මහා රාවණා පුරාවත – 5

    0
    9

    දෙබරු – බඹරු සේනා පාලනය කළ රාවණාගේ අගනුවර

     

    මහා රාවණා පුරාවත පිළිබඳ මෙම ලිපි මාලාව සඳහා, මහා රාවණා එදා වාසය කළ සහ ලංකාද්වීපය පාලනය කරන්නට යොදා ගත් සුවිශේෂී ස්ථාන පිළිබඳවද සඳහන් කිරීම වැදගත්ය. එම ඓතිහාසික ස්ථාන පිළිබඳව අප හා සාකච්ඡා කරනුයේ; ජනසන්නිවේදනයේ පිළිබඳ පශ්චාත් උපාධිධාරී ලලිත කලාවේදී ශාස්ත්‍රපති උපාධිධාරී, මෙන්ම වසර පහළොවකට අසන්න කලක් තිස්සේ මීමුරේ ගුරු උපදේශකවරයකු ලෙස කටයුතු කරන රවින්ද්‍ර දුනුකේපොත මහතාය.

     

    මීමුරේ ආශ්‍රිතව පිහිටා ඇති ලකේගල වන්දනාමාන කරන රාවණා පරපුරෙන් පැවත එන්නන් අදටත් මීමුරේ ගමේ වාසය කරති. ඔවුනට අනුව ලකේගල යනු මහාරාවණා සම්බන්ධ අතිශය වැදගත් ස්ථානයකි. මෙහි ඇති වටිනා ස්ථාන හතරක් ඔවුන් අදටත් සිහිපත් කරන්නේ මෙසේය.

    රාවණා රජුගේ මාළිගය තිබූ ‘මාලිගාතැන්නයි’. රාවණා රජු හනුමාගේ වල්ගයට ගිනි තැබූ ස්ථානය ‘ගිනිකෙළියයි’. සීතා දේවියගේ ආභරණ සඟවා තිබූ ‘අතකරේ’ සහ සීතා දේවියට වැළඳුණු ඇස් රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර සඳහා හිරු එළිය තපින්නට සැලැස්වූ තැන ‘සීතාඑළිය’යි.

    එපිට ‍ෙකානට කළුපහනේ කැලේයා

    මෙපිට කොනට ලග්ගල මීමුරේයා

    දෙසිය දෙකක් උස ඇති ගොම්බරේයා

    සොඳයි පරකාය ලක මීමුරේයා

    මීමුරේ හා ලකේගල සමඟ බැඳුණු මෙවැනි කවි රැසක් මෙහි ගැමියන් සතුව ඇත. ලකේගල යනු මීමුරේ ප්‍රධාන මායිමය. රාවණා පරපුරට නෑකම් කියන පිරිසක් අදටත් මෙහි වාසය කරමින් ඉතා භක්තියෙන් ලකේගල වන්දනාමාන කරති. ඊට හේතුව ලෙස මොවුන් දක්වන්නේ මෙවැනි කරුණකි.

    ‍ෙම් ප්‍ර‍ෙද්ශයේ ගම්වාසීන්ට ඉමහත් පීඩාවක් වූ ‘කන්වැලි’ නම් යක්ෂයා පලවා හැර රාවණා විසින් ගම්වාසීන් රැකගත් උපකාරයට ප්‍රතිඋපකාර ලෙස මොවුන් මෙහි පුද පූජා පවත්වයි. ඔවුන් මහාරාවණා රජු ‘ගඟේ බණ්ඩාර දෙවියෝ’ ලෙස ද හඳුන්වති.

    දුකේ බැරිය ඇස ඇරලා බලන්නට

    සැකේ බැරිය රස කරලා කියන්නට

    බයේ බැරිය කළුගල මත නඟින්නට

    ලකේගල සොඳය දාගැබ වඳින්නට

     

    ගලේ උස බෝය ගල උස බලන්නට

    ගලේ වට බෝය ගල වට දුවන්නට

    සිකේ බැරිය පද කරලා කියන්නට

    ලකේගල සොඳය දාගැබ වඳින්නට

    ලකේගල පිළිබඳව ඔවුනගේ හිතේ ඇති භක්තිය ආදරය ‍මෙසේ කවි කොට හඬගා කියන ඔවුන්, අදටත් පොහොය දිනවලදී මෙම ලකේගල මුඳුනට නැඟ පිරිත් සජ්ඣායනා කරති. ඒ ඔවුන්ගේ විශ්වාසය පරිදි තවමත් සිහිමුර්ජා තත්ත්වයෙන් පසුවන රාවණා යළි නැඟිටීම සඳහා අවශ්‍ය විශ්වශක්තිය ලබාගැනීම උදෙසාය.

