මහා පබ්බත විහාරය බොදු උරුමයෙන් ගැලවේද?

    0
    13

    පෙර රජ දවස සිට පැවතගෙන එන ආගමික සිද්ධස්ථානවලට සීමා මායිම් නොමැත. රජුගේ අණසකට අනුව සක් පිඹීමෙන් හෝ බෙර වැයීමෙන් සලකුණු කරන ලද සීමා මායිම් අද දක්නට නොමැත. ඒ සම්බන්ධයෙන් පිහිටුවන ලද ශිලා ලේඛන හා වෙනත් අභිලේඛනයන් ද විනාශ වී ගොස් හමාරය.

    මේ තත්ත්වය වර්තමානය වනවිට කෙමෙන් විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. වව්නියාවේ නෙඩුන්කේණි ප්‍රදේශයේ පිහිටි වඩ්ඩමාන පර්වත විහාරයට මේ වනවිට සිදුව ඇත්තේ ද සීමා මායිම් හා අයිතිය පිළිබඳව වූ ප්‍රශ්නයකි.

    යුද සමයේදී මේ බෞද්ධ සිද්ධස්ථානය පිළිබඳව අවධානය යොමු කිරීමට කවරකු හෝ නොමැති වීම නිසා යුද්ධයෙන් පසුව එළැඹි සාම කාලයේදී එම ස්ථානය අවට ගම්වාසීන්ගේ බැල්ම වැටුණි. ඔවුහු එහි ගොස් මල් පහන් පුදා ආගමික වතාවත්වල නිරත වූහ. ක්‍රමයෙන් මේ තත්ත්වය වර්ධනය වී වසර හතරක් පහක් වනවිට වඩ්ඩමාන පර්වත විහාරය ශිව කෝවිලක් බවට පත්ව තිබේ. වර්තමානයේදී පළාතේ ජනතාව මේ ස්ථානය හඳුන්වනු ලබන්නේ වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල වශයෙනි.

    මේ වඩ්ඩමාන පර්වත විහාරයට වව්නියාවේ සිට යා හැකි මාර්ග කීපයක්ම වෙයි. ඉන් ප්‍රධාන තැනක් ගන්නා මාර්ග දෙක ඕමන්ත හරහා ගොස් මරයීලුප්පෙයි ප්‍රදේශය හරහා ගමන් ගන්නා කැලෑබද මාර්ගයයි. අනෙක් මාර්ගය වන්නේ වව්නියාවේ සිට ඒ-9 මාර්ගය ඔස්සේ පුලියන්කුලම දක්වා ගොස් නෙඩුන්කේණිය හරහා මේ ස්ථානයට පිවිසීමයි.

    විශාල පර්වතයකින් යුත් මේ සිද්ධස්ථානය අක්කර හතරහමාරක පහක පමණ භූමියකින් සමන්විත වෙයි. කන්ද තරණය කිරීමට එක් පසෙකින් ගල්වලින් සකසන ලද ගල් පඩි පෙළක් ඇත. ඒ මුදුනට ළඟා වූ විට ගල් ලෙන් කීපයක්ම දැකිය හැකිය. මේ වනවිට එම ගල් ලෙන් පෙළෙන් හතරක් ඉතාම පිරිසිදුව හා නෂ්ටාවශේෂ නොවී පවතී. අතීතයේදී භාවනායෝගී භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් මේ ස්ථානයේ සිටි බවට සාධක තිබේ.

    ගල්ලෙන් සියල්ලම දෙවන සියවසේදී පමණ කරවන්නට ඇති බවට ඒවායෙහි සඳහන් බ්‍රාහ්මී අක්ෂර අනුව පැහැදිලි වන අතර එම ලිපිවල සඳහන් පාඨයන් පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් විසින් “නැගෙනහිර හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය” ග්‍රන්ථයේ දක්වා ඇත්තේ මෙසේය.

    1. මහ ශමුද පුත ගුතශ ලෙණෙ ශගශ පරුමක බමදත පුත (මහ ගුතහ ලෙනේ. මහා සමුද්‍රගේ පුත්‍ර ගුතගේ ලෙණ සංඝයාටය. ප්‍රමුඛ බමදතගේ පුත්‍ර මහගුනගේ ලෙණයි.)

    2. බත වුඩ තිශහ ලෙණේ. (ස්වාමි වූ චූලතිශගේ ලෙණයි.)

