ග්‍රාමීය කර්මාන්තකරුවන්ට තාක්ෂණික-ව්‍යවසායකත්ව දැනුම

0
40
Author(s): 
මහින්ද අලුත්ගෙදර

– විදාතා නිලධාරීන් නැති ප්‍රා. ලේකම් කාර්යාලවලට පුහුණු උපාධිධාරීන් 
– වෘත්තීය අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමට පියවර රැසක්
– ග්‍රාම සේවා වසමකට එක් අයකු බැගින් කර්මාන්තකරුවන් 14,022ක් 

ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණ ඇතිව ග්‍රාමීය මට්ටමින් නව කර්මාන්තකරුවන් ඇති කිරීමේ දී තාක්ෂණික සහ ව්‍යවසායකත්ව දැනුම ලබාදෙමින් ඔවුන් දිරිගැන්වීම සිදුකරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විදාතා නිලධාරීන්ට හා නිපුණතා සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ග්‍රාමීය තරුණ තරුණියන් අතරින් නව ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ ව්‍යවසායකත්ව දැනුම ලබාදීමට විදාතා නිලධාරීන් හා නිපුණතා සංවර්ධන නිලධාරීන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළයුතු බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. වර්තමානය වනවිට තරුණ විරැකියාව ඉහළ මට්ටමක පවතින බැවින් තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා අවස්ථා ඇති කිරීමට නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන 2021 අය-වැය යෝජනා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ද ඒ මහතා මෙහිදී නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. නිපුණත සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් සම්බන්ධයෙන් සහ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

විදාතා නිලධාරීන් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා උපාධීධාරී පුහුණු නිලධාරීන් බඳවාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

සෑම කෙනෙකුටම වෘත්තීය අධ්‍යාපනයට ප්‍රවේශවීමේ පහසුකම් සලසමින් වෘත්තීය අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම, රැකියා වෙළෙඳපොළට සරිලන අන්දමින් විෂයමාලා සංවර්ධනය, වෘත්තීය අධ්‍යාපන කටයුතු ප්‍රාදේශීයව පුලුල් කිරීම, දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොල ඉලක්ක කරගත් තාක්ෂණික හා ඉහළ වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා විය. ග්‍රාම සේවා වසමකට කර්මාන්තකරුවෙක් බැගීන් නව කර්මාන්තකරුවන් 14,022 ක් බිහිකිරීම මෙවර අය-වැයෙන් අපේක්ෂා කරන අතර විදාතා නිලධාරීන් නව කර්මාන්තකරුවන් හඳුනාගැනීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කළ යුතුව ඇත.

පාරම්පරික ගම්මාන ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. රජයේ ආයතන සම්බන්ධ කර ගනිමින් තාක්ෂණික සහාය සහ මුල්‍ය සහයා ලබා දී ග්‍රාමීය ජනතාව සවිමත් කිරීම රජයේ අපේක්ෂාවයි.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය ඇමැතිවරුන් වන සීතා අරඹේපොළ, ප්‍රසන්න රණවීර මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here