පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තයට ජය

0
14

සංචාරක පාකිස්තාන පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 101ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්වෙද්දී මෑත කාලයේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ බිහි වු විශිෂ්ටතම වේගපන්දු යවන්නකු වන නවසීලන්තයේ ටිම් සවුති සිය ටෙස්ට් තරග දිවියේ කඩුලු 300 සම්පූර්ණ කිරීමට සමත් විය.

සංචාරක පාකිස්තානයට එරෙහිව ඊයේ නිමාවට පත් වූ පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේ පාකිස්තාන දෙවැනි ඉනිමේදී හාරිස් සොහේල්ගේ කඩුල්ල බිඳ දමමින් ඔහු මේ කඩඉමට පිවිසියේ නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 300ක් දවාලූ තුන්වැනි පන්දු යවන්නා බවට පත්වෙමිනි. ඊට පෙර ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි කඩුලු 431ක් දවාලීමට සමත්වූ අතර, ඩැනියෙල් වෙටෝරි කඩුලු 362ක් බිඳ දමා තිබේ.

ලකුණු 373ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන පිලේ දෙවැනි ඉනිම ලකුණු 271කට සීමා වූ අතර, එම ඉනිමේදී කඩුලු 2ද් දවාලමින් ටිම් සවුති සිය කඩඉමට පිවිසියේය. තරගයේ අවසන් දිනය වූ ඊයේ නවසීලන්තයේ ජයග්‍රහණය ප්‍රමාද කළ පාකිස්තාන මැදපෙළ පිතිකරු ෆවාඩ් අලාම් ශතකයක් වාර්තා කරමින් නායක මොහොමඩ් රිස්වාන් සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 165ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් විය. ෆවාඩ් ලකුණු 102කට සහ රිස්වාන් ලකුණු 60කට දැවීයෑමෙන් පසු අගපෙළ පිතිකරුවන් තරගය ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට දැඩි වෙහෙසක් ගත්හ.

ශාහින් අෆ්රිඩි සහ නසීම් ෂා එක්ව ඕවර 7ක්ම කඩුලු ආරක්ෂා කරද්දී ආලෝක තත්ත්වය ද ක්‍රමයෙන් අඩු විය. එහෙත් නසීම් ෂා දුන් උඩපන්දුව පන්දු යැවූ මිචෙල් සැන්ට්නර් විසින්ම රැකගනු ලැබීමෙන් තරගයේ ජය නවසීලන්තයට හිමි විය. ඒ වනවිට දිනය නිමාවීමට ඉතිරිව තිබුණේ ඕවර 4කුත්, පන්දු 3ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here