    3. පරුමක පුශමිත පුතශ මහ ලෙණේ අගත අනගත චතුදිශ සගශ (ප්‍රමුඛ පුෂමිතගේ පුත්‍රයාගේ මහලෙණ පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාටය.)

    ලෙන්වල කටාරම් ලිපි වශයෙන් දැකිය හැකි මෙම පාඨයන් අනුව මහා ශමුද ගුත, බමදත, වුඩ්තිශ, පුශමිත වැනි දායකයෝ මේ ලෙන් තනා පූජා කොට තිබේ. එහෙයින් ඔවුන් අනිවාර්යයෙන්ම එවකට එම පළාතේ සිටි ආර්ය සිංහල බෞද්ධයෝ විය යුතුය. දායකයන් පිළිබඳව නාමයන් සඳහන් වූවත් එම කාලවකවානුවේදී මේ වඩ්ඩමාන පබ්බත විහාරයට අනුග්‍රහය දක්වන ලද හෝ කරවන ලද රජතුමකු පිළිබඳව නිශ්චිතව යමක් කිව නොහැකි වේ. නමුත් ලෙන්වල කොටා ඇති කටාරම් ලිපිවල සඳහන් බ්‍රාහ්මීය අක්ෂර කියවිය හැකි නිසාත් ඒවා කොටා ඇත්තේ රා.ව. දෙවන සියවසේ මුල්භාගයේදී නිසා මේ ස්ථානය පිළිබඳව විධිමත් ගවේශනයක යෙදෙන විද්වතකුට ශ්‍රී ලංකා රාජ්‍ය නාමාවලිය සුවිශේෂී ලෙස පරීක්ෂා කිරීම තුළින් ඊට පැහැදිලි අදහසක් ලබා ගත හැකිය.

    ලෙන්වලට මදක් ඈතින් කැබලිවලට කැඩී ගිය ශ්‍රී පතුල් ගලක් ද අත්තිවාරම් දැමූ ගල් හා ගඩොල් කොටස් ද දැකිය හැකිය. බුදු මැදුරු, පධානඝර වැනි දේ තිබූ බවට මේ වනවිට දැක ගත හැක්කේ ඡායා සංකේත පමණකි. කෙටියෙන්ම ප්‍රකාශ කළහොත් මේ ගල් පර්වතයේ මුදුනේ තිබුණු බව පැවසෙන පාද ලාංඡන ශිලාව ද මේ වනවිට මැකී යන තරමට කාලය ගතව ඇත.

    1963 වසරේදී පමණ මේ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නියැළුණු පුරාවිද්‍යා ගවේෂකයන් පිරිසක් එම පාද ලාංඡන ශිලාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කොට ඇතත් 1973 ‍දී මේ ස්ථානයට වැඩම කළ එල්ලාවල මේධානන්ද හිමියන් හා 1975 දී මේ ස්ථානයට ගිය තවත් පුරාවිද්‍යා ගවේශකයකු වූ පී. වීරසිංහ මහතාත් පවසන්නේ එම කාලවකවානුව වනවිට ද පාද ලාංඡන ශිලාව හොඳින් දක්නට නොලැබුණු බවයි. (නාගයන්ගේ පා සටහන් – පී. වීරසිංහ)

    වඩ්ඩමාන පබ්බත විහාරය පිහිටි මහා පර්වතයේ ඇවිද යනවිට කැලෑබද ප්‍රදේශවල තැනින් තැන කැටයම් හා අකුරු කොටස් ඇති ගල් කැබලි දැකිය හැකිය. ඒවා බෞද්ධ පුරාවස්තුවලින් කැඩී ගොස් ඇති කැබලිය. ඇතැම් ගල් කැබලිවලින් ලිප් බැඳ තිබූ බවට සාධක ඇත. මේ පිළිබඳව විමසූ විට පළාතේ ව‍යෝවෘද්ධ අයකු පැවසුවේ කොටි ත්‍රස්තවාදීන් බොහෝ කාලයක් ආරක්ෂාව සපයා ගනිමින් මේ ගල් ලෙන්වල ජීවත් වූ බවයි.

