ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රටට කළ සේවය අමිලයි අස්ගිරි මහනාහිමි

0
34

වසර තිහකට අධික කාලයක් පැවැති ත්‍රස්තවාදය පරදවා රටට සාමය ගෙන ඒම සඳහා තම ජීවිත කැප වීමෙන් කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ මෙහෙවර මෙන්ම කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් මුදාගැනීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයවමින් සිදු කරන ජාතික කාර්යභාරය සුළු කොට තැකිය නොහැකි බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ කීහ. ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ උපදෙස් මත මෙම වසංගතය පැතිර යෑම වැළැක්වීම සඳහා යුද හමුදාපතිවරයා ඇතුළු කණ්ඩායම දරන කැපවීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ඇගැයීමට ලක්විය යුතු බවද උන්වහන්සේ පැවසූහ.

යුද හමුදා ජෙනරාල් ධුරයට උසස්වීමක් ලද හමුදාපතිවරයා ඊයේ (29) අස්ගිරි මහා විහාරයේ දී උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අස්ගිරි නාහිමියෝ මෙසේද කීහ. ශවේන්ද්‍ර සිල්වා මහතා වැනි රටට සේවයක් කළ හැකි පුද්ගලයන් නිසි පරිදි හඳුනාගෙන ඔවුන්ට උසස් නිලතල ලබා දී කටයුතු කිරීම ඉතාමත් යහපත් බව මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. රටේ,ජාතියේ පමණක් නොව ආගමේද උන්නතිය උදෙසා නිරතුරුවම කටයුතු කරන ශවෙන්ද්‍ර සිල්වා මහතා අනිකුත් ආගමිකයන් සමඟ ද ඉතාමත් සුහදව කටයුතු කිරීම අනෙකුත් නිලධාරීන්ට ද ආදර්ශයක්.

හමුදාපතිවරයා ඉන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන් බැහැ දුටු අතර උන්වහන්සේ සඳහන් කළේ ශවේන්ද්‍ර සිල්වා වැන්නන්ගේ ක්‍රියා කලාපය මෙරට සියලු රාජ්‍ය නිලධාරීන්ට ආදර්ශයක් වන බවයි. අද මේ රට භෞතික වශයෙන් විශාල සංවර්ධනයක් කරා ගමන් කළත් සමාජීය වශයෙන් එතරම් සංවර්ධනයක් දකින්නට ලැබෙන්නේ නෑ. අපේ රට සිංගප්පූරුව ආකාරයෙන් ගොඩනැඟීමට නම් අනිවාර්යෙන්ම ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුයි. එම ආකල්ප වෙනස ළදරු පාසලේ සිටම ආරම්භ කරන්න ඕන.මේ රටට මහා සුනාමියත් ඇවිත් ජීවිත රැසක් විනාශ වුණා.ඒ වගේම විශාල නායයෑම් සිදු වුණා. මේ ස්වභාවික විපත්වල දී මරණයට පත්වූ ජනතාවගේ අවසන් කටයුතු සිදු කරන්නේ කොයි ආකාරයෙන් ද කියලා කිසිවෙකුට එදා ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් අද අනවශ්‍ය ආකාරයෙන් එක් එක් අයගේ අවශ්‍යතාවයන් මත අන්‍ය ආගමික ජනතාව වීදි බැස උද්ඝෝෂණය කිරීම කිසිවෙකුටවත් අනුමත කරන්න බැහැ. අසනීපයක් ඇති වුණාම වෛද්‍යවරයකු වෙත ගොස් ඔහු ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරනවා විනා ඊට පටහැනිව කටයුතු කර අත්තනෝමතිකව හැසිරීමෙන් සිදුවන්නේ අනර්ථයක් පමණයි.

අද ලෝකයේ ම උත්සාහ දරන්නේ මිනිසා ජීවත් කරවීමටයි. රට ජාතියට මුල් තැන දීමෙන් පසු තමයි ආගමට ධර්මයට මුල්තැන දිය යුත්තේ.ආගමකට මුල්තැන දෙන්න ගියොත් රට ජාතිය වැනසෙනවා.මේ රට ගොඩගන්න ආකල්පමය වෙනසක් කළ යුතු බව මම කිව්වේ ඒකයි. අද අපේ රටේ දවස් 365න් දවස් 150ක් පමණම නිවාඩු. ඉතින් කොහොමද රට ඉදිරියට ගෙනියන්න. මේ නිවාඩු සීමා කරලා සියලුම දෙනා රට වෙනුවෙන් කෙටි කාලයකට කැපවිය යුතුයි. රටේ ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කරන ශවේන්ද්‍ර සිල්වා මහතා අද මේ රටේ ජනතාව රෝගී භාවයෙන් මුදවා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ආකාරය සෙසු නිලධාරීන්ටත් ආදර්ශයක් යැයිද උන්වහන්සේ කීහ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගොස් එම පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී උන්වහන්සේ මෙසේ කීය.

ජනාධිපතිතුමන් දක්ෂයින් තෝරා ඔවුන් හට උසස්වීම් ලබාදීම සතුටට කාරණයක්. ඔබතුමාට උසස්වීම ලැබීම රටේ සියලු දෙනාටම සතුටක්. ඔබතුමා යුද්ධ දෙකකට මැදි වුණු නිලධාරියෙක්. එකක් තිස් වසරක යුද්ධය නිම කරන්න ඔබතුමා සුවිශේෂී දායකත්වයක් දුන්නා. දැන් අද ලෝකයම වෙලාගත් කොරොනා යුද්ධය අවසන් කිරීම සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා අදාළ අංශ එක්ව කටයුතු කරමින් සිටිනවා. ඇතැම් විට තුන්වන කොරෝනා රැල්ලක්ද මෙරට ඇති විය හැකියි . මේ වන විට ලන්ඩනය, දකුණු අප්‍රිකාව .චීනය ඇතුළු රටවල් රැසක් තෙවන රැල්ලට මුහුණපා සිටිනවා. එවන් තත්වයකටත් මුහුණ දීමට අප සූදානම් ව සිටිය යුතුයි. මෙරට සියළු ජාතීන් එක්ව එකට ජීවත් වන රටක්. මෙවන් අවස්ථාවකදී සියලු දෙනා එක්ව ඒ සඳහා කටයුතු කළ යුතුයි. දේශපාලන උසි ගැන්වීම් මත බෙදීම් අවශ්‍ය නෑ .යනුවෙන් සඳහන් කළ නාහිමියෝ යුද හමුදාපතිවරයාට ආශිර්වාද කළහ.

ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි යුද හමුදාපති වරයා එහි දී ආගමික වතාවත්හි නිරත වූ අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඒ මහතාව පිළිගත්තේය.

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here