ජාතික පාසල් දහසේ සමාරම්භක පාසල ලෙස ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය තෝරා ගැනෙයි

0
48
 
රටේ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවෙන් පාසල් පද්ධතිය සවිමත් කිරීමේ අරමුණින්, මෙරට පාසල් පද්ධතිය තුළ පහසුකම් සපිරි ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භය අද (30) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ දී පැවැත්විණි.
 
නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමන් ද අධ්‍යාපනය හදාරා ඇති බවට වාර්තා වන කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය,  මේ වනවිට සංවර්ධන අවශ්‍යතා රැසක් මතුව පවතින කොළඹ දිස්ත්‍රික්කය තුළ අක්කර 14ක භූමි පරිශ්‍රයක පිහිටි වසර 200ක් පැරණි ඉතිහාසයක් ඇති විශිෂ්ට පාසලක් බවත්, දරුවන්ට අංග සම්පූර්ණ අධ්‍යාපනයක් ලබාදීමේ දී  පරිගණක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, භාෂා අධ්‍යයන පහසුකම් ඇතුළු සියලු ක්ෂේත්‍ර සංවර්ධනය විය යුතු බවත්, රට තුළ ස්ථාපනය කෙරෙන නව ජාතික පාසල් ඒ සියලු පහසුකම්වලින් සමන්විත කරන බවත් මෙහි දී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
 
2021 වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව පවත්නා ඉලක්ක සම්බන්ධයෙන් ද අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍යවරයා, පාසල් අතර පවත්නා විෂමතා අවම කිරීම, අධ්‍යාපනයේ ප්‍රායෝගික නැඹුරුතාව ඇති කිරීම, ජීවනෝපායන මාර්ග හා දරුවන් ලබාගන්නා අධ්‍යාපනය අතර පවතින දුරස්ථභාවය ඉවත් කිරීම, වසර  දශක ගණනාවකින් වෙනස් වී නොමැති යල්පැන ගිය පාසල් විෂය මාලාව වර්තමානයට ගැළපෙන අයුරින් වෙනස් කිරීම, දරුවන් ලබාගන්නා අධ්‍යාපනය සහ අත්පත් කරගන්නා ප්‍රවීණතා අනුව දරුවාට වඩාත් ගැළපෙන රැකියාව තීරණය කරලීම වෙනුවෙන් වන වෘත්තීය මාර්ගෝපදේශනය ඇතුළු ඉලක්ක ඒ අතර ප්‍රමුඛ වන බව ද ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ දී විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
 
 
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මඟපෙන්වීම් හා උපදෙස් පරිදි ඇරඹෙන ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ අදියර කිහිපයකින් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ද, පළමු අදියර යටතේ පාසල් 123ක් ඒ අනුව, ජාතික පාසල් ලෙස ප්‍රතිනිර්මාණය කෙරෙන බව ද, දෙවැනි අදියරේ දී පාසල් 673ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාරණ, ශ්‍රි ජයවර්ධනපුර විද්‍යාලයේ විදුහල්පති වානගුරු  මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here