    මේ විහාරස්ථානය සතුව මහා පර්වතයෙහි විශාල ස්තූප දෙකක් 1975 වසර වනවිට තිබී ඇත. ඒ වනවිට එම ස්ථූප ගරා වැටුණු තත්ත්වයක පැවතිය ද එක් ස්ථූපයක් අඩි 11 ක් උස වට අඩි 46 ක් වූ බවත්, දෙවැන්න උස අඩි 6 ක් හා වට අඩි 21 කින් සමන්විතව තිබූ බවත් එල්ලාවල මේධානන්ද හිමියෝ සිය ග්‍රන්ථයේ සඳහන් කරති. නෙඩුන්කේණියේ වයෝවෘද්ධ වැසියෝ දිග පළල ගැන සඳහන් නොකළත් දාගැබ් දෙකක් තිබූ බව ප්‍රකාශ කරති. නමුත් මේ දාගැබ් මේ වනවිට නිධන් හොරුන් විසින් විනාශයට පත් කොට තිබේ.

    නෙඩුන්කේණියේ වෙසෙන වයෝවෘද්ධ වැසියන් පවසන්නේ 1957 පමණ වන තුරු මේ පළාතේ සිංහල ජනතාව වාසය කළ බවයි. 1958 වසරේ ඇති වූ කෝලාහලයත් සමඟ ඔවුන් ක්‍රමයෙන් දකුණට ඇදී ගොස් ඇත. එවකට වාසය කළ සිංහල බෞද්ධ වැසියන් නිසා වඩ්ඩමාන පබ්බත විහාරයට ආරක්ෂාවත් එහි සිටි භික්ෂුන් වහන්සේලාටත් සිවුපසයත් ලැබී තිබේ. ජනතාව ක්‍රමයෙන් එම පළාතෙන් ඉවත් වනවිට වව්නියාව දිස්ත්‍රික්කය පරිපාලනයේ පහසුව පිණිස 1978 දී මුලතිව් වශයෙන් කොටසකට කැඩී යාම නිසා භූමියේ සිංහල ජනාවාස මුළුමනින්ම ඉවත් වී තිබේ.

    මේ ස්ථානයේ ඓතිහාසික පුවත් අනුව විමසා බලනවිට නාග ගෝත්‍රිකයන් ද සියවස් ගණනාවකට පෙර වාසය කොට ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය එන්. පුෂ්පරත්නම් මහතා මේ බව පවසන නමුත් එය සනාථ කළ හැකි සාධක වඩ්ඩමාන පබ්බත විහාරයෙන් හමු වූ නටබුන්වල සඳහන් නොවන්නේ එම සාධකවලට අයත් පුරාවස්තු විනාශ වීම නිසා විය හැකිය.

    මෙම බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානය අද වනවිට මුළු ප්‍රදේශයේම ජනතාව විසින් හඳුන්වනු ලබන්නේ වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල වශයෙනි. දැන් එය එසේ සිදුවන්නට හේතු කාරණා විමසා බැලීම අනිවාර්යෙන්ම කළ යුතුය. වැඩික්කිනාරිමලේ යනු දෙමළ වචනයකි. අප වඩ්ඩමාන පර්වත විහාරය යනුවෙන් හඳුන්වන ස්ථානයම ඔවුන් වැඩික්කිනාරිමලේ යනුවෙන් හඳුන්වයි. හරියටම මෙය අප නාගදීපය යනුවෙන් ව්‍යවහාර කරද්දී දෙමළ ජනතාව නයිනාතීව් ලෙස ආමන්ත්‍රණය කිරීමක් වැනිය.

    වැඩික්කිරිනාරිමලේ උච්චාරණයේ පහසුව පිණිස වෙඩුක්කුනාරී වී ඇත්තේ මෑත කාලයේදීය. එවැනි ග්‍රාම නාමයක් ඉතිහාසයේ හෝ පර්වත නාමයක් කිසිදු තැනක සඳහන් නොවේ.

    කෙසේ වෙතත් වෙඩුක්කුනාරී නාමය ඔවුන් ව්‍යවහාර කරනු ලබන්නේ මහා පර්වතයටය. කෝවිල ආදී ලිංගේස්වර කෝවිල නමින් භාවිත කරයි.

    නෙඩුන්කේණි ප්‍ර‍දේශයේ පදිංචිව සිටි සිංහල බෞද්ධයින් පිරිස එම පළාතෙන් පිටවීමෙන් පසු 1977 වසර වනවිට උතුරේ දෙමළ සිංහල කලකෝලාහලයක මූලික අවස්ථාව ආරම්භ වීමත් සමඟම රජයේ නිලධාරීන්ගේ මෙන්ම පුරාවිද්‍යා නිලධාරීන්ගේ අවධානය මේ ස්ථානයට කිසිසේත්ම ලැබී නොමැත.