    මීමුර වැසියෝ රාවණා රජු වෙනුවෙන් “රාවණා යක්කම” නමින් විශේෂ පූජාවක් ද කරති. මෙහිදී ඔවුන් මහාරාවණා රජු හඳුන්වනු ලබන්නේ ‘ගඟේ බණ්ඩාර දෙවියෝ’ නැතහොත් ‘කන්දේ බණ්ඩාර දෙවියෝ’ ලෙසය. මෙය දැනුදු පවත්වනු ලබන බොහෝ කලක පටන් එන පූජාවකි.

    මොවුන් මේ සඳහා සූදානම් වන්නේ යොදාගත් දිනයට මාසයකට පමණ පෙර සිටය. ගමේ වැඩිහිටියන් වන දහදෙනෙකුගෙන් සමන්විත ප්‍රධාන කණ්ඩායමක් පත්කර ගනියි. මෙහි සියලු සංවිධාන කටයුතු සිදු කරන්නේ මෙම කණ්ඩායමේ උ‍පදෙස් හා මඟපෙන්වීම යටතේය. මීට සම්බන්ධ සියල්ලෝම මස් මාළු ආදී සියලු පුලුටු වර්ග ආහාරයට නොගෙන ශාරීරිකව ද ඉතා පිරිසුදුව මීට කැපවෙනු දැකිය හැකිය.

    පූජාව පවත්වන ස්ථානය ආශ්‍රිතව තොරණ බැඳීම ද සිදු කරයි. වාර්ෂිකව මෙම පූජාව සඳහාම යොදාගන්නා ඉතා පැරණි කඩු, කිනිසි, කැති ආදී යකඩ ආයුධ විශාල ප්‍රමාණයක් ද වෙයි. මෙම සියලු ආයුධ ගලා යන පිරිසිදු ජලයෙන් සෝදා මෙම ස්ථානයේ තැන්පත් කරයි.

    ඒවා පුවක්මලින් ද සරසා තබයි. මෙම ආයුධ අතර රාවණාට අයත් විශේෂිත ආයුධයක් ද ඇත. එය හඳුන්වනු ලබන්නේ ‘කුරුල්ලා බැඳි කඩුව’ ලෙසිනි. පළමුව මෙම ආයුධ සියල්ලම රාවණාට කැප කරයි. අනතුරුව ආයුධ මෙහි සිටින සියල්ලන්ගේම හිස මත තබමින් ආශිර්වාද කරයි.

    සියලු ගම්වැසියන්ට රෝග බිය නැතිව වාසනාවත්, ගේ දොර, වතුපිටි, හරකාබාන ආදී සියල්ල රැකගැනීමටත් මෙම පූජාව ඉමහත් ආශිර්වාදයක් වන බව මොවුහු දැඩි ලෙස විශ්වාස කරති.

    තව ද මෙම යක්කම ආරම්භ කරන්නේ සූර්යයා නැඟ ඒමත් සමඟය. මීට ප්‍රධාන හේතුව වන්නේ මහා රාවණා රජු සූර්ය වන්දනාව කළ හා සූර්ය ආශිර්වාදය ලත් අයකු බව විශ්වාස කිරීමයි. උදා හිරු එළිය සමඟ ආරම්භ වන මෙම ‘රාවණා යක්කම’ දිනය පුරාම පවත්වනු ලබයි. මෙහිදී බෙර වයමින් සරල නර්තනයක් ද සිදු කරන අතර, රාවණයන්ගේ ගුණ ගායනය ද සිදු කරයි.

