්පිටියේ කෙළිපිටියක් ද ඉදි වූයේය. රට පුරා විසිරී සිටි කොණ්ඩ කුරුලු තරුණ කල්ලි එකිනෙකට මුණගැසුණු ක්ෂේම භූමිය බවට මෙම කෙළිපිටිය පත් විය.

    තම පුත් අස්ථාන සේම විමලධර්මසූරිය රජු ද කුරුලු ලෝලියකු විය. ඔහු තම රජ මැඳුර තුළ දැවැන්ත කුරුලු උයනක් පවත්වාගෙන ගිය සිංහලේ කුරුලු රජුය. රජ උයනෙහි අමුතුම කොණ්ඩ කුරුල්ලෙක් විය. අස්ථාන කුමරු රජ මැඳුර තුළ ආශා කළ එකම වස්තුව වූයේ එකී කුරුල්ලාය. කෙසේ නමුත් කල්යත්ම විමලධර්මසූරිය රජුගේ බිසව වූ කුසුමාසන දේවිය සමඟ ඔහු සොයුරු ගම්පොළ තෙරුන් (සෙනරත්) එක වැසිව වස්නට වූහ.

    නුවර රජ මැඳුර වියවුල්වලින් දෙදරන්නට මෙම සිදුවීම හේතු විය. රාජ්‍යත්වය පිළිබඳ කිසිදු බැඳීමක් නොතිබුණ අස්ථාන කුමරු කොණ්ඩ කුරුලු ලෝකයේම පාවෙමින් ජනගත වූයේය.

    හුදී ජනගැටවු තමන් අතරට පැමිණි කුමරුන් කරමතින් ගමින් ගම ගෙන යමින් කුරුලු උද්‍යානයක් ඇති කළහ. එය කන්ද උඩරට පුරා කුරුලු උයන් රැල්ලකට මුල පිරීය. දකින අසන, දකින සෑම අත කොණ්ඩ කුරුලු කතාය. කොණ්ඩ කුරුලු විලාසිතාය. කුරුලු සෙල්ලම්ය. කුරුළු කෙළිපිටිය. මේ ඇසිල්ලේ අස්ථාන කුමරුගේ ඉමහත් ජනප්‍රියත්වය පියපුතු ගැටුමක් බවට පත් කිරීමේ කූට කුමන්ත්‍රණයක් දියත් විය.

    අස්ථාන හුදී ජනන් සමඟ රාජ කුමාර දිවිය ඉක්මවා ගත කරන සමීප ඇසුර රාජකීය පාලනයට නොරිස්සන්නට විය. මේ සියල්ල පසු පස ගම්පොළ තෙරුන් ලෙස ප්‍රකට (පළමු විමලධර්මසූරිය රජුගෙන් පසුව රජ පදවිය ලබා ගත්) සෙනරත්ගේ ක්‍රියාමාර්ග වූ බව පැහැදිලිය. රජගෙදර අප්‍රසන්න ස්වභාවය අස්ථාන කුමරුගේ සංවේදී හදට නොගැළපුණි. ඔහු තව තවත් කුරුලු සමාජයට සමීප විය.

    අස්ථාන කුමරුගේ වත ගොත ගවේෂණය කරන කල්හි ඔහුගේ මව කවුදැයි අපි තවමත් නොදනිමු. කෙසේ නමුත් කිරුළ හිමි කුමරු වූ ඔහු හු‍ෙදකලා කිරීමේ කූට උපක්‍රමයක් දියත්ව තිබුණි. මේ කමණීය තේජමාන කුමරු මහවැලි නදී තොටට විත් තම කුරුලු මිතුරන් සමඟ දිවි ගෙවන්නට ප්‍රිය කළේය. කුමරු සෑම හැන්දෑවක්ම මහවැලි නදී දියට විත් “රන් කෙළියේ” යෙදෙන්නට විය. උඩරැටියන් රදා ගැටිස්සියගේත් අස්ථාන කුමරුගේත් බන්ධනයට දුන් නාමය වූයේ “රන් කෙළිය” යන්නය. කළු කුමාර දේවතා පුවත එය මෙලෙස පවසයි.