    කෙමෙන් යුද්ධය දරුණු වීමත් සමඟම නෙඩුන්කේණියේ දෙමළ වැසියෝ ද මේ පළාතට යාම නතර කළේ ඔවුන් ද සිය ගම් බිම් අත්හැර දමා වන්නිය දෙසට පලා යාම හේතුවෙනි. වසර තිස් ගණනක් පැවති මහා යුද්ධය අවසන් වී දෙමළ ජනතාව ඔවුන්ගේ ගම්මානවල යළි පදිංචි කරන විට නෙඩුන්කේණි වැසියන්ට සිය ගම් බිම්වලට ආපසු පැමිණීමට හැකි වූයේ 2014 දී පමණය. ඔවුන් සිය ඉඩම් සුද්ද පවිත්‍ර කරමින් ජනාවාස ඉදිකරගෙන සිටියදී ඔවුන්ගේ භාෂාවෙන් හඳුන්වන වෙඩුක්කුනාරී පර්වතයට යාමට ඒමට ද පටන් ගෙන තිබේ.

    එහි වූ කටාරම් සහිත ගල් ලෙන් ඔවුන්ට මහා විමතියක් ගෙන දෙන්නක් විය. ඔවුන් කළේ ඒ ස්ථානය වන්දනාමාන කිරීමය. මුලින්ම කිසිදු දේවරූපයක් හෝ ප්‍රතිමාවක් නොතබා එහි වූ ආසනඝරයක් මත මල් පූජා කළහ.

    මේ අවස්ථාවේදී කලබල වූ පුරාවිද්‍යා නිලධාරීන් වහාම මේ ස්ථානයේ අයිතිය තහවුරු කරමින් නෙඩුන්කේණි පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළේය. පොලිසිය ඒ සම්බන්ධයෙන් කටයුතු කොට අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් තොරතුරු ඉදිරිපත් කළේ 2018 වසරේදීය.

    වෙඩුක්කුනාරී හින්දු පුදබිමකට සිංහලයින් අයිතිවාසිකම් කියන බව හුවා දක්වමින් ඊනියා ජාතිවාදී දේශපාලනඥයින් පිරිසක් මේ ස්ථානයේ අයිතිය ඉල්ලා උද්ඝෝෂණ කළහ. අවසානයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද නිර්දේශය මත බෞද්ධ නටබුන් පිහිටි ස්ථානයට මීටර් 500 ක් දුරින් කෝවිලක් ඉදිකර ගැනීම සඳහා හින්දුන්ට අවස්ථාව ලැබුණි.

    නමුත් මෙහිදී පැන නගින ප්‍රශ්න රාශියක්ම තිබේ. ඉන් එකක් වන්නේ හින්දු දහම තුළ කටාරම් කෙටූ ගල්ලෙන් මෙතෙක් දක්නට නොමැති වීමය. දෙවැන්න වන්නේ බෞද්ධ සම්ප්‍රදායට අනුව ඉදිකෙරෙන ස්තූප ඉදිකිරීමක් ද ඒ දහම තුළ දක්නට නොලැබේ. කෝවිල් සංස්කෘතිය තුළ ශ්‍රී පතුල් නොමැත. ආසනඝර නැත. ශිලා ලේඛන ඇත්තේ ඉතාම අල්පයකි.

    අනෙක් කාරණය වන්නේ කටාරම් ලිපිවල සඳහන් නාමයන් එකක් හෝ දෙමළ ජාතිකයින්ගේ නම් නොව ආර්ය සිංහල බෞද්ධයින්ගේ නාමයන්ය. ලියැවී ඇති අක්ෂර බ්‍රාහ්මීය අක්ෂරයන්ය.

    මේ කාරණා ගැන සලකා බලනවිට වැඩික්කිනාරිමලේ ලෙසින් දෙමළ ජනතාව හඳුන්වන වෙඩුක්කුනාරී පර්වතය හා ඒ අවට පුරාවස්තු හින්දු දහමට අයත් ඒවා නොවන බව ඉතාම පැහැදිලිය. එනම් මේ ස්ථානය වඩ්ඩමාන පබ්බත විහාරය වෙයි. කාගේ හෝ අතපසුවීමකින් ‍හා නොසැලකිල්ලෙන් සිදුව ඇති හානිය ඉතා විශාලය. මෑත අතීතයේ දී වූ මෙම වරද නිවැරදි කරවා ගෙන නෙඩුන්කේණියේ වඩ්ඩමාන පර්වත විහාරය ඒ නමින් සුරැකීමේ කාලය එළැඹ ඇත.

     

    රසුල දිල්හාර ගමගේ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here