    මීමුරේ ආශ්‍රිතව පිහිටා ඇති මෙම ලකේගල සමඟ බැදුණු රාවණා පුරාවෘත්තයන් ද බොහෝමයකි. තවද රාවණා සමයේ අගනුවර ලෙස ද භාවිතා කොට ඇත්තේ මේ දැවැන්ත ගිරිශිඛරයයි. එනිසා රාවණා සමයේ බොහෝ කටයුතුවල කේන්ද්‍රස්ථානය වී ඇත්තේ මෙතැනය. රාවණා රජු සියලු ජ්‍යොතිෂ්‍ය කටයුතු සිදුකොට ඇත්තේ මෙම කඳු මුදුනේදී බැව් කියැවේ. සූර්ය උදාව ඇතුළු ග්‍රහ තරු පිළිබඳව ද සියලු කටයුතු සඳහා සුදුසුම ස්ථානය වූයේ ද මෙතැනය. හිරු එළිය නිසා කන්ද පහළ ඇති තැනිතලාවට කන්දෙ සෙවනැල්ල වැටීම සහ එම සෙවනැල්ලේ ගමන් රටාව අනුව දව‍ෙස් කාලය (වෙලාව) තීරණය කිරීමත් මෙහිදී සිදුවන බැවින් මෙය ප්‍රධාන ‘හිරු කැටිය’ ලෙස ද සලකනු ලැබූහ. (මීට අමතරව හිරු තැටියක් ලෙස භාවිතා කළ ස්ථානය පෙර ලිපියේ සඳහන් කළ නාලන්දා ගෙඩිගෙයයි.)

    මෙම කඳු මුදුනට නඟින්නකුට අවට අක්කර දෙකක පමණ ප්‍රදේශයක් ඇස ගැටෙයි. මුදුනේ සිට බලන්නෙකුට ඊසාන දෙසින් පිහිටි ගෝකණ්ණයේ කෝනේශ්වරම් කෝවිලත්, වයඹ දෙසින් පිහිටි තලෙයිමන්නාරමත් දැක ගත හැකිය.

    සිය ආධ්‍යාත්මික දියුණුව වඩවා ගැනීමටත්, දැඩි මානසික ශක්තීන් දියුණු කර ගැනීමටත්, විශ්ව ශක්තීන් අවශෝෂණයටත්, අභ්‍යන්තර ශක්තීන් අවදි කිරීමට ආදී ශක්තීන් උත්තේජනය සඳහා මෙම ලකේගල හෙවත් ‘ලංකාගිරි පබ්බතය’, සිය භාවනානුයෝගී කටයුතු සඳහා ද භාවිතා කළ මහා රාවණයන් හා බැඳුණු අප විශේෂ මධ්‍යස්ථානයකි.

    මීමුරේට මායිම්ව පිහිටි ලකේගල ආශ්‍රිතව විශාල ගුහා දෙකක් ද පිහිටා තිබේ. මෙම ගුහා යා කරන උමං පද්ධතියක් ද සීගිරිය බඳු මාලිගයක් ද මෙහි පිහිටා තිබී ඇත. මෙතැන හා සීගිරිය අතර ඇත්තේ කෙටි ගුවන් ගමනකි. සීගිරිය රාවණා රජුගේ ප්‍රධාන මාලිගාව පිහිටි මධ්‍යස්ථානය විය.

    මෙම ස්ථාන දෙකෙහිම රැකවල් සඳහා ඉතා වේගවත් ‘විහඟ බළකායක්’ මහා රාවණා විසින් යොදා ගැනිණි. මින් ප්‍රබලම විහඟ බළකාය වන ‘කළු දෙබරු’ යොදා තිබුණේ සීගිරි මාලිගයේ රැකවල් සඳහාය. මෙම ලකේගල ආරක්ෂාවට සිටියේ ‘බඹර’ ‍කොට්ඨාසයයි. තමා සතුව තිබූ අධි මානසික ශක්තියත්, මන්ත්‍ර බලයත් උපයෝගී කරගෙන මෙවැනි කෘමි සේනාවන් පාලනය කරනු ලැබූ ලොව එකම නරපතියා මහාරාවණා බව සැලකෙයි.

     

    භාතිය මදනායක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here