    දිය කෙළියට යන කලට ග‍ඟේ යා

    සළෙළු ලියක් සේ දුරට පෙනේ යා

    රදා සියන් දැක පණ නොනැසේ යා

    රන් කෙළියකි කළු කුරු ග‍ඟේ යා

    පෘතුගීසීන් අභිභවා නව නුවරකට සිංහල රාජ්‍යයත්වය කැන්දූ පියරජ අතැර අස්ථාන රජක සුවයක නතර වූයේ එලෙසය. එනමුත් පුතු නැති සොවින් පිය හදවත සැලී ගියේය. සැලුණේය. ඔහු අභිමතය වූයේ පුතුට රජ කිරුළ පැවරීමය. නමුත් අස්ථානගේ පැතුම නිදහස් අරුමැසි දිවියක් විය. රදා කතක හා වෙලී බැඳුණු කුමරු රජ පදවිය දැරීමට නොසුදුසු තරම් දූෂ්‍ය වී ඇති බව සොයුරු ගම්පොළ තෙරුන් (සෙනරත්) ගේ අදහස වූහ.

    මේ සියල්ල මැද පූත්‍ර වියෝගයකින් විමලධර්මසූරියගේ දිවිය නිස්සාර වූයේය. දන්තුරේදී මෙන්ම ගන්නොරුවේදී පෘතුගීසින් ආපිට හැරවූ යුද විරුවාගේ දිවිය කඳුළින් බර විය. අවසානයේ පුතුට පියා ද, පියාට පුතා ද දකින්නට නොහැකි වාතාවරණයක් ඇති විය. අස්ථාන තම කොණ්ඩ කුරුල්ලා අත පිය රජතුමාට කවි පද ගොතා යැව්වේය. රජ තෙමේ තම පුතුට කොණ්ඩ කුරුල්ලකු අත දුක් කතා, පද ගොතා එවීය.

    ඉතිහාසය පුදුමය. මහනුවර සමය මෙවන් කඳුළු කතාවකින් ආරම්භ වූ බව දන්නේ කවරෙක් ද? එක් දිනක කොණ්ඩ කුරුලු සංදේශය ගම්පොළ තෙරුන්ට හසුවිය. උන්වහන්සේ කොණ්ඩ කුරුල්ලා මරා දැමූහ. පියරජ හමුවට ගිය කොණ්ඩ කුරුල්ලා යළිත් නොපැමිණියේය. කුමරු රජ මාලිගයට විත් පියාණන්ගෙන් රජ පදවිය වෙනුවට තම කොණ්ඩ කුරුල්ලා ඉල්ලා සිටියේය. ගම්පොළ තෙරුන් එය ද වැළැක්වූහ. පසුදා රජ ගෙදර කොණ්ඩ කුරුල්ලා ද මරා දමා තිබුණි. එය අස්ථාන කුමරුගේ ක්‍රියාවක් බව කියමින් පිය රජ හා පුතු විරසක කළහ.

    එදින සැඳෑවේ සියල්ල අතැර තම රදා බිරිඳ සමඟ මහවැලි නදියේ රන් කෙළියට කුමරු සැරසුණේය. ඒ ඇයට මවු පදවි දෙන රන් කෙළියටය. රාජ භටයන් මහවැලි නදියේ දිය යට සැඟවී සිට සරාගයෙන් වෙළී සිටි කුමරු අසිපතින් දෙපළු කොට කපා දැමුවේය. අස්ථාන මිය ගියේය.

    ගම්පොළ තෙරුන් සිවුරු හැර සෙනරත් නමින් ක්‍රි.ව. 1604 දී රාජ්‍යත්වය පත් විය. රාග සුවයෙන් උද්දීපත්ව පුරුෂ පරාග තම බිරිඳට මුදාහරිමින් හුන් කුමරු එම සුවයෙන්ම මියගොස් යක් දෙවියකු ලෙස උපන් බව ජනප්‍රවාදයේ කියැවේ. ඔහු අදත් ස්ත්‍රින්ට දරුඵල දෙන කළු කුමාර දෙවියන් ලෙස පුද ලබන්නේය.

    බලවත් පිටියේ දෙවියෝ වැඩනි තී

    මළකඳ දියවර පල්ලේ බලව තී

    ජලමැද මානෙල් මල් සේ උප දිතී

    කළු කුමරුන් යක් වෙලා මෙපුර එ තී

     

    සුජිත් අක්කරවත්ත

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here