මහර සිද්ධිය: රැඳවූවන් 4කගේ ආදාහන කටයුතු රජයේ වියදමින්

0
65

රැඳවූවන් එකොළොස් දෙනකුට මරු කැඳවමින් ඉකුත් නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වෙඩි වැදී මිය ගිය රැඳවූවන් 08 දෙනාගෙන් ඉතිරි සිව් දෙනාගේ දේහ කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජයේ වියදමින් සිදු කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ (30) නියෝග කළේය.

මිය ගිය රැඳවූවන් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ මෝසමකට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.

සිද්ධිය හේතුවෙන් මිය ගිය කොවිඩ් ආසාදිත නොවූ රැඳවූවන් තිදෙනාගේ පශ්චාත් මරණ සම්බන්ධයෙන් වන ප්‍රගතිය ජනවාරි මස 08 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් පත් කර ඇති පංච පුද්ගල විද්වත් කමිටුවට නියෝග කළ අතර ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලදී අවශ්‍යතා පැන නැඟුනහොත් ඇමැති විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන පවත්වා ප්‍රගතිය ඉදිරි නඩු දිනයේ අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ මහතා විසින් විමල් වීරවංශ මහතා සහ ජයන්ත සමරවීර මහතා මාධ්‍ය සාකච්ඡා පවත්වා බන්ධනාගාර කැරැල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බව කියමින් විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගන්නා ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ පසුගිය 23 වැනිදා අවසන් වරට කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මඬුල්ලට මේ නඩුවට පෙනී සිටීමට හැකිද සහ කොවිඩ් ආසාදිත රැඳවූවන්ගේ මෘත දේහ ආදාහනය කරන්නේද, භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තීන්දු ඊයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර එම නියෝගය ලබා දෙමින් අගතියට පත් පාර්ශ්වයට අධිකරණයේ පෙනී සිටීමට ඉඩ ලබා නොදෙන ලෙස නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

අපරාධ නඩුවකදී නීතිඥවරුන්ට අධිකරණයේ පෙනී සිටීමට බාධාවක් නැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා යම් අපරාධයක් වී ඇත්නම් රජයේ නිලධාරීන් එයට වගකිව යුතු වන අතර එහිදී යම් වගකිවයුත්තකු වේ නම් එය ආවරණය වන ලෙසට කටයුතු කිරීමට හැකියාවක් ඇති බව කියමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව ඊට පෙනී සිටීම සඳහා නඩුවේ හත්වැනි දිනය වන ඊයේ දිනයේ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණය වෙත පැමිණ සිටියහ.

සුභාෂිණී සේනානායක සහ රාගම සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here