දෙහිවල පාලම අසල (රාමක්‍රිෂ්ණ පාර අසල) සිට හිල් වීදිය දක්වා කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස කොල්ලුපිටියේ සිට දෙහිවල හිල් වීදිය දක්වා දිවෙන සමුද්‍රීය මාර්ගයේ (Marine Drive) දෙහිවල පාලම (රාමක්‍රිෂ්ණ පාර) අසල සිට හිල් වීදිය දක්වා කි.මි 1.2ක් වන කොටසේ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් දෙනු ලැබීය.
කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාරිතාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා වර්තමානයේ දී දවසේ ඕනෑම කාලසීමාවක දෙහිවල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා දැඩි රථ වාහන තදබදයක් ඇති බව විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි .
මෙයට පිළියමක් වශයෙන් මෙම සමුද්‍රීය මාර්ගය කොල්ලුපිටියේ සිට දෙහිවල හිල් වීදිය දක්වා ඉදිකරයි. දැනට සමුද්‍රීය මාර්ගයේ ඉදි කර ඇති මංතීරු 2ක් සහිත දෙහිවල පාලමේ (රාමක්‍රිෂ්ණ පාර අසල) පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස මංතීරු 04 දක්වා පුළුල් කර ඉදිකිරීමට මේ වන විට වැඩ ආරම්භ කර ඇත. මෙම නව පාලම සඳහා රුපියල් මිලියන 228ක් වැය වේ. ඉදිකරන නව පාළමේ දිග මීටර 25කි. එහි පලල මීටර 18කි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,
මෙම සමුද්‍රීය මාර්ගයේ පසුගිය යහපාලන රජයේ අවුරුදු 5 තුළ කිසිම සංවර්ධනයක් වෙලා නැහැ. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ප්රමුඛ අපේ රජයේ අරමුණ නියමිත ප්‍රමිතියට අනුව කඩිනමින් සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කිරීමයි. ඒ අනුව දින 70 වැනි කාලයකදී මෙම දෙහිවල සිට හිල් වීදිය දක්වා මාර්ග කොටසේ ඉදිකිරීම් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ පවතින රථ වාහන තදබදයට මෙම මාර්ගය ඉදිකිරීම මගින් කෙටිකාලීන පිළියම් ලැබෙනවා. මෙම මාර්ග තදබදයට ස්ථිර ස්ථිරසාර විසඳුමක් ඉදිරියේදී මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එක්ව ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා යැයි ද පැවසීය.
සුභාෂිණී සේනානායක සහ
ක්‍රිසන්ති විතාරණ